වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

ගුන්නැපානේ සරත් විජේවර්ධන
ප්‍රශ්නය - 'ශීලා' චිත්‍රපටයට 'මේ ජීවිතයේ මේ ඉරණමදෝ' ගීතය ගයන්නේ හරූන් ලන්ත්‍රා නොව ටෝනි හසන්. එය නිවැරදි කරන්න.
පිළිතුර -
ඔන්න නිවැරදි කළා.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - 'දෛව විපාකය' චිත්‍රපටයට ඇතුළත් 'සරා ගොයියා හරි මිනිහා' නම් වූ ගීතය රාජ් කපූර්ගේ 'ශ්‍රී 420' චිත්‍රපටයේ ආ ගී තනුවක් නේද?
පිළිතුර-
රාජ් කපූර් ලංකාවට පැමිණි අවස්තාවක ඔහු පිළිගැනීමට ගුවන් විදුලියේ පැවැති උත්සවයකදී විරිදු ගායනයක් තිබුණාලු. එහි තනුව අසා එය 'ශ්‍රී 420' චිත්‍රපටයට ඇතුළත් කර ගත්තා කියලා එක්තරා කාලයක මා කිය වූ ලිපියක මේ ගැන සඳහනක් තිබුණා.

මීගමුව මහ හුනුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - විජය කුමාරතුංග ගයන 'බෝමළුවේ බයිලා ලෙළ දෙනවා - බාර් එකේ මුනිවදන් ඇසෙනවා' ගීතය ලියා ඇත්තේ කවුද?
පිළිතුර -
උපාලි අත්තනායක.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - 'සිහින ලොවක්' චිත්‍රපටය ඉංග්‍රීසි චිත්‍රපටයක අනුකරණයක්ද?
පිළිතුර -
ඔව්. එය 'පර්පල් නූන්' චිත්‍රපටය ඇසුරෙන් තැනූවක්.

නාත්තන්ඩියේ අසංක සඳ කැලුම්
ප්‍රශ්නය - 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයේ අඩ නිරුවතින් රඟපෑ නිලුපුලි ජයවර්ධන ඉන් පසු චිත්‍රපටවල රඟ නොපෑවේ ඇයි?
පිළිතුර -
එදා එයාට කරන්න පුළුවන් දේ කළා. ඊට පස්සේ මෙලෝ සිනමාකරුවෙක් එයාව චිත්‍රපටවලට ගත්තේ නැති බව තමයි පේන්නේ.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - 'අප්නා බනාකේ දේකෝ' හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ කවුද?
පිළිතුර -
මමෝජ් කුමාර්, ආශා පරේක්.

ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක
ප්‍රශ්නය - ලංකාවේ ඉදි කළ මුල්ම චිත්‍රාගාරය කුමක්ද?
පිළිතුර
- සුන්දර සවුන්ඩ් (කඳාන).

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු
ප්‍රශ්නය - 'සිහින ලොවක්' චිත්‍රපටයට මහගමසේකර ලීවේ 'මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව' ගීතය පමණක්ද?
පිළිතුර -
නැහැ. 'ගාලා සුවඳ රස අඳුන්', 'අවදි වෙයන්' 'මීපුප් ලදින්', 'මෙගොඩ ගොඩින් අපි යනවා 'යන ගීතවල පදමාලාත් සේකරගේයි.

කොළඹ මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ෆ්‍රාන්ස් කෆ්කාගේ 'ද ට්‍රයල්' නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය වී තිබේද?
පිළිතුර -
ඔව්. 1962 දී ඕසන් වේල්ස් එය සිනමාවට නැඟුවා. එහි ජෝශප් කේ ගේ චරිතය රඟපෑවේ ඇන්තනි පර්කින්ස්.

වස්කඩුව දෙදියවල ගාමිණී ගුණතිලක
ප්‍රශ්නය - 'ඉවසන දනා' චිත්‍රපටයේ කතාව හා දෙබස් කාගේද?
පිළිතුර -
තිහාරියේ මානෙල් පෙරේරාගේ.

මාවනැල්ලේ ඇන්ටන් සමන්ප්‍රිය
ප්‍රශ්නය - රොඩ්නි වර්ණකුල ගයන 'හා හා ළඳේ' ගීතය වේදිකා නාට්‍ය ගීතයක්ද? එසේ නම් ඒ නාට්‍යය කුමක්ද?
පිළිතුර -
ඔව්. හෙක්ටර් කුමාරසිරිගේ 'බිසෝ' නාට්‍යයේ ආ ගීතයක්.

අලුත්ගම අජිත් කුමාර උඩුගමසූරිය
ප්‍රශ්නය - ගායක ජේ. ඒ. මිලටන් පෙරේරා චිත්‍රපටවල රඟපා තිබේද?
පිළිතුර -
දන්නා තරමින් නැහැ.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. ජාඇල වැලිගම්පිටියේ කෙනත් පෙරේරා, දෙමටගොඩ ආරි එගොඩවත්ත, බටවල ආරියදාස පිංදෙණිය, කොටුගොඩ සුනිල් චන්ද්‍රසේකර, කපුගොඩ මාළිඳ සරත් රණසිංහ, රන්මුතුගල සරත් ලියනගේ, බටපොල එම්. එච්. ශිරන්ත, නැදිමාලේ කේ. ඩී. කරුණාරත්න, කැලණියේ චන්ද්‍රකාන්ති පියතුංග.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.