|
විජය රඟපෑ බල්ලොත් එක්ක බෑ
750 අත ළඟ දැන් මොකද වෙන්නේ?
රවීන්ද්‍ර ආරියරත්නගෙන් අසමු
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ 'ඊසොප්' වේදිකා නාට්‍ය නිර්මාණයට රංගනයෙන් දායක වෙමින් වේදිකාවට ප්‍රවිෂ්ට වූ ඔහු ජනප්‍රිය සංස්කෘතිය හා බද්ධ වෙමින් වේදිකා නාට්‍ය කලාවේ රැල්ලක් නඟන්නට සමත් විය. 'බල්ලොත් එක්ක බෑ' නම් වූ ජනප්‍රිය ධාරාවේ ස්වතන්ත්‍ර නාට්‍යය නිෂ්පාදනය කරමින් කර්මාන්තයක් ලෙස වේදිකා නාට්‍ය කලාව ස්ථාවර කරන්නට හෙතෙම පසුබට නොවීය. අනතුරුව 'චරිත හොරු අරන්' වේදිකා නිර්මාණයෙන් ප්‍රේක්ෂකාගාරයට නවමු අත්දැකීම් ගොන්නක් තිළිණ කළ 'මිට නැති කුඩ' තුළින් ජනශ්‍රැතියේ ජන කතාවේ ජන ගීතයේ අපූර්වත්වය වේදිකා කරළියට ගෙන ආවේය. දෙස් විදෙස් ජනප්‍රසාදය මැදින් වේදිකා නාට්‍ය කලාවේ ජන විඥානය සොයා යන ඔහු රවීන්ද්‍ර ආරියරත්නය. මේ සංලාපය සංස්කෘතියක් ඇති හෙටක් වෙනුවෙන් ගොඩ නැඟෙන කතිකාවක් වෙනුවෙනි. ඔබේ බල්ලොත් එක්ක බෑ නාට්‍ය නිර්මාණයේ ප්‍රධාන දායකත්වයක් ඉසිලූ ප්‍රවීණ රංගධරයෙක් ජීවිත රඟමඬලෙන් සමුගත්තා. බල්ලොත් එක්ක බෑ වේදිකා නිර්මාණයට දැන් මොකද වෙන්නේ? ඇත්තටම විජය නන්දසිරි කියන්නේ උදාරතර සහෘදයෙක්. විනයගරුක ගුණගරුක කලා ශිල්පියෙක්. ඔහු නැති රඟමඬල පිළිබඳව හිතා ගන්නවත් නොහැකියි. ඔහු කිසි දිනක කිසිවෙකු අපහසුවට පත් කරන්න කැමති නැහැ. නිර්මාණයක අඛණ්ඩතාවය වගේම එය පවත්වා ගෙනයාම පිළිබඳව ඔහු බොහෝ විමසිලිමත්. වරක් ඔහු රෝහල් ගත වෙලා සිටිත්දිත් අදාළ දර්ශන දෙක රඟපාන්න ඇවිත් නාට්‍ය කණ්ඩායමේ අපිව පුදුමයට පත් කළා. ඒතරම් කැපවීමකින් ඔහු වෘත්තීයට කැප වුණේ. අගෝස්තු මස 27 වැනිදා 'බල්ලොත් එක්ක බෑ' 750 වැනි දර්ශන වාරය එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වීමටයි සූදානම් වුණේ. මම එය වහාම අවලංගු කළා. 'බල්ලොත් එක්ක බෑ' නාට්‍යයේ විජය අයියා රඟපාපු චරිතයට නළුවෙක් අවසන් වශයෙන් තවම තෝරා ගෙන නැහැ. ඒ සඳහා ටික කාලයක් ගතවේවි. ඔබ ජනප්‍රිය සංස්කෘතිය ඔස්සේ වේදිකාව අමතන්නෙක්? 'බල්ලොත් එක්ක බෑ' නාට්‍යය නිර්මාණයට පෙර නාට්‍ය ගොන්නක රංගනයෙන් හා තිරය පිටුපස නිර්මාණ කාර්යයට දායක වුණා. සුභ සහ යස, අහසින් වැටුණු මිනිස්සු, පාදඩ අසපුව, කපුටු බෝ ඇතුළු නිර්මාණ රැසක කටයුතු කිරීමෙන් ලැබූ පන්නරයෙන් ප්‍රේක්ෂකාගාරය පිළිබඳ අධ්‍යනයට ඉඩකඩ සැලසුණා. සරසවි සිසුවෙක් ලෙසින් කෙටි නාට්‍ය කලාවට යොමු වෙලා සිටි සමයේ ලබපු අත්දැකීම් තුළිනුත් මං ලාංකේය ප්‍රේක්ෂකාගාරය ගැන හැදෑරීමක් ලැබුවා. මේ තුළින් ජන විඥානය හඳුනා ගන්නේ නැතිව නාට්‍ය කරන්න බෑ කියන කාරණාව මගේ හිතේ වැඩ කළා. ඒ වගේම මේ පොළොවේ පය ගහලා ඉන්න, ජීවත්වෙන මිනිහෙක් විදියට, නිර්මාණකරුවෙකු විදියට ඔවුන්ගේ ජිවන රිද්මය හඳුනා ගන්න ඒ අත්දැකීම් කලාපය ඉවහල් වුණා. මං 'බල්ලොත් එක්ක බෑ' නිෂ්පාදනය කරන්නේ ඒ පරිචයත් සමඟයි. ඔබ පැවසුවා වගේ ජනප්‍රිය සංස්කෘතියේ අංගත් සමඟ බද්ධ වූ මේ නිර්මාණය ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැලඳ ගත්තා. ලොස් ඇන්ජලීස් නුවර සිටින ශ්‍රි ලාංකිකයන්ගේ සිට බොහෝ ප්‍රේක්ෂකාගාර මේ වෙනුවෙන් පෙරමඟ බලා හිටියා. ඉන් අනතුරුවයි මං 'චරිතෙ හොරු අරන්' නිෂ්පාදනය කරන්නේ. ජන සම්ප්‍රදාය සහ ජනශ්‍රැති අංගවල සාරයන් ඔබේ නවමු නිර්මාණය වන 'මිට නැති කුඩ' සඳහා පාදක කරගෙන තිබෙනවා. එය ඉතාම කාලීචිත කාරණාවක්? ගම අත් විඳපු, අත් විඳින නිර්මාණකරුවෙක් හැටියට ජන කවිය, ජන කතාව ආදී ජනශ්‍රැති මූලාශ්‍ර මට බොහෝම සමීපයි. ඒවා සමඟින් වැඩුණු මගේ පරිකල්පනයට ජන කතා ශෛලිය පදනම් කර ගනිමින් ජන නාද රටා උපයෝගි කර ගනිමින් නිර්මාණ කාර්යයකට යොමුවීමේ හිතක් බොහෝ කලක පටන් තිබුණා. 'මිට නැති කුඩ' කියන්නේ මගේ ඒ හීනය සැබෑවිමක්. ඒත් සංවිධායකවරුන්ගේ වැඩි කැමැත්ත 'බල්ලොත් එක්ක බෑ' ගණයේ නාට්‍ය නිර්මාණවලටයි. එතැන ලොකු ඛේදවාචකයක් තිබෙනවා. කෙසේද වේදිකාවට ගැළපෙන ප්‍රේක්ෂකාගාරයක් හඳුනා ගන්නේ? වේදිකාවට ගැළපෙන ශික්ෂණය සහිත ප්‍රේක්ෂකාගාරයක් අපිට ඉන්නවා වගේම එසේ නැති විශාල පිරිසකුත් ඉන්නවා. අඩුම තරමේ නාට්‍ය රඟ දක්වන පැයක එකහමාරක කාලයේ තමන්ගේ දුරකථනය නිවා දමන්න සූදානම් නැති පිරිස් ඉන්නවා. නාට්‍යයක නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය ඒ පැය එක හමාරේ නිර්මාණ කටයුත්තකට මාස ගණනක පුහුණුවිම්වල නිරත වෙනවා. නාට්‍යය රංග ගත කරන දිනයේ මෙන්ම ඊට පෙර දිනයේත් දවස පුරා ඔවුන් මහන්සි වෙනවා. මේ නිසා නාට්‍යයක් රස විඳීමට පැමිණෙන ප්‍රේක්ෂකයාටත් එවැනි පෙර සූදානමක් අවශ්‍යයි. කුසගින්නේ, නිදිමතේ අන්තිම තත්පරේ දුවගෙන එන ප්‍රේක්ෂකයකුට නාට්‍යය රස විඳින්න බැහැ. නාට්‍යය නරඹන්නේ සමූහයක් සමඟ. සෑම වචනයක්ම ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගත යුතුයි. ඒ නිසා නාට්‍යය නැරඹීම සඳහා පුහුණු ප්‍රේක්ෂකාගාරයක අවශ්‍යතාව දැඩිව දැනෙන්නක්. ඔවුන් ශික්ෂණය කිරීමේ වගකීම ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමයට වගේම නිර්මාණකරුවන් හැටියට අපටත් තිබෙනවා. නිර්මාණකරුවෙක් ලෙස ඔබ ප්‍රහසනයට පමණක් සීමා වෙලා? මං හිතන විදියට ප්‍රහසනය කියන්නේ නරක දෙයක් නොවේ. අපේ නිර්මාණකරුවා එය අල්ලා ගත් විදියයි වැරදි. ඒකයි මේ තරම් කොමඩියට ගල් මුල් එල්ල වන්නේ. ලෝක නාට්‍ය කලාව දිහාවට හැරිලා බැලුවොත් වැඩිම ප්‍රියතාව ප්‍රහසනයටයි. අපේ ජ්‍යෙෂ්ඨ පරම්පරවේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණ වන නරිබෑනා, කැලණි පාලම, ගුරු තරුව ආදී නිර්මාණ ගැන අවධානය යොමු කළොත් ඒවායෙත් ප්‍රහසනය තිබෙනවා. අපේ රටේ තිබෙන දෙයක් තමයි එක දෙයක් සාර්ථක වූ පසු ඒ වර්ගයේ නිෂ්පාදන රැසක් බිහිවීම. ඇත්තම ඒක අපරාධයක්. අලුතින් හිතන්න අපේ රටේ බහුතරයක් නිර්මාණකරුවන් හට හුරුවක් නෑ. ප්‍රේක්ෂකයාට ඉදිරියෙන් සිටිය යුතු නිර්මාණකරුවා සිටින තැන එතැන නම් ප්‍රේක්ෂකයා ගැන කවර කතාද? නාට්‍ය නිර්මාණයේ ගුණාත්මක බව, රසවත් බව, වින්දනීය බව නොවෙයි අද ප්‍රේක්ෂකාගාරයට අවශ්‍ය 'කවුද ඒ නාට්‍යයේ ඉන්න ජනප්‍රිය නළු නිළියෝ' කියන කාරණාවයි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. බොහෝ වෙලාවට අපේ නිර්මාණකරුවන් සංගීතය තමන්ගේ නිර්මාණය සඳහා යොදා ගන්නේ නිර්මාණයේ හිස් තැන පිරවීමට හෝ හුදු අලංකරණ සැරසිල්ලක් ලෙසින් පමණයි. නමුත් මිට නැති කුඩ නාට්‍ය නිර්මාණයේ සංගීතය තුළ සුවිශේෂීතාවයක් මං දකිනවා? මේ නිර්මාණයේදී සංගීත අධ්‍යක්ෂණයෙන් සඳසිරි අධිකාරි දායක වුණා. ඔහුත් මමත් අතර සිදුවුණු නිර්මාණාත්මක සංහිඳියාව තුළින් අපිට සාර්ථකත්වය කරා යාමට හැකි වුණා. මම ලියපු නාට්‍ය පිටපත ඉල්ලා සිටියේ ජන ගීත ආකෘතියේ නාද රිද්මයන් සංකලනය වූ අපූරු සංගීත රචනාවක්. එය මට උවමනා කළ ලෙසින්ම ඔහු ලබා දුන්නා. ඒ වගේම මේ සඳහා හෂිණිකා කරලියැද්ද, ප්‍රසාද් සූරියආරච්චි, වික්‍රම සෙනෙවිරත්න, සුනිල් තිලකරත්න ඇතුළු නාට්‍ය කණ්ඩායම තුළින්ම ලැබුණු සහයෝගය හා කැපවීමෙන් පුහුණුවීම් ප්‍රතිඵල අද දවසේ මේ විදියට මල්ඵල ගැන් වී තිබෙනවා. නාට්‍ය නිෂ්පාදනය වගේම නාට්‍ය සංවිධානය කිරීමත් අද දවසේ බොහෝම අභියෝගාත්මක කටයුත්තක්? ඔව්. ඇත්තෙන්ම නාට්‍ය දර්ශන සංවිධානය කිරීම බොහොම වෙහෙස කර කටයුත්තක්. අපි කොච්චර හොඳ නාට්‍යයක් නිර්මාණය කළත් සංවිධායක කියන භූමිකාව නිරූපණය කිරීම අපිට ඒ තරම් ලෙහෙසි වෙන්නේ නෑ. ප්‍රබල නාට්‍ය සංවිධායකවරයෙකුට ඕනෑම නාට්‍යයක් 'දුවවන්න' පුළුවන් කියා මං විශ්වාස කරනවා. ඒ වගේම ඕනෑම නාට්‍යයක් සංවිධායකයෙකුට ප්‍රදර්ශන වාර කැඳවිය හැකි සීමාවක් තිබෙනවා. එතැනින් එහාට යනවා නම් එය එම නාට්‍යයේ පවතින ප්‍රබලතාවයක් ලෙස අපිට හඳුවන්න සිදු වෙනවා. නාට්‍ය සංස්කෘතියක් පිළිබඳ සුබ සිහිනයක් දකින්නට, මේ පොළවේ නාට්‍ය සංස්කෘතියක් ස්ථාපිත කරන්නට තරුණ නිර්මාණකරවෙකු ලෙසින් කෙබඳු සංව්දීතාවක් ද ඔබට තිබෙන්නේ? අපි ජිවත් වන 'සිස්ටම්' එකම අවුල් ජාලාවක් වෙලා තිබෙද්දී නාට්‍ය සංස්කෘතියක් ගොඩනඟන්න බෑ. මුදුන් මුල දිරපු ගසක හැදෙන මල් දලු පිළිබඳ අපිට බලාපොරොත්තු තබන්න බැහැ. මටත් නාට්‍යකරුවෙක් විදියට හීන තිබෙනවා. ඉස්සර කෙටි නාට්‍ය කරන කාලවල නාට්‍ය අනු මණ්ඩල සමඟින් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග අපි වාද විවාද කරලා තිබෙනවා. අද ඒ දේම අපෙන් පසු පරපුර කරනවා. කොළඹ ආශ්‍රිත මේ වගේ නාට්‍ය සංස්කෘතියක් හැදෙමින් තිබෙනවා. නමුත් එය රටක නාට්‍ය සංස්කෘතිය පිළිබිඹු කරන්න කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙසින් අද දවසේ සාමාන්‍ය පෙළ දක්වාම සමීප වී තිබෙනවා. ඒත් කියන්න කනගාටුයි නාට්‍ය හා රංග කලාව උගන්වන රටක ළමුන්ට නාට්‍යයක් රස විඳින්න දන්නේ නෑ. දරුවන්ට රංග කලාව විෂය පමණයි උගන්වා තිබෙන්නේ. ඔවුන්ගේ ඔළු ගෙඩි හදලා නැහැ. ඔවුන්ට ජීවිතේ උගන්වා නැහැ. එහෙම වුණා නම් හොඳ අනාගත පරපුරක් අපිට ඉන්නවා. අතළොස්සක් එවැනි ගුරුවරුන් ඉන්නවා. එත් ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම දෙමාපියන් පවා මේ තත්ත්වයට වගකිව යුතුයි. දරුවන් රැගෙන යා යුත්තේ කෙතැනට ද කියන කාරණාව පිළිබඳ පුළුල් දැක්මක් ඔවුන්ට නැහැ. අපිත් රැල්ලට ගියා නම් අද මෙතැන ඉන්නේ නැහැ. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට විභාග අවශ්‍ය තමයි. ඒත් ඒ විභාග ක්‍රමයම ශිෂ්‍යයන්ගේ පරිකල්පනය උදුරාගෙන. ඒ තුළින් දේශපාලකයන්ට රිසි සේ හසුරුවන්න හැකි පරිසරයක් නිර්මාණය කරලා. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි. හෙට දවස? ජන විඥානයේ තිබෙන අර්බුදවලට නාට්‍ය කලාව තුළින් මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක මම නිරන්තරයෙන් පසු වෙනවා.
|