|
අශුතොෂ් ගේ මීළඟ නිළිය ආතියා ද?
සය වසකට පසුව, අශුතොෂ් ගොවාරිකර් ඔහුගේ නවතම චිත්‍රපටය වන ‘මොහෙන්ජෝ දාරෝ’ සමඟ නැවත කරළියට පැමිණ සිටිනවා. කෙසේ නමුත් අශුතොෂ් ඔහුගේ මීළඟ චිත්‍රපටය නම් ඉක්මනින්ම සැලසුම් කරන හැඩයි. 2014 වසරේ තිරගත වූ අති සාර්ථක වාණිජ චිත්‍රපටයක් වූ ‘ක්වීන්’ චිත්‍රපටය රචනා කළ අන්විතා දත් වෙතින් අශුතොෂ් වෙත හොඳ තිර රචනයක් ලැබී ඇති බවයි ආරංචි. ක්වීන් චිත්‍රපටය සේම මෙම චිත්‍රපටයත් කාන්තා චරිතයක් වටා ගෙතුණු කතාවක් බවයි කියවෙන්නේ. අශුතොෂ් මේ චරිතය සඳහා මුලින්ම තෝරාගෙන ඇත්තේ ආතියා ශෙට්ටි. ආතියාට තවම එහි තිර රචනය ලැබී නැති නමුත්, ඒ ලැබීමෙන් පසුව ඊට සම්බන්ධ වීම ගැන තීරණයකට එළඹීමට පැමිණීමට නියමිත බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.
ශාරුක්ට අමරිකානු තර්ජනයක්
කාලයකට වරක් සුපිරි තරු ශාරුක්ටත් නොයෙක් ආකාරයේ ඇබැද්දි වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන හැඩයි. ශාරුක්ට මේ ඇබැද්දිය වී තිබෙන්නේ ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපලේදී යි. ඔහු ගුවන් තොටුපලේදී බොහෝ කාලයක් රඳවා තබා ගෙන ඇති බව ආරංචිය. මේ ගැන ‘දි ඉන්දියන් එක්ස්ප්‍රස්’ සඟරාව දැඩි කලකිරීමෙන් අමෙරිකාව වෙත මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. “අප ඉන්දියානු වැදගතෙකුට අමෙරිකාවේ වැදගත්කමක් ඉල්ලන්නේ නැහැ. අප ඉල්ලන්නේ ඔහු වෙතත් අනෙක් ‘මුස්ලිම් නොවන’ වාසගමක් තිබෙන්නෙකුට හා සමානවම සලකන්න කියා පමණයි. ශාරුක් වැනි ජනප්‍රිය පුද්ගලයගේජාතියකින් හඳුනා ගැනීම, වරක්, දෙවරක් නොව තුන් වරක් එසේ කිරීම, ඔබේ ‘මහන්තත්වය’ පෙන්නුම් කිරීමක්. ඔබේ ජනාධිපති වරයා පවා ඉන්දියාවට පැමිණි විට සඳහන් කළ පුද්ගලයා හඳුනා ගැනීම ඔතරම්ම අපහසුද ?” යන්නයි. මේ ගැන ශාරුක් ද සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කොට තිබුණා. “ලෝකයේ ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක වන ආකාර ගැන මට වැටහෙනවා. මම එයට ගරු කරනවා. එත් හැම අවස්ථාවකම අමෙරිකානු ආගමන විගමන විසින් මෙලෙස නතර කර තබා ගැනීම හරිම කරදරයක්”. ශාරුක්ට නැවත වරක් මේ වන් දෙයකට මුහුණ දීමට ඉඩ නොලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරමු.
දෝනි පුදුම වෙලා
මහේන්ද්‍ර සිං දෝනි සිනමාවට එන්න සූදානම්. හැබැයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාව අතහැරලා රංගනයට නම් එන්නේ නැහැ. 35 හැවිරිදි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ගේ ජීවිත කතාව“M.S. Dhoni: The Untold Story” නමින් නුදුරු අනාගතයේදී තිරගත වීමට නියමිතයි. මේ ප්රචාරක කටයුතු වලට දෝනිත් සම්බන්ධ වෙලා. මේ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු වලට එහි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් උනන්දු වන ආකාරය දෝනිගේ පුදුමයට හේතු වෙලා. ජලන්ධාර්, දිල්ලි සහ මුම්බායි හි මේ වන විට එහි පූර්ව ප්රචාරක පටය පෙන්වා තිබෙනවා. මේ ප්රචාරක කටයුතු ගැන දෝනි මෙසේ කියනවා. “ප්රචාරක කටයුතු වලට රංගන ශිල්පීන් උනන්දු වන ආකාරය පැසසිය යුතුයි. ඔවුන් එය නිතර දෙවේලේ සිදු කරනවා. චිත්‍රපටය තිරගත වීමට තව ඇත්තේ ඉතා ටික කාලයයි. ඔවුන් මෙහි එන චරිත හොඳීන් අවබෝධ කරගෙන රංග දක්වා ඇති බවත් මට විශ්වාසයි” M.S. Dhoni: The Untold Story චිත්‍රපටයේ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ පොවන්නේ සුෂාන්ත් සිං රාජ්පුත්. කියාරා අද්වානි දෝනිගේ බිරිය සක්ෂි දෝනිගේ චරිතයට පණ පොවනවා.
ගංගාජාල්-ජය ගංගාජාල්-ජා-ජංජාලය!
2003 වසරේ තිරගත වුණු ‘ගංගාජාල්’ ක්‍රියාදාම චිත්‍රපටය ප්‍රකාශ් ජාගේ නිර්මාණයක්. මෙහි දෙවන චිත්‍රපටය වූ ‘ජය ගංගාජාල්’ චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. ඒ පමණක් නොවෙයි, මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තෙත් ඔහු විසින්මයි. මේ නිර්මාණය නිසා ප්‍රකාශ් ජා නීතිමය ප්‍රශ්නයකට මැදිවෙලා. විකාෂ් බහ්ල්, අනුරාග් කාශ්‍යප් ඇතුළු පිරිසකගේ චිත්‍රපට නිෂ්පාදක ආයතනයක් වන ‘ෆැන්ටම් ෆිල්ම්ස්’ පවසන ආකාරයට, පළමු චිත්‍රපටයේ අයිතිය දැන් ඇත්තේ ඔවුන්ට වන අතර, මේ නිසා එහි දෙවන චිත්‍රපටයක් තැනීමට ප්‍රකාශ් ජා ට අයිතියක් නැහැ. මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ෆැන්ටම් හවුස් විසින් ප්‍රකාශ් ජා වෙත දැනටමත් එන්තර වාසියක් යවා ඇති බවත් ආරංචියි.
තනු ආයේ මනු බඳියිද?
හාස්‍යෝත්පාදක ආදර කතාවක් වන, ‘තනු වෙඩ්ස් මනු’ (2011) චිත්‍රපටය සේම එහි දෙවන කොටස වන ‘තනු වෙඩ්ස් මනු : රිටර්න්ස්’ (2015) ද අති සාර්ථක වාණිජ චිත්‍රපට වුණා. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළේ අනුරාග් එල්. රායි විසින්. චිත්‍රපට දෙකේම රංගනයෙන් දායක වුනු ජිමී ශේගිල් පවසන ආකාරයට වාණිජමය සාර්ථකත්වය නිසාම එහි නිර්මාණකරුවන් තුන්වැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. “මා සිතන අයුරින් යමක් ඉහළ ප්‍රසිද්ධියට පත් වූ පසු එය ටික කලක් ගත වී නැවත පැමිණීම වැදගත්. මෙම චිත්‍රපට මාලාවේ අධ්යක්ෂවරයා සහ තිර රචකයා (හිමාෂු ශර්මා), චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වුවමනා නිසාම එය නිර්මාණය නොකරන බව මට විශ්වාසයි. ඔවුන් හොඳ කතාවක් නිර්මාණය කරගත්තාට පසුව එය නිර්මාණය කරාවි. එහෙම නොවුනොත් එවැනි චිත්‍රපටයක් කරළියට පැමිණෙන්නේ නැහැ” ජිමී පවසනවා.
|