වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




කබලියා සහ පුතණ්ඩියා

කබලියා සහ පුතණ්ඩියා

දිනේෂ් ප්‍රියසාද් විසිනි

සිනමා කලාව යනු - කර්මාන්තයකි. සිනමා කර්මාන්තය යනු ව්‍යාපාරයකි. කිසියම් හෝ රටක සිනමාව ව්‍යාපාරයක් සේ සලකා පවත්වාගෙන යන්නේ නම්, එම කර්මාන්තය ද - කලාව ද නිතැතින්ම රැකෙනු නියතය.

අද අප සිනමාවට අත් වී ඇති ඉරණම අවිනිශ්චිතය - භයංකරය. ඒ මන්ද යත් අප රටේ සිනමා කලාව ව්‍යාපාරයක් ලෙස පිළිගැනීම - වර්තමාන ව්‍යාපාරික ප්‍රජාව විසින් නොසලකා හැර ඇති බැවිනි.

ලාංකේය සිනමාව වැදුවේත් 'සිනමාස්' - වැඩුවේත් 'සිනමාස්' යන වැකියේ කිසිම වරදක් මා දකින්නේ නැත. ඉන් සිංහල සිනමා අභ්‍යන්තරය පිළිබඳ බොහෝ දේ කියාපායි. සිංහල සිනමාවට එතරම්ම ආදරය කළ විශිෂ්ට පෙළේ ද්‍රවිඩ ජාතිකයෙකි සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා.

පසුගිය දිනවල සරසවිය හා කළ සාකච්ඡාවලදී කේ. ගුණරත්නම් මහතාගේ පුත් ජී. පත්මරාජ් මහතා තම පියා ගැන කතා කරමින් කාලය කා දැමීම අනවශ්‍ය යැයි ප්‍රකාශ කොට මඟ හැරීම අසාධාරණ නොවන්නේය.

ඒ මන්ද යත් - ලාංකේය සිංහල සිනමාව ගොඩනැඟීමට තම විසල් ධනය වැය කරමින් විජය චිත්‍රාගාරය වැනි සිනමාගාරයක් බිහිකර අවදානමට මුහුණ දුන් කේ. ගුණරත්නම් මහතා වැන්නෙකු පිළිබඳ කථා කරන්නේ නම් එක් පත්තර පිටුවක් හෝ දෙකක් වෙන් කොට කථා කිරීම ඔහු අප වෙනුවෙන් කළ මෙහෙවර ඉදිරියේ එතුමාට කරන අසාධාරණයක් යැයි මට සිතෙන බැවිනි. එම හැඟීම තම පුතණුවන්ට ඇති වීම වළක්වාලිය නොහැකිය.

දේශීය සිනමාව ආරම්භ වී සය අවුරුද්දක් ගත වීමට මත්තෙන් - 1953 දී 'සුජාතා'ව ගෙන් ආරම්භ කොට, වීර විජය - දුප්පතාගේ දුක - ශූරයා - දොස්තර (ඒ.ඍ.ර් සමඟ) වනමෝහිණී - රදළ පිළිරුව - සන්දේශය - අදට වැඩිය හෙට හොඳයි - ධීවරයෝ - චණ්ඩියා - අල්ලපු ගෙදර - සූර චෞරයා - ආත්ම පූජා - අප්සරා - ඔන්න මාමෙ කෙල්ල පැනපි සහ සැළමුතු පින්න වැනි සිනමාස් ලේබලයෙන් නිෂ්පාදිත ප්‍රධාන ධාරාවේ සිංහල චිත්‍රපට කට්ටලයක් පමණක් නොව, කෘතහස්ත සිනමාවේදී රංගධර ගාමිණී ෆොන්සේකා මහතා ඇතුළු නළු - නිළියන් ගණනාවක් ද රූපණවේදීන් - වේදිනියන් බවට පත් කිරීමේ අඩිතාලම දමා - දීම පිළිබඳ ගෞරවය කේ. ගුණරත්නම් මහතාට හිමි විය යුතු බවට, වචන පේළියකින් හෝ කියා පෑම අපගේ යුතුකම වන්නේය. ගාමිණී වේරගම, ඒ. ඩී. රංජිත් කුමාර වැනි ඉහළ පෙළේ සිනමා ගවේෂකයෙකු විසින් කේ. ගුණරත්නම් මහතාගේ ලාංකේය සිනමා පුරෝගාමිත්වය පිළිබඳ ලියා හෙළිදරව් කරන්නේ නම් වඩා වැදගත් වන්නේය.

දෙමළ චිත්‍රපට මාෆියාවේ සුඛ විහරණය වෙනුවෙන් තනි පුද්ගලයන්ගේ උවමනාවට වැඩ කරන චිත්‍රපට සංස්ථාවට අපක්ෂපාතීව කටයුතු කරන මෙන් ඉල්ලීම පද්මරාජ් මහතාගේ ප්‍රකාශන ලිපියේ වඩාත් වැදගත්ම කාරණය වී ඇත. එය - එතුමා විසින් ඉල්ලීමක් නොකර සංස්ථාව වෙත තරයේ නියෝගයක් එල්ල කළා නම් වඩාත් යෝග්‍ය බව මගේ හැඟීමයි. මන්ද - සිංහල චිත්‍රපටය වෙනුවෙන් සංස්්ථාව නොව, ඊටත් ඉහළ තැනකට හෝ නියෝග කිරීමට පද්මරාජ් මහතාට හැකියාවක් ද අයිතියක් ද ඇත. දේශීය සිනමාව බලා සිටියදී කඩා වැටෙන්නට ඉඩ හැර සංස්ථාව සේවක පඩි - නඩි වෙනුවෙන් ජාතික සිනමාව පාවාදී - විදේශීය සිනමාවට ආවඩන - ජාතික කියන චිත්‍රපට සංස්ථාව අනිසි අන්දමින් ලාභ උපයන යාන්ත්‍රණයක් බවට පත් වී හමාර බව පද්මරාජ් මහතා නිර්භයව විග්‍රහ කිරීම - සිංහල සිනමාවට හිතැත්තන්ගේ සහ සියලු සිනමා ශිල්පීන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුය.

ජූලි 22 දා තිරගත කිරීම ඇරඹූ 'කබාලි'ට චෙන්නායි නගරයම නිවාඩු දිනයක් බවට පත් කළේ - ඔවුන්ට තම ජාතික සිනමාව පිළිබඳ පවතින තදබල කැක්කුම නිසා යන්න පැහැදිලිය.

අප චිත්‍රපට සංස්ථාවට අපේ ජාතික සිනමාව පිළිබඳ ඇත්තේ කුමන වර්ගයේ කැක්කුමක් ද යන්න මම නොදනිමි. ශ්‍රී ලංකාවේ ජූලි 22 දා තිරගත කිරීම ඇරඹූ සිංහල පුතණ්ඩියාට චිත්‍රපට සංස්ථාව දක්වක කුඩම්මාගේ සැලකීම ඉතා නින්දිතය.

'පුතණ්ඩියා' චිත්‍රපටයේ දර්ශන සීමා කිරීමට ඉඩ ලබා දී 'කබාලියා' - 'පුතණ්ඩියා' අබිබවා යැවීමට සංස්ථාව අනුබල දෙමින් කටයුතු යොදා ඇත.

දුර්වල නියෝගය - දෙමළ චිත්‍රපටයටත්, ශක්ති සම්පන්න නියෝගය සිංහල චිත්‍රපටයටත් එල්ල කරන - ජාතික චිත්‍රපට සංස්ථාවේ 'නියෝගය' පරිදි - සිනමාහල් වෙත දන්වා ඇත්තේ රාත්‍රී දර්ශනයට පමණක් 'කබාලි' පෙන්වන ලෙසටය.

එහෙත් කිසිදු නියෝගයක් ගණනකට නොගන්නා පෙළක් සිනමාහල් හිමියන් හිතුමතේ දර්ශන 3 - 4 ක් 'කබාලි' පෙන්වමින් නවතම සිංහල චිත්‍රපටය වන 'පුතණ්ඩියාට' පහර එල්ල කෙට ඇත්තේ 'සංස්ථා මාමන්ඩියාගේ' අණසක තඹයකට මායිම් නොකරමින්ය.

තවද සිනමාහල් හිමියා රුපියල් 500/- යේ ටිකට් පතට නීති විරෝධී ලෙස රු. 600/- ක් අය කර ඇත. මෙය එක සිනමාහලක - එක ටිකට් පතක් පමණක් නොවන බව සැලකිල්ලට ගන්න.

මෙවන් කළු කඩ අක්‍රමිකතාවයන් ඉදිරියේ සංස්ථාව නිහඬව බලා සිටින්නේ - තණකොළ කැපීමට පොල් ගසට නැඟි මිනිසා ලෙසටය. තවම - බාගෙන කන්න තියෙන වල ඉහගෙන කා දමන ලෙස තවදුරටත් සිනමාහල් හිමියාට හැඟෙන්නට සලස්වා ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාවට මා නැවත - නැවත මතක් කරන්නේ 'කබාලි' වැනි චිත්‍රපට පමණක් නොව - සියලු චිත්‍රපට නිපදවන්නේ පහළ පංතියේ සිනමාලෝලියාට බව දැන්වත් වටහා ගන්නා ලෙසටය.

දුප්පතාත් - මධ්‍යමයාත් - පොහොසතාත්, වෙන් - වෙන්ව අසුන් ගෙන සිටිමින් - එකම මොහොතක රස වින්දනය ලබන - එකම මාධ්‍ය සිනමාව බව අමතක නොකරන්න. එවන් වූ ජනසන්නිපාතයකට ලංකා සිනමාහල් තුළ ඉඩක් නොමැත. සියළු ආසන - ගාලක් වැනිය - සම ගාස්තුය.

සිනමාවට සැබෑ ලෙස ආදරය කරන ඉන්දියානුවා හට තම අතැති මුදලට චිත්‍රපටය නැරඹිය හැකිය.

එබැවින් - මා තරයේ ප්‍රකාශ කරන්නේ - සංස්ථාව 'කබාලි' ට ගැසූ අණ බෙරයට වැඩි ආයුෂ නැති බවය. සැබෑ සිනමාලෝලියාට 'කබාලියත්' - 'පුතණඩියත්' දෙදෙනාම තහනම්ය.

එයට වගකිව යුත්තා - වෙනින් කව්රුත් නොව - චිත්‍රපට සංස්ථාවමය.

එම්. ජී. ආර්. ට ගැසූ විසිල් පහර තමා වෙතට හරවා ගත් ගාමිණී ෆොන්සේකා චිත්‍රපට සංස්ථාව වසා දැමිය යුතුයි යන්න කළ ප්‍රකාශය - ඉතා නිවැරදි යැයි - දැන් මට ද වැටහේ.

රැජිනි කාන්ත් මාගේ වීර ලැයිස්තුවේ නොම්මර එක විය යුතුය. එහෙත් සිංහල චිත්‍රපට පෙන්වා ගැනීමට නොහැකිව අප - අතරම කඹ අදින යුගයක විදෙස් චිත්‍රපට බුරුතු පිටින් ගෙන්වා සිනමාහල් පිරවීමෙන් සිංහල චිත්‍රපටයේ 'තිර කාලය' උදුරා සිංහල සිනමාව පාවා දීමට සංස්ථාව සෘජුව මැදිහත් වී ඇත. නිකරුණේ මාස්පතා බැංකු පොලිය අතින් ගෙවා දමන සිංහල චිත්‍රපට නිෂ්පාදකවරුන් - චිත්‍රපට සංස්ථාවට එරෙහිව අධිකරණය හමුවට යන දිනය වැඩි ඈතක් නොවන බව, සංස්ථා බලධාරීන් - නිලධාරීන් සිහි කල්පනාවේ තබාගත යුතුය.

රැජිනි කාන්ත් සුපිරි වීරයාගේ චිත්‍රපටයක් ලංකාවේ සිනමාහල් 150 ක පෙන්විය යුතුය. ඒ අප හිතවත් දමළ සිනමාලෝලින් හට පමණක් නොව, අපට ද රස විඳීමටය.

එහෙත් දේශීය චිත්‍රපට ගිනි කන්දක් මෙන් අහස උසට නෙරා ඇති වත්මන් යුගයේ - තමන් සතුව ඇති එකම සිනමාහලේත් චිත්‍රපටි නොපෙන්වන සංස්ථාවක් ක්‍රියාත්මක වන රටක, චිත්‍රපට සංස්ථාව විසින් බෙදා හැරීම අතට ගෙන කබාලි පිටපත් 58 ක් මුදා හැරිම හෙලා දැකිය යුතු සහ තුච්ච කළ යුතු කරුණක් බවට ප්‍රකාශ කරන්නේ තවදුරටත් පද්මරාජ් මහතා සිංහල සිනමාව වෙනුවෙන් කරන සටනට දැඩි පන්නරයක් ලබා දෙනු පිණිසය.

දේශීය සිනමා කලාව - කර්මාන්තය සහ ව්‍යාපාරයේ ගැලවීම වෙනුවෙන් පද්මරාජ් මහතා අමෝරා ගත් අවි මුවහත් කිරීමට අප දිවි හිමියෙන් බැඳී සිටින බව පෙන්වා දිය යුතු අතර, එතුමාගේ වචනයෙන්ම - බොක්සිං නොහොත් සිංහල සිනමා කර්මාන්තය රැක ගැනීමේ අවසාන සටන් වටයට මුහුණ දීමට 'රිං' එකට බැස ඇති පද්මරාජ් මහතා වෙනුවෙන් විසිල් ගැසිමෙන් ද. අත්පොළසන් දීමෙන් ද පමණක් නොව එතුමාගේ සටනට හෙවත් දේශිය චිත්‍රපටය රැක ගැනීමේ යුද මෙහෙවරට සැබෑ අරුත එකතු කිරීමේ අපේක්ෂාවෙන්, අප සිනමාකරුවන් වශයෙන් සියලු දෙනා බැඳී සිට - පද්මරාජ් මහතාට පූර්ණ ශක්තිය ලබා දෙන බවට දේශීය සිනමාවට හිතැති සියලු දෙනා වෙනුවෙන් මෙයින් ප්‍රතිඥා දෙමි.

තවද මා චිත්‍රපට සංස්ථා සභාපතිගෙන් ඉතා බැගෑපත් ලෙස ඉල්ලා සිටින්නේ 'කබාලි' ගැලවීයාමට මත්තෙන් - නිකං තියෙන සංස්ථා 'තරංගනී සිනමාහල තවදුරටත් 'කබල්' වීමට ඉඩ නොදී 'කබාලි' පිටපතක් එහි ද මුදාහැර දකුණු ඉන්දීය - සිනමාවට සහයෝගය දක්වමින් පිටපත් 58 ක් නොව පිටපත් 59 ක් ලෙස වාර්තාගත වාර්තාවක් තබන ලෙසටය.