වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




උලත් එකයි පිලත් එකයි

ප්‍රේමය, අභියෝගය, පළිගැනීම අතර දෝලනය වන තුන්කොන් සටනක්

වනාතේ රොෂාන් සිතා සිටින්නේ ඔහු ගමේ චණ්ඩියා කියාය. ඔහු වටපිටාවේ අය සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නේ පුරුද්දට මෙනි. රොෂාන් ලෙස නම තිබුණත් වැඩි දෙනෙකු ඔහුව හඳුන්වන්නේ රෝෂා කියාය. ලොවට චණ්ඩියෙකු මෙන් පෙළහරපෑව ද රෝෂා යනු කාසියක් බිම වැටෙන ශබ්දයකට වුව ද ගැස්සෙන අයකු බව දන්නේ ඔහුගේ ගෙදර අය පමණි. රෝෂාට නැගණියක් සිටියි. සුරූපී බවින් අගතැන්පත් ඇය රුක්ෂානාය. ඇයගේ ආදරය පතා තරුණයකු පැමිණෙයි. ඔහු නළු උණ ඇත්තෙකි. නමින් රජියාය. රජියාට රෝෂා කැමැති නැත. ඔහු රුක්ෂානාගේ පසුපස පැමිණීම රෝෂාට නොරිස්සුම් කරුණකි. කිහිප වතාවක්ම රෝෂා රජියාට තර්ජනය කළ ද රජියා රෝෂාගේ වදන් කනකටවත් ගන්නේ නැත. අවසනදී රෝෂා රජියාට අභියෝගයක් එල්ල කරයි. ඉන් ජය ගතහොත් නිසැකවම රැක්ෂානාව විවාහ කරදෙන බව රෝෂා කියයි. එම අභියෝගය වනුයේ ගමම ඉදිරියේ රෝෂාව පරාජය කිරීමය. තමන් රෝෂා ඉදිරියේ ඇඟපතින් වුව ද කුරුමිට්ටෙකු වූ රජියා රුක්ෂානාට ඇති ආදරය නිසා එම අභියෝගයට කැමැති වෙයි. කෙසේ වෙතත් මුළු ගමම ඉදිරියේ රජියා රෝෂාට පරාජය වෙයි. ලැජ්ජාව දරාගත නොහැකිව රජියා කැලෑ පාරකින් නිවසට ඒමට තීරණය කරයි.

එම රාත්‍රියේදී කරාපිටියේ දර්ශන් නමැති පාතාල නායකයා ගමේ පොලිස් ස්ථානාධිපතිවරයාව රබර් වත්තක් මැද පිහියෙන් ඇන ඝාතනය කරයි. එම සිදුවීම දකින රජියා තිගැස්සෙයි. සුළු මොහොතකින් එතැනට පොලීසියෙන් පැමිණෙන අතර මිනීමැරුම ඇසින් දුටු සාක්ෂිකාරයකු ලෙස රජියාව පොලීසියට රැගෙන යයි. මිනීමරුවාගේ හැඩරුව රජියාට පවසන්න කියා චිත්‍ර ශිල්පියකු එම රූපය ඇඳීමට සූදානම් වෙයි. රජියාට කරාපිටියේ දර්ශන්ගේ රුව පළමුව මැවෙයි. ඒත් සමඟම තමන් ගම ඉදිරියේ අවමානයට පත් කළ රොෂාගේ රුව ද සිහියට එයි. ඔහුට හොඳ පාඩමක් උගන්වමි යැයි සිතා කරාපිටියේ දර්ශන්ගේ රුව වෙනුවට රෝෂාගේ හැඩරුව චිත්‍ර ශිල්පියාට කියයි. එතැන ඇඳෙන්නේ රෝෂාගේ රුවයි. එතැන් පටන් රෝෂාගේ පසුපස පොලීසියෙන් ලුහුබඳියි.

උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ කතා සාරාංශය එසේය.

නිෂ්පාදනය - දිනිත් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් දිනිත් චමින්ද රණසිංහ සමඟ කේ. ජේ. ඒ. නිශාන්ත

අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

කැමරා අධ්‍යක්ෂණය - ඩොරික් සමරසුන්දර

අංග රචනය - රසික තෙන්නකෝන්

සහාය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න

නිෂ්පාදන කළමනාකරණය - චතුරංග වික්‍රමසිංහ, ලලිත් කල්දේරා

නර්තන අධ්‍යක්ෂණය - ප්‍රියාන් අනුර ශ්‍රී

සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න

සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂන් ඩ්‍රීම්ෆ්

ගායනය - අමිල මුතුගල සහ මීනා ප්‍රසාදිනී

නිශ්චල ඡායාරූප - පසන් නදී නන්දන

රඟපාන නළු නිළියන්:

රොෂාන් රණවන, දර්ශන් ධර්මරාජ්, රජිත හිරාන් චාමිකර, දමිතා අබේරත්න, කමල් දේශප්‍රිය, රමණී සිරිවර්ධන, මිහිර සිරිතිලක, රුක්ෂානා දිසානායක, ඩිල්ශානි පෙරේරා, බියංකා ෆොන්සේකා, සමාධි පෙර්රා, සැනෙට් දික්කුඹුර, නෙතලි නානායක්කාර, ප්‍රේමදාස විතානගේ, සුදත් විජේසේකර, සුනිල් ශාන්ත වනසිංහ, බුද්ධික රණතුංග, කීර්ති රංජිත් පීරිස්, සුනෙත් මැල්සිරිපුර, සමන්ත මායාදුන්න, ජයතිස්ස අතුලසිරි, අනිල් ජයසිංහ, ලලිත් කල්දේරා, කුමාර රණපුර, හැරී විමලසේන, මංජුල සේනානායක.