|
මහින්දට හතළිස් පහයි
‘සංගීත වෙනස 1’ රැගෙන එමින් කලා ලොවේ පෙරළියක් කළ ඩ්රම්ස්වාදක මහින්ද සිල්වාගේ කලා දිවියට වසර හතළිස් පහක් සපිරෙයි. ඒ නිමිති කර ගනිමින් කළුබෝවිල දිලෙන තරු ක්‍රිකට් කණ්ඩායම සංවිධානය කරන ‘මහින්දට හතළිස් පහයි’ උපහාර ප්‍රසංගය මේ මස 20 වැනිදා රාත්‍රි 8.00 ට කළුබෝවිල ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. ඒ ප්‍රසංගය පිළිබඳත්, ඔහුගේ කලා ජීවිතය පිළිබඳත් ‘සරසවිය’ සමඟ කළ සාකච්ඡාවකි. * පළමුව උපහාර ප්‍රසංගය පිළිබඳ කතාබහක යෙදෙමු ද? මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ මා ඩ්‍රම්ස් වාදකයකු වන්නට පෙර සෙල්ලම් කළ ගමේ ක්‍රිකට් කණ්ඩායමයි. මේ ප්‍රසංගය පවත්වන්නට පසුගිය දවස්වල ඔවුන් බොහොම මහන්සි වුණා. මේ වනවිට එහි කටයුතු බොහෝ අවසානයි. ‘මහින්දට හතළිස් පහයි නමින් නමි කරලා තිබෙන මේ ප්‍රසංගයට එදා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ මන්ත්‍රිනී සුනේත්‍රා රණසිංහ මැතිනියයි. නිමල් බුලත්සිංහල, දේශබන්දු ගැමුණු විජේරත්න කියන මහත්වරුත් ඒ සඳහා සහභාගි වෙනවා. ඊට අමතරව සම්මාන ප්‍රදානයකුත් සිදුවෙනවා. උපාලි කන්නන්ගර අතිනුයි මට ඒ සම්මානය ලැබෙන්නේ. එදාට පැවැත්වෙන සංගීත ප්‍රසංගයේ දී මගේ ‘සුපර් ස්ටාර්’ සංගීත කණ්ඩායමයි සංගීතය සපයන්නේ. ආත්මා ලියනගේ, උපාලි කන්නන්ගර, ජානක වික්‍රමසිංහ, ඉෂාන් බෙග්, රොනීලීච්, කීර්ති පැස්කුවල්, ශානිකා වනිගසේකර, එම්. ජී. ධනුෂ්ක ඇතුළු ගායික - ගායිකාවන් රැසකට එදාට ගී ගයන්නට ආරාධනා කරලයි තිබෙන්නේ. ඒ සඳහා මට ආදරය කරන රසිකයන් සියලු දෙනාට මත් පැමිණෙන්නැයි ආරාධනා කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා. * මේ වනවිට ඔබ ඩ්‍රම්ස් වාදකයකු විදියට වාදනයේ නියැළෙනවා දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ මේ වෘත්තියෙන් සමු අරගෙන ද? මේ වනවිට මා ඩ්‍රම්ස් වාදන කටයුතුවල නිරත නොවුණත් මගේ සංගීත කණ්ඩායමේ කටයුතුත් සමඟයි කාලය ගතවෙන්නේ. මෙතෙක් මා වසර හතළිස් පහක් පමණ ඩ්‍රම්ස් වාදනය කළා. ඒ නිසා අලුත් අයට අතදෙන්න තීරණය කළා. ඉන් අදහස් කරන්නේ ඩ්‍රම්ස් වාදනයෙන් මා සම්පූර්ණයෙන් ම සමුගැනීම නම් නොවෙයි. මේ වනවිට කීර්ති පැස්කුවල් ළඟ ඩ්‍රම්ස් පන්ති පවත්වාගෙන යනවා. ඒ ඉරිදා හා බදාදා දිනවලයි. ඊට අමතරව නිවෙස්වලට ගිහින් මගේ ශිල්පය බෙදා දෙනවා. * ඩ්‍රම්ස් වාදනයට ඔබ ඇලුම් කරන්නේ පාසල් කාලයේ පටන් ම නේද? ඒ කාලයේ උපාලි කන්නන්ගර හිටියෙත් මගේ ගෙවල් ආසන්නයේමයි. ඔහු ගිටාර් එක ප්ලේ කරන කොට මම කොන්ගෝ එක ගහනවා. ඒ විදියට යහළුවෝ කිහිපදෙනෙකුත් එක්ක එකතු වෙලා අපි ‘ගෝල්ඩන් රොක්ස්’ කියලා සංගීත කණ්ඩායමක් හදා ගත්තා. ඒ සඳහා මට අවශ්‍ය ඩ්‍රම් එක අරන් දුන්නේ උපාලිගේ අම්මා. හරියට ම ඒ 1973 වසරේ දී. * ඩ්‍රම්ස් වාදකයකු ලෙස ගොඩනැඟෙන්නේ ඔබගේ උත්සාහයෙන් ම ද? ඒ දවස්වල මා මේ විෂය උගන්වන කිසිම කෙනෙකුව දන්නේ නැහැ. ඒ නිසා අනෙක් අය ඩ්‍රම්ස් වාදනය කරන විදිය අධ්‍යයනය කරලයි මා ඩ්‍රම්ස් වාදනය කරන්න ඉගෙන ගත්තේ. ගුරුවරයකු විදියට මට යම් සහයෝගයක් ලබා දුන්නේ ශ්‍රී කාන්ත දසනායකයි. ඒ කාලයේ ඔහු ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායමේයි වාදන ශිල්පියකු ලෙස කටයුතු කළේ. ඔහුගෙන් යම් යම් දේවල් අසා දැන ගත්තා. ඊට පරිබාහිරව අනෙක් අය වාදනය කළ අයුරු බලා සිටියා. ඒ ඔස්සේ මගේ ම කියලා නිර්මාණ ගොඩනඟා ගත්තා. වේදිකාවේ දී ඩ්‍රම්ස් වාදනය කිරීමේදී ඒ නිර්මාණ ඔස්සේ මගේ ම සොයා ගැනීම් ඉදිරිපත් කළා. එය බොහෝ සාර්ථක වුණා. මේ නිසා ම මට විවිධ සංගීත කණ්ඩායම් සමඟ ඩ්‍රම්ස් වාදනයෙන් සහභාගි වෙන්න අවස්ථාව උදාවුණේ මගේ ඒ විශේෂත්වය නිසයි. * සංගීත කණ්ඩායම් කිහිපයක් සඳහා වාදනයෙන් සහභාගි වුණත් ස්ථිර ලෙස ම ඔබ කාලයක් ත්‍රී සිස්ටර්ස්ලා සමඟත් කටයුතු කරනවා. මුලින් ම ‘තරංගා’ සංගීත කණ්ඩායමේත්, පසුව ‘සත්සර’ සංගීත කණ්ඩායමේත් මා ඩ්‍රම්ස් වාදකයකු ලෙස කටයුතු කරනවා. ඊට පසුවයි ඉන්ද්‍රාණි පෙරේරා ප්රමුඛ ත්‍රී සිස්ටර්ස්ලාගේ පියා නිර්මාණය කළ ‘සුපර් ස්ටාර්ස්’ සංගීත කණ්ඩායමට මා සම්බන්ධ වෙන්නේ. එතැන අවුරුදු නවයක කාලයකින් පසුව මම ‘සන්ෆ්ලවර්ස්’ සංගීත කණ්ඩායමත් සමඟ කටයුතු කරනවා. ඉන් පසුව එහි වසර දහයක් වැනි කාලයක් ගත කිරීමෙන් පසුව ඔවුන්ට සමුදෙනවා. ඒ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදවු විය යුතු නිසයි. * දැනට ඔබ ආරම්භ කර ඇති ‘සුපර් ස්ටාර්’ සංගීත කණ්ඩායම ඔබ මීට පෙර වාදනයෙන් සහභාගි වුණු කණ්ඩායමේ එකමුතුවක් ද? කාලයකට පස්සේ ක්ෂේත්රයට ඇතුල් වන අවස්ථාවේ දී මගේ ම සංගීත කණ්ඩායමක් ආරම්භ කළ යුතුයැයි මා තීරණයකට ආවා. එය සිද්ධ වෙන්නේ මේ දැන් තිබෙන සංගීත කණ්ඩායමේ සිටි අය පැමිණ කරන ආරාධනයෙන්. මුලින් ම ඔවුන්ගේ ඒ කණ්ඩායමේ තත්ත්වය මා අධ්‍යයනය කළා. එහිදී ඔවුන් දක්ෂ කණ්ඩායමක් වග මට වැටහුණා. ඒ අනුවයි මා නැවතත් ‘සුපර් ස්ටාර්’ සංගීත කණ්ඩායම ආරම්භ කරන්නේ. මීට පෙරත් මා මගේ නමින් ‘සුපර් ස්ටාර්’ සංගීත කණ්ඩායම ආරම්භ කළා. ඒ ඉන්ද්‍රාණි පෙරේරාගේ පියාගේ අවසරය ඇතිවයි. අද වනවිට ඒ සඳහා ලැබෙන ආරාධනාත් බොහොමයි. * ඩ්‍රම්ස් වාදනය ඔස්සේ ඔබ සොයාගත් අලුත් සොයා ගැනීම් මොනවා ද? ඒ දවස්වල පූජි ස්මයිල් කියන ශිල්පියා සංගීත සංදර්ශනවල ඩොලැක්කිය වාදනය කළා. ඒ වෙනකොට කවුරුවත් ඩ්‍රම්ස් එකෙන්, ඩොලැක්කි බීට් එක වාදනය කරලා නැහැ. ඒත් මම කළේ ඩොලැක්කියෙන් වාදනය කරන බීට් එක ඩ්‍රම්ස් එකෙන් වාදනය කිරීමයි. සමහර දවස්වල පූජි ස්මයිල් එන්නේ නැහැ. ඒ වගේ දවස්වලට මා කළේ ඩොලැක්කියෙන් වාදනය කරන බීට් එක ඩ්‍රම්ස් එකෙන් වාදනය කිරීමයි. ඒ අලුත් වාදනයට ගායක - ගායිකාවන්ගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්. විශේෂයෙන් ම එච්. ආර්. ජෝතිපාලයන්, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා ඇතුළු බොහෝදෙනා ඒ සඳහා දැක්වූයේ බොහොම කැමැත්තක්. සමහර දවස්වල එච්. ආර්. ජෝතිපාලයන් ඒ අලුත් වාදනය මට දිගට ම වාදනය කරන්න කියනවා. ඔහුගේ ‘මම ගන්නෙමි කරකාලා බන්දාලා....’ ගීතයේ දී මට අපූරු අවස්ථාවක් ලැබෙනවා. ඒ ගීතය අතරමඟදී නතර කරමින් මට තනිවම ඩ්‍රම්ස් සෝලෝ එකක් ඉදිරිපත් කිරීමටයි. ටික කාලයකට පස්සේ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ ‘කාවඩි බයිලා....’ ගීතයටත් එවැනි සෝලෝ එකක් ඉදිරිපත් කිරීමට මට ආරාධනා ලැබෙනවා. ඒ අලුත් සොයා ගැනීම වෙනස් ම තත්ත්වයක් නිර්මාණය කළා. මගේ ජනප්‍රියත්වයට ඒ කාරණයත් හේතුවුණා. ඒ නිසා මා සිටි සංගීත කණ්ඩායමටත් ඒ තත්ත්වය ආලෝකයක් ගෙනාවා. අද ඉන්න නවක ඩ්‍රම්ස් වාදකයන් පවා මා සොයාගත් අලුත් ක්‍රමවේදය භාවිත කරන ආකාරය මා දැක තිබෙනවා. ඒක මට සතුටක්. * වර්තමානයේ සිටින වාදන ශිල්පීන් ඔබ එදා කළා වගේ නව සොයා ගැනීම් කරන බවක් අප දකින්නේ නැහැ. ඩ්‍රම්ස් වාදනයට සිටින ප්‍රවීණ ශිල්පියකු විදියට මේ අදහස ගැන ඔබ පවසන්නේ කුමක් ද? මා කිසිම දිනෙක ගායකයාට හෝ ගායිකාවකට ගීතය ගයන්නට නොහැකි වන ආකාරයෙන් වාදනයේ නිරත වූයේ නැහැ. එත් වර්තමානය වනවිට තාක්ෂණයේ දියුණුවත් සමඟ හැමදෙයක් ම වෙනස් වෙලා. ඔවුන් ගීතයේ නොමැති ඩ්‍රම්ස් බ්රේක් භාවිත කරමින් වාදනය කරන අවස්ථා තිබෙනවා. එහෙත් මා ඊට කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද අද රැල්ලට අනුගත වන්නට ඔවුන්ට සිදුවෙලා. අප ඉස්සෙල්ලා ඩ්‍රම්ස් වාදනය ඉදිරිපත් කළේ අපේ ශක්තියෙන්. වර්තමානය වනවිට ඒ තරම්ම මහන්සියකින් ඩ්‍රම්ස් වාදනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඩ්‍රම්ස් මැෂින් එකක් තිබෙනවා. එහි එක එක ශබ්ද රැසක් ඇතුළත්. යන්තමට තට්ටු කළත් මුළු ගමට ම ඇහෙන්න තරම් ඒ ශබ්ද ප්‍රබලයි. * කලා ශිල්පියකුගේ වසර හතළිස් පහක ජීවිත කාලයක් කියන්නේ අත්දැකීම් සමූහයක එකතුවක්. ඒ ලැබුණු අත්දැකීම් පිළිබඳ මොන වගේ හැඟීමක් ද තිබෙන්නේ? අද වනවිට සංගීත කණ්ඩායම්වල බිහිවීම සිද්ධ වන්නේ හතු පිපෙනවා වගේ. පාසල් අවසාන වීමත් එක්ක ම අද ගොඩක් ළමයි කරන්නේ සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමයි. එතැනදි ඔවුන්ට ඒ සංගීත භාණ්ඩ සම්බන්ධයෙන් හෝ ඊට අදාළ කාරණයක් සම්බන්ධයෙන් යම් දෙයක් දැන ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලයට ගිහින් සියල්ල දැන ගත හැකියි. ඒත් එදා අපේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්. අපේ කාලයේ තිබුණේ කැසට් එකක්. ඒ කැසට් එකේ තිබුණු ගීතයෙනුයි අපි පුහුණු වුණේ. ඩ්‍රම්ස් වාදනය කිරීමේදී අප ම එය කුළියට අරගෙන, ගිහින් වාදන භාණ්ඩය හදාගෙන නැවතත් ඒ සියල්ල ගලවාගෙන අයිතිකරුට භාර දිය යුතුයි. වර්තමානය වනවිට මේ ක්‍රමය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. අද ඒ කාර්යය වඩාත් පහසු වෙලා. මේ කාරණයත් සමඟ අලුත් පරපුරට යමක් මතක් කර දිය යුතුයි. ඒ වාදනයට පිවිසෙන විට දුම්පානයෙන් හා මත්පැන්වලින් සම්පූර්ණයෙන් ම වැළැකි සිටිය යුතු බවයි. වර්තමානයේ ඩ්‍රම්ස් වාදනය කරන බොහෝදෙනා මත්ද්‍රව්‍ය හා මත්පැන්, දුම්පානය කිරීමෙන් පසුව ඒ කටයුත්තේ නියැළෙන බව මා දැකලා තිබෙනවා. ඒක ඒතරම්ම හොඳ කාරණයක් නොවෙයි. කිසිම දවසක මා වාදනය කරන කාලයේ දී ඒ කිසිවක් පානය කළේ නැහැ. ඒ නිසාදෝ තවත් වසර දහයක් වුණත් ඉදිරියටත් වාදනය කරන්න හැකි ශක්තියක් මගේ ශරීරයේ ඉතිරි වෙලා තිබෙනවා. ඒ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ මා එසේ ඒ මත්ද්‍රව්‍යවලින් ඈත් වූ නිසයි. * ඔබගෙන් පසුව මේ කාර්යය කරගෙන යන්න කිසිවකුත් ඇත්තේ නැද්ද? මේ වාදනය පිළිබඳ ඉගෙන ගැනීමට අවශ්‍ය ඕනෑ ම කෙනෙකුට මා උදවු කරනවා. ඔවුන් වාදනය කරන විට වැරැදි තැනක් දැක්කොත් ඒ දේ කියලා දෙන්න දෙපාරක් සිතන්නේ නැහැ. මගේ දියණිය දුල්නාරා සිල්වාට හොඳට ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන්. ඕනෑ ම බීට් එකක් වාදනය කරලා පෙන්වුවොත් ඇයට එය වාදනය කරන්නට හැකියි. එවැනි දක්ෂකමක් ඈ සතුයි. ඇයත් මේ ප්‍රසංගයේ දී ගීත කිහිපයකට ඩ්‍රම්ස් වාදනයෙන් සහයෝගය දක්වනවා. ඒ හැකියාවත් සමඟ ඉදිරියේ දී වෛද්‍යවරියක් වීමයි ඇගේ අනාගත බලාපොරොත්තුව වන්නේ. ඒ වගේ ම මේ කාරණයත් මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. යම්කිසි විදියකින් අපේ සංගීත කණ්ඩායම යම් කෙනෙකුට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඇමතිය යුත්තේ මාව පමණයි. ඒ නමින් පෙනී සිටින වෙනත් අය සිටිනවා නම් ඒ පිළිබඳ වගකීමක් මට ගන්නට නොහැකි බවත් අවසාන වශයෙන් කියන්න ඕනෑ.
|