වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන ගැන මට තණ්හාවක් නෑ

සම්මාන ගැන මට තණ්හාවක් නෑ

‘පුතණ්ඩියා’හි චණ්ඩියා ජීවන් කුමාරණතුංග නව පරපුරේ දක්ෂයෝ ඉන්නවා ඒත්...

එදා රිදී තිරයේ ආදරණීය සුපෙම්වතා මෙන්ම සුපිරි වීරයා ද වූ ජීවන් කුමාරතුංග මෙදා අපට හමුවන්නේ ආදරණීය පියකු ලෙසිනි. යුක්තිය, සාධාරණත්වය උදෙසා නොබියව සටන් වදින ඒ පියා වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි.

එකී චරිතය අපට සිහි ගන්වන්නේ 70, 80 දශකයන්හි අපේ සිනමාවට ජීවන් එක් කළ සුපිරි සටන්කාමිත්වයයි. තිසූල දීප තඹවිට ගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘පුතණ්ඩියා’ එකී සුවිශේෂී රංගනය සඳහා ඔහුට ඉඩහසර විවර කොට ඇත.

ජීවන් මෙම පිළිසඳරට එක් වන්නේ සිය නවතම රංගනය හා වත්මන් සිනමා අර්බුදය පිළිබඳ කරුණු ගෙනහැර පෑමටය.

* ‘පුතණ්ඩියා’ චිත්‍රපටයේ චරිතය පිළිබඳ මුලින්ම කතා කරමු?

මේක මට හුරු පුරුදු චරිතයක්. ප්‍රේ්ක්ෂකයෝ එදා ප්‍රිය කරපු වර්ගයේ චිත්‍රපටයක් නිසා ඔවුන් සතුටට පත් වෙලා ඉන්නේ. තිසූලත්, බුද්ධිකත්, මමත් ඒ ගුණය ආරක්ෂා කර ගනිමින් ‘පුතණ්ඩියා’ චිත්‍රපටය නිර්මාණය කරන්නට උත්සාහ කළා. ක්‍රියාදාම චිත්‍රපටයක ස්වරූපය දකින්න ලැබුණත් ගුණාත්මකභාවය රැක ගනිමින් ‘පුතණ්ඩියා’ නිර්මාණය කරන්න තිසූල සමත් වෙලා තියෙනවා.

* බුද්ධික ජයරත්න මා සමඟ පැවසුවා 80, 90 දසකවල ජීවන් කුමාරණතුංගගේ සටන් මේ චිත්‍රපටයෙත් තිබෙනවා කියා. කොහොමද තාරුණ්‍යයේ ඒ තිබූ ‘ජවය’ වර්තමානයට ඔබ රැගෙන ආවේ?

මට හමු වූ එක් ප්‍රේක්ෂකයෙක් තුන් වතාවක් මේ චිත්‍රපටය නරඹලා තිබුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ මං හිතන්නේ ‘පුතණ්ඩියා’ ඒ අය කැමැති අර එදා මම රඟපාපු විදිහේ චිත්‍රපටයක් වීම. බොහෝ ප්‍රේක්ෂකයෝ ඒ ගණයේ චිත්‍රපටවලට තාම කැමැත්ත තියෙනවා. ‘ජවය’ නම් අඩුවක් වෙලා නෑ ඉතින් තාම. ඇත්තටම ඉතින් මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ ප්‍රධාන චරිතය නොවුණත් මගේ චරිතය හරහා ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.

* ‘කොටන කුකුළා කොයි කොටුවෙත් කොටනවා’ කිව්වා වගේ ඔබ මේ චිත්‍රපටයෙත් ඔබේ චරිතය යන්තම් ගොඩ දාගත්තා?

ඇත්තටම මේ චරිතය මතුපිටින් දඩබ්බරයි වගේ පෙනුනට එහෙම නෑ. තමන්ට වෙච්ච අසාධාරණයක් නිසයි ඔහු සටන් වදින්නේ. බිරිඳට වෙච්ච පොරොන්දුවක් නිසා සාමකාමී ජීවිතයක් ගත කරන්න උත්සාහ කළත් හතුරන් ඉදිරියේ ඔහු ආවේගශීලී වෙනවා. නමුත් ඔහු හිත හොඳ මිනිහෙක්. ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්ත මේ වගේ චිත්‍රපට කීපයකම මම රඟපාලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේක මට ‘හුරු පුරුදු’ චරිතයක් කියලා.

* කොහොමද ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

මේ චිත්‍රපටය නරඹන්න ආපු ඒ ත්‍රීරෝද රථ වෘත්තිකයෝ ලොකු ආදරයකින්, භක්තියකින් මාව වැළඳ ගත්තා. ඒ චරිතය වගේම මාවත් ඔවුන් වැළඳ ගත්තා. ඒ අය බොහොම සතුටෙන් ඒ ගැන කතා කළා.

* පුංචි තිරයේ ඔබ තිසූල දීප තඹවිට එක්ක කීප වතාවවක් සම්බන්ධ වී තිබුණත් මේ ඔහු සමඟ සිනමාවේ එක්වන ප්‍රථම අවස්ථාව?

තිසූලගේ අධ්‍යක්ෂණය යටතේ මම ටෙලි නාට්‍ය කීපයකම රඟපාලා තියෙනවා. නමුත් සිනමාවේ ඔහු එක්ක වැඩ කරන ප්‍රථම වතාව මේක. ඇත්තටම නවක අධ්‍යක්ෂවරුන් අතර ඔහු ගුණාත්මක වාණිජ සිනමාවක් කරා යන්නට පුළුවන් ගුණාංග තිබෙන නිර්මාණකරුවෙක්. මේ චිත්‍රපටය බලද්දී අපට ඒක පේනවා. ඔහු අධ්‍යක්ෂවරයෙක් වගේම කැමරා අධ්‍යක්ෂවරයෙක්. මේ දෙකම ඔහු තුළ තිබෙන විශේෂ හැකියාවන්. මම හිතනවා එයින් චිත්‍රපටයට ලොකු ප්‍රයෝජනයක් වාසියක් වෙලා තියෙනවා කියා.

* පසුගිය කාලේ අපේ ඇස ගැටුණේ සැලෝලයිඩ් පටයේ රජාට ඇඳපු ජිවන් කුමාරණතුංග. ඒ තුළ මම නම් දැක්කේ යම් ඒකකාරී බවක්?

‘මහින්දාගමනය’ චිත්‍රපටයේ දේවානම් පියතිස්ස චරිතය තමයි මුලින්ම මම රඟපෑවේ. ඒක අති සාර්ථක වුණා. ඊට පස්සේ ‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ රජ්ජුරුවන්ගේ චරිතය. මුලදී ඒ චරිතය රඟපාන්න හිටියේ වෙනත් කෙනෙක්. නමුත් රූගත කිරීම් ආරම්භයේදීම සිදු වූ යම් යම් තත්ත්වයන් මත ඒ චරිතය සඳහා මට ආරාධනා කළා. මම ඒක භාර ගත්තා. ඒ වෙලාවේ අපේ සිනමාවේ තිබුණේ ඉතිහාස කතා රැල්ලක්නේ. ඉතින් ඒ වගේ පසුබිමක ‘රජ’ චරිත සඳහා මාව තෝරා ගන්නත් අධ්‍යක්ෂවරු කටයුතු කළා.

* දේශපාලනයට සම්බන්ධව සිටි කලාකරුවන් අතරින් ඔබ අනාගත සිනමාවේ යහ පැවැත්ම සඳහා වූ යම් යම් තීරණාත්මක සාධක පිටුපස සිටි අයෙක්. නමුත් කිසිදු රජයකින් සිනමාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවුණ බව තමයි පෙනෙන්නට තිබෙන්නේ?

ඔව්. නමුත් සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලයේ පටන් මම යම් යම් ක්‍රියාකරකම්වල නියැළුණා. දන්න අය ඒ ගැන දන්නවා. චන්ද්‍රිකා මැතිනියගේ යුගයේ ‘අම්බලවානර් කොමිසම’ අහෝසි කරන්නට මුල් වුණේ අපි. එතකොට මහින්ද රාජපක්ෂ යුගයේ සිනමා කර්මාන්තයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අපි කෙටිකාලින, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩ පිළිවෙල සකස් කළා. බදු සහන විශාල වශයෙන් ලබා දුන්නා. ඒත් අපේ සිනමා කර්මාන්තයේ නියැළි අය එයින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නෑ.

* චිත්‍රපට ප්‍රදර්ශනය පැත්තෙන් ගත්තොත් අද අපේ සිනමා කර්මාන්තය දැවැන්ත අවදානමකට ලක්වීමේ අභියෝගයකට මුලපුරා තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ දුප්පත් ‘පුතණ්ඩියා’ට හැප්පෙන්න වෙලා තියන්නේ ‘කබාලි‘ වගේ ජාත්‍යන්තර සිනමා යෝධයෙක් එක්ක?

කබාලි‘ චිත්‍රපටයයි අපේ චිත්‍රපටයයි සම කරන්න බැහැ. ඒ ප්‍රේක්ෂකයන් හා අපේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන් අතර වෙනසක් තියෙනවා. ඇත්තටම ඉතින් අද අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වෙළෙඳපොළ කුඩා වීම. ඒ වෙළෙඳපොළ කුඩා නිසාම අපට ලොකු පිරිවැයක් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ දෙක සමබර කර ගන්න බැරි ප්‍රශ්නයයි අපිට තියෙන්නේ. නැතුව චිත්‍රපට නිෂ්පාදකයන් නැතුවා නෙවෙයි.

* නිර්මාණකරුවොත් ඉන්නවා ඒ වගේම නේද?

නිර්මාණකරුවොත් ඉන්නවා. නමුත් අද අපට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලොකු පිරිවැයක් දරන්න සිදු වීම තුළ අපේ වෙළෙඳපොලට අලෙවි කරලා ලාභ ලබන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ඉතින් ජීවන් කුමාරතුංග දේශපාලනය කළා කියලා මේකට විසඳුම් හොයන්න බෑ. සැබෑ තත්ත්වය වටහා ගැනීමයි අප කළ යුත්තේ. එතකොට අපට සිද්ධ වෙනවා අඩු පිරිවැයකින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න. එහෙම කරළා ඒ වෙළෙඳපොළ අනුව හැසිරෙන්න අපට සිදු වෙලා තිබෙනවා.

* නමුත් අපේ ප්‍රේක්ෂකයා අද ගැවසෙන්නේ ජාත්‍යන්තර සිනමාවත් එක්ක. තවදුරටත් ඔවුන් ‘ලිං මැඬියන්’ නෙවෙයි?

ඔව්. ඒක තමයි ප්‍රශ්නය. මොකද අද වෙනකොට ඔවුන්ට ජාත්‍යන්තර සිනමාව විවර වෙලා තියෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට බලනවා ච්.ඍ.ච් හරහා, ඉන්ට(ර්)නෙට් හරහා. එතකොට ඔවුන් සූදානම් වෙන්නේ නෑ ‘අනේ අපේ වෙළෙඳපොළ කුඩයිනේ, ඒ හින්දා අපි පොඩ්ඩක් සමාව දෙන්න ඕනෑ’ කියා කියන්න. ඔවුන් කෙළින්ම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ තත්ත්වයට පිළියම් වශයෙන් රජයෙන් ලොකු අනුග්‍රහයක් ලැබිය යුතුව තියෙනවා. එහෙම නැතුව සිනමාව ගොඩ දාන්න බෑ. මොකද අප විසින්ම සිදු කරගත් ලොකු පාඩුවකුත් අපට තියෙනවා නේ.

* ඒ මොකක්ද?

අපි 1983දී අපේම සිනමා ශාලා ගිනි තියා ගත්තනේ. සිනමා ශාලා හාර පන්සීයක් තිබ්බ එක එකසිය පනහට, දෙසීයට අඩු වුණේ මේ ගිනි තියපු එකෙන්. ඒ අහිමි වූ සිනමා ශාලාවලින් අපට අහිමි වෙච්ච ප්‍රේක්ෂක සංඛ්‍යාව ගණන් බැලුවොත් අති විශාලයිනේ. ඉතින් මේ වගේ කාරණා. ඊට පස්සේ රටේ ඇති වෙච්ච කලබලකාරී තත්ත්වයත් තුළ අද මේ වෙන කොට ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම හවස් වෙනකොට ඇණහිටලා. හවස කියන්නේ අටෙන්, නවයෙන් පස්සේ බස් නැහැ. අර ගමෙන් නගරයට චිත්‍රපට බලන්න එදා ආපු ප්‍රේක්ෂකයෝ අද රූපවාහිනියෙන් නැතිනම් ච්.ඍ.ච් මාර්ගයෙන් චිත්‍රපට නරඹනවා. මෙහෙම, මෙහෙම හේතු ගණනාවක්.

* හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවානේ. එහෙම විසඳුම් යෝජනාවලියක් එහෙම නැද්ද?

ඔය දියුණු වෙමින් පවතින නගරවල මිනි සිනමා ශාලාවක්වත් අඩු තරමේ ඇති කරන්න ඕනෑ. ඉතින් එකට රජයේ අනුග්‍රහයත් ලැබෙන්න ඕනෑ.

* මොන විදිහටද?

ඒ සඳහා ඉඩමක්, සහන පොලී ක්‍රමයක් යටතේ ණයක්. මෙන්න මේ වගේ විශාල අනුග්‍රහයක් රජයෙන් ලැබිය යුතුව තිබෙනවා. මම මේ පිළිබඳ හිටපු ජනාධිපතිතුමන්ලාට වගේම වර්තමාන ජනාධිපතිතුමාටත් දැනුම්වත් කළා. ඔවුන් යම් යම් සහායන් නොදුන්නා නෙවෙයි. දැන් හිටපු ජනාධිපතිතුමිය මට කරපු යෝජනාවක් අනුව තමයි අර මිනි සිනමා ශාලාවක් ඇතුළු සුපිරි සාප්පු සංකීර්ණයක් හදන්න සූදානම් ආයෝජකයන්ට බදු සහන ලබා දුන්නේ. තීරු බදු රහිත වාහන ගෙන්න ගන්න ප(ර්)මිට් දෙනවා කිව්වා. අපි එහෙම පියවරක් ගත්තේ සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කරන්න.

* ඒත් ඒක ප්‍රායෝගික විසඳුමක් වුණේ නෑ නේද?

ඒක තමයි වැඩේ. අපි යම්, යම් පියවර ගත්තට ඒවායින් නිසි ප්‍රයෝජන ගන්න ආයෝජකයින් ඉදිරිපත් නොවුණ එක අපට ගැටලුවක්. චිත්‍රපට නිෂ්පාදනයට යන මුදල බදුවලින් නිදහස් කළා. එතකොට චිත්‍රපට ආනයිනික භාණ්ඩ තීරු බදුවලින් නිදහස් කළා. ඒ වගේ තවත් බදු සහන ගණනාවක් දුන්නා. නමුත් ඉතින් ඒ තරමට නිෂ්පාදකයා ඉදිරියට ආවේ නෑ. එතකොට අපි මොකද කරන්නේ. ඇත්තටම 80 දශකය තුළත් අපේ සිනමා කර්මාන්තයේ මෙවැනි අර්බුදයක් තිබුණා. ඒ වෙලාවේ සිනමා කර්මාන්තයේ අය තමයි එකතු වෙලා චිත්‍රපට නිෂ්පාදනය කළේ.

* ඔබත් එක් අයෙක්?

ඔව්. මමත් ඒ ගොන්නේ හිටියා. එදා නිෂ්පාදකයෝ අපිව අතෑරලා ගියා. එවෙලේ මට මතකයි සෝනියලා, සුනිල්සෝමලා එක්කහු වෙලා චිත්‍රපට හදන්න පටන් ගත්තා. මම රංජිත් සිරිවර්ධන එකතු වෙලා චිත්‍රපට කළා. එතකොට ආනෝජා වීරසිංහ නිෂ්පාදනයට එක් වුණා. ඔහොම ඔහොම කර්මාන්තයේ අයම චිත්‍රපට කරන්න අරගෙන ආපහු කර්මාන්තය නග්ගලා ගත්තා. කාලයක් ඕක කෙරුණා. දැන් ආයේ පහුබැහැලා. අඩු පිරිවැයකින් කොහොමද මේක කරන්නේ කියලා සැලසුම් කරලා අපිට නැවත පුළුවන් මේ කාර්යයට මැදිහත් වෙන්න. මුදල ගැනම හිතන්නේ නැතිව.

* ඉතින් ඔබට පුළුවන්නේ ඒ කාර්යයට මුල පුරන්න?

මමත් එහෙම අදහසක ඉන්නවා. නමුත් ඒක මට විතරක් කරන්න අමාරුයි. ඒක සියලු දෙනාගෙන්ම ඉටු විය යුතු යුතුකමක්. හොඳ තිර පිටපත් සොයා ගැනීමේ අපහසුවත් අද තියෙනවා. ඒ කාලේ ජනප්‍රිය සිනමාවට පිටපත් ලියපු අය අද හරිම අඩුයි. ඉතින් එහෙම කෙනෙක් එක්ක සාකච්ඡා කරමින් මම මේ ඉන්නේ.

* ඔබම මා එක්ක ප්‍රකාශ කළා කවදාහරි හොඳම නළුවා වීමේ සිහිනයක් ඔබ තුළ තිබෙනවා කියලා. ඒ සිහිනය දැන් බොඳ වෙලා ගිහිල්ලද?

ඒ සිහින මම දැන් අතෑරලා ඉන්නේ. සම්මාන ගැන මගේ බලාපොරොත්තුවක් නෑ.

* ඇයි ඒ?

අවසානේ ඉතින් මොකක්ද ඕක. හිතේ තියෙන ආශාවක් ඉෂ්ට වෙනවා විතරයි. ඒකත් ඉතිං අන්තිමට පැත්තකට තල්ලු වෙලා යයි. මේ ලැබිලා තියෙන ප්‍රේක්ෂක සම්මානය මට හොඳටම ඇති. අදටත් ජනතාව අතරට ගියාම ඔවුන් මාව අදරයෙන් වැළඳ ගන්නවා. පිළිගන්නවා. ඉතිං ඒ ආදරයේ කිසි අඩුවක් වෙලා නෑ. ඒකත් එක්ක සෑහීමකට පත් වෙමින් මේ ගමන මම හිමීට යනවා. සම්මාන පිළිබඳ මට බලාපොරොත්තුවක් නෑ. තන්හාවකුත් නෑ. හැබැයි සම්මාන ලැබෙන අයට අත්පුඩියක් ගහන්න මම යනවා.

* හෙට දවසේ සිනමාව බාර ගන්න ඉන්න අපේ නළු පරම්පාව ගැන ඔබ දරන්නේ කොයි වගේ ආකල්පයක්ද?

වකයින් අතර දක්ෂයන් ඉන්නවා. ඔවුන්ටත් සිදු වෙලා තියෙන අසාධාරණය තමයි එදා වගේ හොඳ චිත්‍රපට අද නිර්මාණය නොවීම. එදා ඇත්තට අපි අතරේ තිබුණේ තරඟයක්. මම මෙහෙන් එකක් කරනවා. සනත් තව එකක් කරනවා. ඒකට මෙහා පැත්තෙන් තව කවුරුහරි කරනවා.

* පොඩි සුන්දර තරඟයක්?

තරඟයක් තිබුණනේ. සීතල යුද්ධයක් කිව්වොත් ඕක නිවැරදියි. එහෙම තිබුණා. ප්‍රේක්ෂක අවධානය ඒවාට යොමු වුණා. මාධ්‍ය අවධානය වැඩියි. ඒ තත්ත්වය ඉතින් අද නැහැනේ. නවකයන් අද හිටියත් තැන් තැන්වල ඔවුන් හිර වෙලා. ඔවුන්ට ඒ තරු ගුණය බබලවා ගන්න තියෙන අවස්ථා අඩු වෙලා තියෙනවා. ඒක තමයි තියෙන ගැටලුව.

* ඒ කියන්නේ ඔවුන්ට ගොඩ නැඟෙන්න පීරියඩ් එකක් නෑ?

ඔව්. මෙහෙමනේ අසංක. සිනමාවේ ස්ථාවර වෙන්න දවසින්, දෙකින් එහෙම නැතිනම් මාසෙන්, අවුරුද්දෙන් බෑ. ප්‍රේක්ෂකයෝ අතරේ යම් විශ්වාසනීයත්වයක් ගොඩ නැඟෙන්න ඕනෑ. එදා නළුවාගේ, නිළියගේ නම කියලානේ චිත්‍රපටයට ප්‍රචාරය දුන්නේ. ගාමිණීගේ ෆිල්ම් එකක්, එහෙමනෙ කිව්වේ. අන්න විජයගේ ෆිල්ම් එකක්. පසුකාලීනව ඒක සනත්ගේ, ජීවන්ගේ ෆිල්ම් එකක් කියලා ඔහොම කියවුණා. නමුත් නමක් කියලා ප්‍රචාරයක් දෙන්න අද එහෙම නළු, නිළියෝ නෑ ඇත්තටම. මම මේ ඔවුන්ට දොස් කියනවා නෙවෙයි, අද එවැනි පරිසරයක් නෑ. ඒ පරිසරය අපට අහිමි වෙලා.