වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




කුලී ඝාතකයා නැවත කරළියට

කුලී ඝාතකයා නැවත කරළියට

ආතර් බිෂොප් කුළී ඝාතකයෙකි. මැරවරයින්ගේ බසින් ඔහු ‘මිකැනික්’ ලෙස හැඳීන්වේ. දැඩි විනයකින් ක්‍රියා කරන ඔහු කිසි විටෙකත් තමන්ගේ කාර්යය සමඟ පුද්ගලිකව නොබැඳේ. ස්වකීය වෘත්තියෙහි ඇති දක්ෂයෙකු වන ඔහුට කිසිදිනෙක ඉලක්කය වරදින්නේ ද නැත. සාහසික ඝාතනයක් කොට එය ස්වභාවික මරණයක් හෝ අනතුරක් ලෙස පෙනෙන්නට සැලැස්වීමට ඔහුට හැකිය. වරෙක ඔහුට නොසිතූ ආකාරයේ කොන්ත්‍රාත්තුවක් ලැබේ.

එනම් තම වෘත්තීය සගයා වන ‘හැරී’ මරා දැමීමයි. මෙම කොන්ත්‍රාත්තුව, ඔහුට පුද්ගලිකව ඉතා අසීරු කාර්යයක් බව නොකිවමනාය. එහෙත් සාධාරණ හේතු ඇති බව පෙනෙන බැවින් ඔහු සිය මිතුරා මරා දමයි. එපමණක් නොව එය වාහන මංකොල්ලයක් ලෙස හුවා දක්වයි. මිතුරාගේ අවමංගල්‍ය උත්සවයේදී බිශෝප්ට හැරී ගේ පුතු ස්ටීව් මුණ ගසේ. ඔහු සිය පියා මැරූ “මංකොල්ලකරුවන්” ගෙන් පලිගැනීම සිය අරමුණ කරගෙන සිටී. හැරී ගේ ඝාතන කොන්ත්‍රාත්තුවට හේතුවූ කරුණු ගැන සැක කරන බිෂොප් ඒ ගැන දිගින් දිගටම සොයයි. තවද ඔහු අත්දැකීම් අඩු තරුණයකු වන ස්ටීව් සිය වෘත්තීය සගයා කරගන්නා නමුත් සිය රහස හෙළි නොකරයි. දෙදෙනාගේම අරමුණ හැරී ගේ ඝාතනයට මූලික වූ පුද්ගලයින්ගෙන් පළිගැනීම වෙයි. ව්‍යාකූල තත්ත්වයකින් නිමාවන මෙම කතාංගය අවසානයේ බිෂොප් විසින් ස්ටීව් ද මරා දමනු ලැබේ.

මේ, 2011 වසරේ තිරගත වූ ජේසන් ස්ටැතම් ප්‍රධාන භූමිකාව රඟ දක්වන‘The Mechanic’ චිත්‍රපටයේ සාරාංශයයි. සයිමන් වෙස්ට් විසින් අධ්‍යක්ෂණය කොට, අර්වින් වින්ක්ලර් ඇතුළු සිව් දෙනෙකුගේ නිෂ්පාදනයකින් බිහිවුණු මෙම චිත්‍රපටය විචාරකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලත්, වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටයකි.

‘The Mechanic’ හි දෙවන දිගහැරුම,‘Mechanic: Resurrection’ නමින් ලබන 26 වැනිදා සිට තිරගත වීමට නියමිත අතර, එය ඩෙනිස් ගැන්සල් ගේ අධ්‍යක්ෂණයක්, සහ විලියම් චාටෝෆ් ඇතුළු තිදෙනෙකුගේ නිෂ්පාදනයකි. ෆිලිප් ශේල්බි ඇතුළු සිව් දෙනෙකුගේ තිර රචනයක් වන මෙහි ජේසන් ස්ටැතම්, ජෙසිකා ඇල්බා, ටොමී ලී ජෝන්ස් සහ මිෂෙල් යිඕෆ් ඇතුළු පිරිසක් රඟ දක්වති. මාක් ඉෂ්මාන් ගේ සංගීතයෙන් ඔපවත් වුණු ‘Mechanic: Resurrection’,’සමිට් ප්‍රිමියර්’ විසින් බෙදාහරිනු ලැබෙයි.

මුල් චිත්‍රපටය අවසන් වන ව්‍යාකූල තත්ත්වයෙන් පසු ආතර් බිෂොප් කුළී ඝාතන වෘත්තියෙන් සමුගනී. එසේ නමුත් ඔහුගේ ආදරවන්තිය පැහැරගන්නා පිරිසක් බිෂෝප්ට නැවත ඝාතන කොන්ත්‍රාත්තුවක් භාර දෙයි. ඒ දින 5ක් ඇතුලත, මහාද්වීප හතරක් පුරා සංචාරය කොට, පුද්ගලයින් තිදෙනෙක් මරා දමා ඒමා ස්වභාවික සිද්ධීන් ලෙස හුවා දැක්වීමයි. ඉහත කාර්යයන් ඉටු නොකළහොත් සිය පෙම්වතිය මරා දැමෙන බවට පැහරගත්වුන් සහතික වෙයි. ක්‍රියාදාමයන්ගෙන් අනූන චිත්‍රපටයක් වන මෙය තායිලන්තය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය ආදී රටවල රූපගත කිරීම් කර ඇත.