වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මහගම සේකරයන්ගේ අවමඟුලේදී හමු වූ පුංචි මිතුරා

මහගම සේකරයන්ගේ අවමඟුලේදී හමු වූ පුංචි මිතුරා

මගේ දෙවන පොත් කවර පොත් ප්‍රදර්ශනය 1975 වසරේ පෙබරවාරි මාසේ හික්කඩුව නගර සභා මහජන පුස්තකාල ශාලාවේ පැවැත්වීමට එහි එවකට පුස්තකාලයාධිපතිව සිටි නෙල්සන් පීරිස් (ඔහු පසුව ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ උසස් තනතුරක් දරා දැන් විශ්‍රාම ලබා ඇත) මූලික විය. මේ ප්‍රදර්ශනයට සහභාගිවීමට මගේ සන් මිත්‍ර කුලරත්න ආරියවංශත්, මාත් දුම්රියෙන් එහි ගියෙමු. ප්‍රදර්ශනය විවෘත කිරීමට නෙල්සන් රත්ගම පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. ජී. මෙන්ඩිස් මහතාට ආරාධනය කොට තිබුණි. මෙන්ඩිස් මහතා මගේ බිරියගේ (දමයන්ති ජයසූරිය) සීයා කෙනෙකු බව පසුව දැන ගතිමි. හික්කඩුව නගර සභාපති ප්‍රමුඛ නගර සභිකයන්ට ද නෙල්සන් ආරාධනා කර ප්‍රදර්ශනයට නව ජීවයක් ගෙනදීම ගැන ඔහුට මගේ කෘතඥතාවය හිමි වේ. මේ ප්‍රදර්ශනය බැලීමට පැමිණි මගේ තාත්තා ඈත සිට එය නරඹා කාටවත් නොකියා ගෙදර ගොස් තිබිණ. පසුව තාත්තා කුලරත්න ආරියවංශට ඒ බව කියා ඇත. ඒ තාත්තාගේ හැටිය.

මහා කලාකරු මහගම සේකරයන් මිය යාමට වසරකට පමණ පෙරාතුව සිදු වූ එක්තරා සිදුවීමක් මෙහි සටහන් කරන්නේ ඔහුට අගෞරවයක් කිරීමේ අදහසින් නොව මේ උතුම් කලාකරුවාගේ' සරල අව්‍යාජ ගති පැවතුම් අනාවරණය වන නිසාය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ ලාලිත්‍ර පල්ලේගම්ගොඩ (අද ගුවන් තොටුපළ සේවා කළමනාකරු) මා සොයා ආවේ විද්‍යාලයීය සාහිත්‍ය සංගමයේ සාහිත්‍ය උලෙළට ආරාධිත කථිකයන් දෙදෙනෙකු සොය දෙන ලෙස ඉල්ලා සිටීමටය. මහගම සේකරයන් සහ සෝමවීර සේනානායකයන් මගේ ආරාධනයෙන් එයට සහභාගි වූහ. සාහිත්‍ය උත්සවය පැවැත් වූයේ සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මාලයේ ශාලාවකය.

'මේක නැගලා පණ යාවි ද මන්දා' පඩි පෙළ නඟිමින් සේකරයන් අපට සිනාසෙමින් කීවේය.

සාහිත්‍ය උත්සවය අවසන්ව සේකරයනුත්, සෝමවීරත්, මාත් මරදානේ දුම්රියපොළ පැත්තට ඇවිද ගියෙමු.

'සෝමේ, කෝච්චියට තව වෙලා තියෙනවා, මීවිතක් ගන්න වේලාවක් තියනවා' සේකරයන් කීවේය.

'හැබැයි මේ හරියේ හරි හමන් තැනක් නැහැ' මම කීවෙමි.

'ඒකට මොකද අපි මේ කිට්ටුව තැනකට යමු'

අපි මරදානේ රවුෆ් ගොඩනැගිල්ල අසල ඇති හරස් පාරක ඇති පුංචි බාර් එකකට ගොඩ වැදුණෙමු.

මීවිත තොල ගාමින් කලබල පරිසරයක යම්තම් ලෑලි පුටු තුනක වාඩි ගත් අපි නොයෙක් දේ කතා කළෙමු. මේ අතර බාර් එකේ මුල්ලක තරුණයෙක් මීවිතක් තමා අසල තබාගෙන සේකර ලියූ 'බෝඩිම' කවි පොත කියවමින් සිටියේය.

'අන්න වැඩක්, හිමින් බලන්න අපේ පාඨකයෙක් 'බෝඩිම' කියවනවා. මෙක චිත්‍රපටයක හරි නවකතාවක හරි ලිව්වොත් ඒක අභව්‍ය යයි කියලා කියාවි' සෝමවීර කීවේය.

'අපි මිනිහට ඩ්‍රින්ක් එකක් යවමු' කී සේකර වේටරයකු ලවා එය ඉටු කළේය.

අප විසින් එවන ලද මීවිත ගැන මවිත වූ රසිකයා අප වෙත ආවේය. සේකරයන් හඳුනා ගත් ඔහුගෙන් අප බේරුණේ කෝච්චියට තව විනාඩි 10 යි තියෙන්නේ' යයි කියමිනි.

'මෙන්න රත්තරං මහත්වරු කවුද දන්නවාද? ඒ ලංකාවේ ඉන්න ලොකුම කලාකාරයා මහගම සේකර මහත්තයා' කී රසික තරුණයා තව මීවිතක් ඇනවුම් කරනු අපට ඇසිණ.

'අපේ හොඳ රසිකයෝ මේ වගෙ බාර්වලත් ඉන්නවා' කියමින් සේකරයන් අපත් සමඟ මරදාන පැත්තට පා නැගුවේය.

විවාහ වීමෙන් පසු අප පදිංචිව සිටියේ සුප්‍රකට චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ පදිංචිව සිටි එදා දෙහිවල නගර සභාව ඉදිරිපිට ආතර්ස් පෙදෙසේ නිවසේ ඇනක්සියේය. අපට ජයසිරි හඳුන්වා දුන්නේ අප හිත මිතුරු හැරල්ඩ් පීරිස්ය. (ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමන්ගේ මාධ්‍ය ලේකම්ය). එකල ඔහු වේදිකා නාට්‍ය කිහිපයක පසුතල නිර්මාණය කරමින් සිටියේය.

හැරල්ඩ් මා ජයසිරිගේ නිවසට කැඳවා ගෙන ගියේ මංගල පෝරුව ඔහු ලවා නිර්මාණය කර ගැනීමටය. හැරල්ඩ්ගේ රෙකමදාරුව මත මට පෝරුව නොමිලයේ ලැබුණු අතර විවාහයෙන් පසු නැවතීමට ඇනෙක්සිය ද දීමට ජයසිරි හා කාන්ති කැමැති වූහ.

මගේ ජීවිතයේ හිත සසල කළ ප්‍රවෘත්තියක් මට අසන්නට ලැබුණේ 1976 ජනවාරි 16 වැනිදා උදෑසන ගුවන් විදුලි ප්‍රවෘත්ති අසා සිටියදීය.

සේකර වියෝව අසා කම්පා වී සිටි මා ලේක්හවුසියට ගියේ ඒ වේදනාව දරාගෙනය. සෝමවීර සිටියේ ද බලවත් සංතාපයෙනි.

'හරි වැඩේ නේද වුණෙ?' ඔහු මගේ අත අල්ලා ගත්තේය.

අපි මේ පාර සරසවියේ මුල් පිටුව නතර කරලා සේකරගේ පින්තූරය දමමු' ප්‍රධාන කතුවරයා අපට උපදෙස් දුන්නේය. මීිට වසරකට පමණ ඉහත මාත්, බන්දු කොඩිකාරත් සමඟ ගත් පින්තූරය සෙවීමට අපි ඩාක් රූම් එකට දිව්වෙමු. සේකරයන් තමාගේ ගත් හොඳම පින්තූරය ලෙස අගය කළ බන්දු එස්. කොඩිකාර විසින් ගන්නා ලද එම පින්තූරයෙන් සරසවිය පත්‍රයේ මුල් පිටුව සැරසිණ.

සේකරයන්ගේ අවසන් කටයුතු කිරිමට සූදානම් කොට තිබූ රදාවානේ තුංමං හන්දිය බලා මාත් මගේ සන් මිත්‍ර කුලරත්න ආරියවංශත් එදින දහවල් ජනයාගෙන් පිරී ඉතිරී ගිය පිටකොටුවේ සිට රදාවාන බලා යන බසයකට ගොඩ වීමු. අපි දෙදෙනා සිටියේ සෙනඟ අතර තෙරපෙමින් බසයේ කොනකට වී සිටගෙනය. ආධාරයක් අල්ලාගෙන සේකරයන්ගේ අසමාන නිර්මාණ ශක්තිය ගැන කතා කරමින් සිටියෙමු. අපේ කතාවට ඇහුම්කන් දෙමින් සිටි අපට වඩා වයසින් බාල තරුණයකු අප ගැන අවධානය යොමු කරනු දක්නට ලැබිණ. ඔහු ද සිටියේ සෙනඟ අතර තෙරපෙමින් බසයේ වූ ආධාරකයක් අල්ලාගෙනය.

'ඔය ගොල්ලෝ යන්නේ සේකර මහත්තයාගේ අවමඟුලටද?'

'ඔව් එහෙ තමා' මම කීවෙමි.

'මම යන්නෙත් එහෙ. මම ජීවිතේට සේකර මහත්තයා දැකලා නෑ නිර්මාණ රස විඳලා තියෙනවා විතරයි'

මේ පුංචි මිතුරාගේ නම ගම දැන ගැනීමට කුලරත්නට අවශ්‍ය විය.

'මම කිත්සිරි නිමල් ශාන්ත. ගම ගාල්ලේ ඉමදූවේ. ඉගෙන ගත්තේ මහින්දේ. පුංචි මිත්‍රයා තමා හඳුන්වා දෙමින් කීවේය. කවියට පෙම් බැඳි කිත්සිරි දීප ව්‍යාප්ත හා ප්‍රාදේශීය සාහිත්‍ය තරගවලින් ත්‍යාග ලබා ඇති බව ද පැවසීය.

'දැන් කිත්සිරි රදාවානට ගිහින් ගාලු යන්නද හිතන් ඉන්නේ'

'ගෙදර අය කලබල වෙයිද හෙට දවල් වුණොත්'

'නැහැ, අම්මට කියලා ආවේ'

'එහෙම නෙවෙයි කිත්සිරි අද රෑ ගාලු යන්න එපා. අද කොළඹ ගිහින් අපේ ගෙදර නවතිමු' කුලරත්න කීවේය.

එතැන් සිට කිත්සිරි අපේ මිත්‍රයෙක් විය. මා පොත් කවර ශිල්පියෙකු බවත්, කුලරත්න නවක ගීත රචකයකු ලෙස ද ඔහු දැන සිටියේය. කිත්සිරිගේ පියා නිමල් ශාන්ත මහතා මිය යන විට හබරාදූව ආසනයේ ශ්‍රී. ල. නි. ප ප්‍රධාන සංවිධායක ලෙස සිටි බවත්. තමා සාහිත්‍යය නිර්මාණයට මිස දේශපාලනයට අකමැති බව ඔහු කීවේය. කිත්සිරි කොළඹ පැමිණි පසු වරෙක මගේ නිවසේ ද, වරෙක නිර්මාණ සැලසුම් ශිල්පි ප්‍රේම් දිසානායකගේ ගෙදර ද, කුලරත්නගේ නිවසේ ද නවාතැන් ගත්තේ බාල සොහොයුරෙකු මෙන් සුහදශීලීවය.

අප නිවසට එන කිත්සිරි වඩාත් ගත කළේත්, නිදා ගත්තේත් පුස්තකාල කාමරයේය.

'මමත් කවි පොතක් ලියලා තියෙනවා. රංජිත්ම කවරයක් ඇඳලා දෙන්න' දිනක් අපේ නිවසේ නවාතැන් ගත් කිත්සිරි කීවේය.

'කොච්චර එකක් ද කවි පොතක් ලිව්ව එක. කවි ටික කියවලා මම චිත්‍රයක් ඇඳලා දෙන්නම්' මම කීවෙමි.

'මම කවි පොත අරගෙන ආවේ'

'අද රෑම මම කියවන්නම්'

කුඩා පොතක් වූ එහි එන කාව්‍යමය සංකල්පනා කියවන විට මට හැඟී ගියේ ඔහු මේ නිර්මාණ තුළින් තමා අවට වෙසෙන ජනතාවගේ දුක් වේදනාවන් කවියට නඟන්නේ මනා ජීවිත පරිඥනයකින් යුතුව බවය.

ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය 'කොතනක හෝ වරදක් ඇත'. නිකුත් වූයේ 1976 වසර්ය. කිත්සිරිගේ සිත කෙමෙන් පුවත්පත් කලාවට යොමු වන්නට විය. පුවත්පත් කලාවට පිවිසීමේ මාර්ගයක් ඔහු අපෙන් විමසා සිටියේය.

කොස්ගස් හන්දියේ පිහිටි අපේ නිවස සහිත මුද්‍රණාලයට අල්ලපු නිවස ද මහා පරිමාණයේ මුද්‍රණාලයකි. 'සිල්වර් ක්‍රවුන්' නම් මේ මුද්‍රණාලයට ඇතුළු වන තැනම පැත්තේ පිටරටින් ගෙන්වන ලද කඩදාසි පැකට් වහළ උසට ක්‍රමානුකුලව තැන්පත් කරලාය. මෙහි අධිපති දමිළ ජාතික චිතම්බරම් කලාවට ලැදි තරුණයෙකි. ඔහු නිතරම අවට මිනිසුන්ට ද උදව් පදව් කළේය. ඔහු මගේ ද හොඳම මිත්‍රයකු විය. චිදම්බරම් හමුවීමට පැමිණි මගේ පාසල් මිත්‍ර බන්දුල පද්මකුමාර ඔහු සමඟ චිත්‍රපට සඟරාවක් ආරම්භ කළේය. සඟරාවේ 'නම 'ගීතා'ය. සඟරාවේ සෝදුපත් බැලීමට හෝ වෙනත් ලේඛන කටයුත්තක් කිරිමට එම මුද්‍රණාලයේ ඉඩකඩ තිබුණේ නැත.

දිනක් දහවල් නිවාඩුවක් ලැබ අප නිවසට ආ මට බන්දුල සඟරාව මුද්‍රණය කළ මුද්‍රණාලය ඉදිරිපිට දී හමු විය.

'මම 'ගීතා' කියලා චිත්‍රපට සඟරාවක් මුද්‍රණය කරනවා. මට සහායට කෙනෙක් නැහැ. රංජිත් දන්න කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙන්න.'

'අලුත් හාදයෙක් ඉන්නවා කිත්සිරි කියලා. ගාල්ලේ ඉන්නේ. සතියකට දවස් දෙකක් තුනක් කොළඹ එනවා. මිනිහ දක්ෂයා. කුලේගෙත් මගේත් හොඳම යාළුවෙක්'

'අපි එයාව සඟරාවේ සහාය සංස්කාරක කරමු' බන්දුල කීවේය.

'බන්දුලට මේ ප්‍රින්ටින් ප්‍රෙස් එකේ ඉඳගෙන වැඩ කරන්න අමාරුනේ. මේසයකුත් නෑනේ. අපේ තාත්තාට කියලා මගේ කාමරය දෙන්නම්. ඔයාට නිස්කාන්සුවේ වැඩ කර ගත හැකියි' මම යෝජනා කළෙමි. ඔහු එය සතුටින් පිළිගත්තේය.

බන්දුල සඟරාවේ වැඩ කටයුතු කර ගත්තේ අපේ නිවසේය. නංගි හැැකි අයුරින් ආගන්තුක සත්කාර කළාය. මගේ තාත්තා බන්දුල මට වඩා මිතුරෙකු කර ගනිමින් හැකි හැම උපකාරයක්ම කළේය. විවාහ වී රත්මලාන් පදිංචිව සිටි මාත්, එවකට ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සේවය කළ කුලරත්න ආරියවංශත්, අපේ මිතුරු කිත්සිරි, බන්දුලට හඳුන්වා දෙමින් හැකි හැම උපකාරයක්ම අපි කළෙමු.

කිත්සිරිගේ සිහිනයක මල් පිපී ඇත. ඔහු උනන්දුවෙන් බන්දුලට හැම සහායක් දුන්නේය.

බන්දුලගේ අරමුණව තිබුණේ තනිවම චිත්‍රපට සඟරාවක් මුද්‍රණය කිරීමටය. ඔහුට කවදත් දීර්ඝකාලීන සැලසුම් තිබුණේය. 'ගීතා' සඟරාවෙන් ඉවත් වූ ඔහු තම අරමුණ ඉටු කර ගැනීමට පිඹුරුපත් සැලසුම් කර ගත්තේය.

දිනක් චිදම්බරම් මා හමු වී මෙසේ කීය.

'බන්දුල 'ගීතා' සඟරාව හොඳට කළා. මේක හොඳ සඟරාවක්. රංජිත්ට බැරිද මෙක අන්ඔෆිෂිල් කරන්න. බන්දුලගේ ඇසිස්ටනුත් ඉන්නවනේ.'

'ඒක කරන්න බෑ. මම ලේක්හවුස් එකේ සිනමා පේපර් එකක සබ් එඩිටර් කෙනෙක්. අපි කිත්සිරිට මැගසින් එක කරන්න දෙමු. අපි ෆුල් සපෝට් එක දෙන්නම්' මම කීවෙමි.

'ඔයා රෙක්මන් කරනවා නම් හරි'

'ගිතා' සිනමා සඟරාවේ සංස්කාරක වූයේ කිත්සිරිය. කුලරත්නත් මාත් පිටුපස සිටියෙමු.

කලාප පහක් පමණ කිරීමෙන් පසු කිත්සිරිට මල්ටි පැක්ස් ආයතනයේ පටන් ගත් 'ඉරිදා' පත්‍රයේ සංස්කාරක පදවිය ලැබිණ. පත්‍ර කලාවේ කිත්සිර ඉහළ තැනකට යන බව අපි දැන සිටියෙමු. එහි අත්තිවාරම කැපීමට අපට හැකි වීම ද සතුටකි. අපි කිත්සිරිට සැලකුවේ එක කුස උපන් සහෝදරයකුට මෙනි. කිත්සිරිගේ බාල සොහොයුරියක් වූ විශාඛා විවාහ වූයේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේ නිහාල් ගුණසේකර සමඟය.