|
|||||||
පනස් දෙවසරක සෙවනැල්ලක සදාකාලික සමුගැනීම
රිදී තිරයේදී දුෂ්ටයන් සංවේදී වන අවස්ථා නැත්තටම නැති තරම්ය. එමෙන්ම වීරයා ජය ගනිද්දී දුෂ්ටයා පරාජයට පත් වෙයි. කෙතරම් රිදී තිරයේ දුෂ්ටකම් පෑවද දුෂ්ට නළුවන් සැබෑ ජීවිතයේ බොහොමත්ම අවිහිංසක සංවේදී අයවලුන් බව දන්නෝ දනිති. හෙළ රිදී තිරයේ කලක් දුෂ්ටයා වූ රෙක්ස් කොඩිප්පිලිගේ බිරිය වූ කැතරින් කොඩිප්පිලි අවමඟුල් දින මා ඉහත සඳහන් කළ කතාව සනාථ කෙරුවේය. සිය භාර්යාව රෝගී වූ මොහොතේ සිට සියලු කටයුතු පසෙකලු රෙක්ස් රෝහලේදී පවා ඇගේ ඇඳ අසලින් වෙන් නොවී රැඳී සිටිනු දක්නට ලැබිණ. තම ප්‍රිය බිරියගේ වියෝවෙන් රෙක්ස් හඬා වැටෙන අයුරු දුටුවනගේ නෙතට කඳුළක් නොඉණුවා නම් පුදුමයකි. පුරා පනස් දෙවසරක් සෙවණැල්ල මෙන් සිටි ඇයගේ සදාකාලික සමුගැනීම රෙක්ස්ට වාවාගත නොහැකි විය. කැතරින් මිහිදන් කළ මොහොතේ රෙක්ස් ඉකි ගසා කඳුළු වැගුරුවේය. අදින් වසර කිහිපයකට පෙර රෙක්ස් තම විවාහ ජීවිතයේ පනස් වැනි සැමරුම ඉතාම ඉහළින් සැමරීය. රෙක්ස් එතරම් හොඳ පවුල් ජීවිතයක් ගත කළ බව වැඩි දෙනෙකු දැනගත්තේ එදාය. රෙක්ස්ගේ රංගන කටයුතුවලට කැතරින් දැක් වූ සහාය ගැන රෙක්ස් එදින කතා කළේ මහත් වූ උද්දාමයකිනි. අඩ සිය වසක් දුක සැප හුවමාරු කරගත් ප්‍රිය බිරියගේ අවමංගල්‍ය ඉකුත් දා බොරැල්ල සුසාන භූමියේදී සිදුවනවිට රෙක්ස්ට ඒ සියල්ල සිහිපත් වන්නට ඇත.
|
|||||||