වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




පිට දීප දේශ ජය ගත්තා ලක්ෂ්මී බායි

පිට දීප දේශ ජය ගත්තා ලක්ෂ්මී බායි

මෙරට පැරැණිතම රංග ශිල්පි පරම්පරාව සිහිපත් කරන ලිපි මාලාව

මෙහි සුල්තානා නම් ඉන්දියානු නිළියත් ලක්ෂ්මී බායි නම් ලාංකික නිළියත් එක්ව රැඟුම්පෑම විරල අවස්ථාවක් විය. 'රෝහිනි' හි රෝහිනී ලෙසත්, 'රොඩී' කෙල්ල' හි රොඩී කෙල්ල ලෙසත්, තවත් වරෙක අතුල සෙනෙවි ලෙසත්, 'චින්තාමණී' හි චින්තාමණී ලෙසත්, වරෙක රෝමියෝ ලෙසින් ද, වරෙක ජුලියට් ලෙසින් ද වරෙක සිවම්මා ලෙස ද, තවත් වරෙක ධනපාල ලෙසින් ද කරළියේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ප්‍රධාන චරිතවලට උපරිම සාධාරණය ඉටු කරමින් ඇය අඛණ්ඩ රංගනයේ යෙදුණේ ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ මැදය. එවක ලක්ෂ්මී බායි නාට්‍යයක රඟපෑම සඳහා ටවර් රඟහලට මෝටර් රථයෙන් පැමිණෙන විට නාට්‍යය අරඹන්න බොහෝ වේලාවකට කලින් මරදාන ටවර් ශාලාව අවට භූමිය නරඹන්නට පැමිණි රසික පිරිස් දනන්ගෙන් පිරී ඉතිරී යන්නේ ඇය මෝටර් රථයෙන් බසින අයුරු සජීවීව සියැසින් දැක ගැනීිමේ නොමඳ ආශාවෙනි. ඇය සිය පාදය මෝටර් රථයෙන් බිමට තබනවාත් සමඟම වට වී සිටින රසික පිරිස් ප්‍රීතියෙන් ඇළලෙමින් දෙන අත්පොළසන් නාදය මරදාන නගරය පුරා සිසාරා ගිය අයුරු සියැසින් ඇසූ දුටු ඇය හා එක්ව රංගනයේ යෙදුණු ජී. එච්. ස්ටැන්ලි පෙරේරා මාස්ටර් එදා අපූරුවට විස්තර කළේය. නිහඬ චිත්‍රපට ආගමනයත් සමඟ සෙසු නාට්‍ය මාලා මෙන්ම ටවර් නෘත්‍ය ශාලාව, ටවර් චිත්‍ර නෘත්‍ය ශාලාව බවට පත්වෙමින් මෙරට නව නාට්‍ය කලාවේ ප්‍රාරම්භක නිර්මාණය වූ 'ඉන්ද්‍රසභා' නාටකය, සුල්තානා එවරස්ට් සමාගම චිත්‍රපටයට නඟා 1932 ජනවාරි 01 දා ටවර් චිත්‍ර නෘත්‍ය ශාලාවේදී ප්‍රදර්ශනය ආරම්භ කලේය.

අජේ රටේ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළ අවධියේ විවේක කාලයේදී ගීත ගයමින් රැඟුම් ඉදිරිපත් කළා. සමහර දවස්වල නරඹන්නන් චිත්‍රපටවලට වඩා වැඩි සැලකිල්ලක් මගේ රැඟුම් හා ගායනා කෙරෙහි දැක් වූවා. එය මට විශාල සතුටක් වුණා. සිංහල චිත්‍රපට නිපදවීම ආරම්භ කළ කාලයේ මා ප්‍රධාන චරිත රඟපෑ නාට්‍ය නිෂ්පාදනය කළ අයත් එම නාට්‍ය කථා පිටපත් චිත්‍රපට ගත කළා. ඒ කිසිවෙකු තමන්ගේ චිත්‍රපටවලට මාව සම්බන්ධ කර ගත්තේ නැහැ. නාට්‍ය නිෂ්පාදනයේදී මා ඔවුන්ට දුන් සහයෝගය අමතක කිරීම ගැන මා තුළ දුකක් ඇති වුණා. එහෙත් ටික කලකට පසු 'රන්මුතුදූව', 'ගැටවරයෝ', 'සූර චෞරයා', 'සැමියා බිරිඳගේ දෙවියාය' හා 'වෙස්සන්තර' ආදී චිත්‍රපටවල රඟපාන්නට අවස්ථාව ලැබුණා. ප්‍රථම චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ රගපාන්නට ලැබිමත් විශාල සතුටක්' ( සරසවිය 1983 මාර්තු 17). 1944 ජුලි මාසය ලක්ෂ්මී බායි නිළියගේ නිළි ජීවිතයේ උච්චතම අවස්ථාව නුවූවත් ඇය එකල පවා මසකට රුපියල් පන්සියයක් ආදායම ලැබූ බව ඇගේ දික්කසාද නඩු වාර්තාවෙන් පෙනේ.

ග්‍රැමෆෝන් යුගය ආරම්භයේ පටන්ම ඊට දායකත්වය දුන් අතර සාදිරිස් සිල්වා, බී. එඩී ද සිල්වා, එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්, ගවුස් මාස්ටර් ආදීන් සමඟ ගීත තැටිගත කිරීම්වලට සහභාගි වූ ඇය ගායනා කළ ගීත සිය ගණනකි. එහෙත් ඒ එකදු ගීතයක්වත් ඇය සමීපයේ නොවීය. සිය නමවත් අත්සන් කර ගැන්මට නොසමත් ඇය කෙසේ මේ ගීත රැක ගන්නද? 'පිට දීප දේශ ජයගත්තා - ආදී සිහලුන්' වැනි දේශාභිමානි ගීත ඇය ජාත්‍යාලය වඩවන අයුරින් හැඟීම්බරව උච්ඡ ස්වරයෙන් ගායනා කළාය. 'ඒ කාලයේ ගුවන් විදුලිය තිබුණේ දැන් අංගොඩ මානසික රෝහල තියෙන තැන. ගායනා කරන සිංදු ඒ වෙලාවෙම ප්‍රචාරය කළා. මම ඒ කාලයේ කාර්ගිලිස් සමාගමට සම්බන්ධ වෙලා සින්දු කිව්වා. ගීත පහකට රුපියල් හත්සිය පනහක් පමණ ලැබෙනවා. ඒ මුදල ඒ කාලේ නඩු කාරයෙකුටවත් ලැබෙන්නේ නැහැ. නාට්‍යවලින් මුදල් වගේම අනන්ත අප්‍රමාණ තෑගි බෝග ලැබුණා. 'රොඩී කෙල්ල', 'සිවම්මා ධනපාල' වගේ නාට්‍යවල සිඟමන් යදින චරිත රඟපාන කොට මිනිස්සු සල්ලි සහ රත්තරන් බඩු මා සිටින වේදිකාවට විසි කරනවා. ඒවා වේදිකාව දෙපස ළමයි අහුලාගෙන මා අතට දෙන කොට රුපියල් තුන්සියයක් හාරසියයක් පමණ ලැබෙනවා' ඇය ජීවත්ව සිටියදී කළ ඒ ප්‍රකාශනයන්ගෙන් තවදුරටත් තහවුරු වන්නේ ඇය සිය වෘත්තීය තුළින් සෑහෙන පමණ මුදල් උපයා ඇති බවයි. ආර්. ප්‍රේමදාස මහතාගේ ගම් උදා ප්‍රදර්ශන භූමියේ සංගීත සන්දර්ශනවල ඇය ඉතා අපූරුවට ගීත ගායනා කළාය. වරෙක රොම්ලස් ද සිල්වා සාලිය කුමාරයා ලෙසත්, ලක්ෂ්මී බායි අශෝකමාලා ලෙසත් ගම් උදා භූමියේ රඟමින් කළ ගායනය අමතක නොවන දසුනක් විය.

ඇය චිත්‍රපට ලෝකයට එතරම් සමීප නොවුණේ එහි පවතින තරඟය හමුවේ එකිනෙකා යුද්ධයක මෙන් පැටලී මිනිස්කම නොසලකා කටයුතු කරන ආකාරය පිළිබඳව ඇය තුල පිළිකුලත් පැවති නිසාවෙනි. 1969 මක්කම ගොස් පැමිණි ඈ නැවත රඟ නොපාන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය. එහෙත් ඇය පසුව ඒ පිළිබඳ කනගාටු වූවාය. 'මා අවුරුදු හැටක් පුරා කළේ රඟපෑමයි. රඟපෑමෙන් තොරව ජීවිතයක් මට නැහැ. රඟපෑමෙන් ඉවත් වී මා මොනවා කරන්නද? ඉන් පසු අප ජීවත්වන බව නැවත ජනතාවට මතක් කර දුන්නේ ගරු අගමැති රණසිංහ ප්‍රේමදාස මැතිතුමායි. ටවර්හෝල් රඟහල් පදනම තුළින් ගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ද ඇතුළුව ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඒමන් කාරියකරවන, අධ්‍යක්ෂ ජනරාල් තේවිස් ගුරුගේ හා සිංහල සේවා අධ්‍යක්ෂ චිත්‍රානන්ද අබේසේකර යන මහත්වරුන් කලාකරුවන්ගේ ප්‍රගතිය සඳහා ගනු ලැබ පියවර පිළිබඳව මගේ ගෞරවය එතුමන්ලා වෙත පුද කරනවා'

රුවන් දොළොස් දෙනෙකු ලබන්නට වරම් ලබුණත් ඒ දරවන් අතරින් ජීවතුන් අතර රැඳුණේ පුතුන් සතර දෙනෙකු සහ එක් දියණියක් පමණි. ජබීර් නම් වූ සැමියා ඇයට වඩා වසර දහයකින් පමණ වයසින් බාල වුවත් 1983 වසරේ ඔහු බලවත් රෝගයකට ගොදුරු වූයේය. ඔහු සුව කරගනු වස් ලක්ෂ්මී බායි සතුව තිබූ මෝටර් රථ, ලොරි ආදී වාහන කිහිපයක්ම විකුණා වියදම් කළාය. අවසානයේ දී සිය නිවෙස පවා අහිමි කර ගත්තාය. ඉන් පසු ඇය දිවි ගෙවයේ ඇය පෙර විසූ නිවසේ මුලුතැන්ගෙය හා සමාන ප්‍රමාණයක තරම් වූ කුඩා නිවාසයක ඉතා දුක සේය. එහෙත් ප්‍රේමදාස මැතිඳුන් සකස් කර දුන් විශ්‍රාම වැටුප ඇයට ජීවත්වීමට දිරියක් විය. කොළඹ ආමර් වීදියේ තට්ටු නිවාසයක දිවි ගෙව්වාය. 1911 න් ඇරැඹි ටවර් රඟහල් යුගය ස්වර්ණමය යුගයක් බවට පත් කළ සුපිරි තාරකාව ලක්ෂ්මී බායි 1993 සැප්තැම්බර් 23 දා රාත්‍රියේ සිය නිවහනේදී අවුරුදු අසූවක් ආයු වළදා ජීවිතයේ අනිත්‍ය සපථ කරවමින් මෙලොව හැර ගියාය. නමුදු ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිය රංගන චාරිකාවේ සුපිරි මතකයන් ශ්‍රී ලාංකික රසිකයන් තුළ සදාතනිකව තැන්පත් කළා වූ 'සුපිරි තාරකාවක්' ම වූවාය.