වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

මදුරු කරදරය මැද රූ ගැන්වීමක්

අහිමි වන බව දැන දැනත්
නුඹට මා පෙම් කළ තරම්
හඬන වැලපෙන හිත තරම්
දන්න නෑ වෙන කවුරුවත්

නැඟෙන බැස යන රළ වගේ
නුඹත් ඇවිදින් යයි ඔහේ
ලැගුම් ගන්නට නුඹෙ හිත
පතා මියැදෙමි මතු බවේ

පෙනෙනෙ නොපෙනෙන තෙක් ඉමෙ
රැඳී ඉනු මැන පා සෙනේ
දයාබර නුඹෙ ආදරේ
පතා මියැදෙමි මතු බවේ

ගායනය - රසාංග ද සිල්වා
පද රචනය - වසන්ත විජේකෝන්
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ඩිලාන් ද සිල්වා

මෙය රසාංගගේ දෙවැනි මියුසික් වීඩියෝවයි. විනෝදාංශයක් ලෙස සංගීත කටයුතුවල නියැලෙන රසාංග පෑලියගොඩ ප්‍රදේශයේ ජීවත් වන අයෙක්. දිනක් පුරා පාදුක්ක සහ ඉංගිරිය අවට මෙය රූගත කොට තිබෙනවා. ඒ දිනය පුරා මදුරුවන්ගෙන් රූගත කිරීමට අපමණව බාධා සිදු වුණා කියලා රසාංග අපිට කිව්වා. තව නොබෝ දිනකින් බයිලා ආරයේ ගීතයකින් රසාංගව අපට යළිත් හමුවීමට නියමිතයි.

 


කරපිංචා මාලෙ - සූකිරි බෝලෙ

කරපිංචා මාලෙ සූකිරි බෝලෙ
සුවඳ හමන වරකා ගෙඩිය
වගේ රසයි මගෙ බයිලා කරිය
මං දන්නවා තාලේ
ඩෝල පාර ගහලා දාමු ජොලියෙ

මල් පැණි බිව්වට ආතල් ගත්තට
වට්ටක්කා කෑල්ලක් කන්න මල්ලියේ
සැර කෑවට ඇඟට හොඳ නැත
තැඹිලි ගෙඩියක් බිව්වට අයියේ
මේකයි ට්‍රෙන්ඩ් එක ආතල් කික් එක
බයිලා රැප් එක ඇඹරෙන ෆන් එක

ඒකරි මේකරි කෑවට සූකිරි
කට්ට කාලා තියෙන්න ඕන
වරක් දෙවරක් වැරදිලා හරි
කොහොම හරි අපි දිනන්න ඕන
මේකයි ට්‍රෙන්ඩ් එක...

ගායනය, පද රචනය සහ තනු නිර්මාණය - ශිහාන් ප්‍රනාන්දු
සංගීතය - මියුසික් අවන් ටීම්
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - තාල්රුප වෙනුවෙන් චමිල්

කොළඹ අවට රූගත වුණ ශිහාන්ගේ පළමු මියුසික් වීඩියෝවයි මේ. වෘත්තීය සංගීත ශිල්පියෙකු ලෙසින් කටයුතු කරන ඔහු සංගීතය ඔස්සේ තම ඉදිරිය දකින්නට සැලසුම් කොට සිටිනවා. හා හා පුරා කියලා කැමරාවක් ඉදිරියට පැමිණි මොහොත මෙය වන නිසා ශිහාන් මහත් වූ චකිතයකින් තමයි මෙහි රඟපාලා තියෙන්නේ. ඒ හින්දා ඇතැම් දර්ශන පස් හය වතාවක් රූගත කිරීමට සිද්ධ වුණාලු.