වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව ගැන මෙහෙම හිතුවොත්?

සිනමාව ගැන මෙහෙම හිතුවොත්?

අපේ සිනමාව ගැන රසිකයකුගේ අදහස් සරසවිය කර්තෘ වෙත ලැබුණු මෙම ලිපිය සිනමාවේ කතිකාවකට වැදගත් එකකි. අපි ඒ ගැන විමසා බලමු.

දේශීය අනුකරණයකට මුල්වූ කුට්ටි - ධනුෂ්ගේ රංගනයෙන්

ලංකාවේ සිනමාව ගැන මට දැනෙන දේ ලිවීමට සිතුවෙමි. මම සාමාන්‍ය රසිකයෙක් පමණි. සිනමාකරණය හෝ ඊට සම්බන්ධ විෂය කරුණු පිළිබඳව කිසිදු දැනුමක් මට නොමැති බව පළමුව කිව යුතුය.

මීට වසර කිහිපයකට පෙර ලංකාවේ සිනමාව පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් තිබූ බවත්, දැන් එය යම් දිශානතියක් ගෙන ඇති බවත් බොහෝ දෙනා (ක්ෂේත්‍රයට සම්බන්ධ) මාධ්‍ය ඔස්සේ කියාපාන අදහසකි. අප දකින්නේ මාධ්‍ය මඟින් පෙන්වන දෑ මිස ඔවුන්ගේ පෞද්ගලික හෝ පොදු මතයම නොවිය හැක. චිත්‍රපටයක පළමු දර්ශන වාරය නරඹා සිනමාහලෙන් එළියට එන විටම නාළිකාවලින් දිගු කරන මයික්‍රෆෝනයට 'මේක මරු, අලුත් අත්දැකීමක්, අනාගතය පැහැදිලියි' වැනි' අදහස් මිස විවේචන කළ නොහැකි බව දනිමි. මගේ අදහස නම් තවම හරි ට්‍රැක් එකට වැටී නැති බවත්, එහෙත් අඳුරේ තැන් තැන්වල පොඩි පොඩි පහන් එළි පෙනෙන බවත්ය.

ලංකවේ සිනමාව තුළ යම් ඛේදවාචකයක් මම දකිමි. බොහෝ දෙනා එය දනියි.

* ඇතැම් තරුණ කොටස් හොලිවුඩ් සිනමාවෙන් මුසපත්ව සිටීම නිසා සිංහල චිත්‍රපට නොබැලීම.
* ඇතැම් පිරිස් සිංහල සිනමාවේ ප්‍රමිතිය අඩු බැවින් සහ යාවත්කාලීන නොවීම නිසා කලකිරීමකට පත්ව සිටිමෙන් සිනමා ශාලාවලට නොපැමිණීම.
* සිනමාව එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස (ටෙලි නාට්‍යයක්, පත්තරයක් වැනි) සිතීමේ සංස්කෘතියක් ඇති නොවීම.
* චිත්‍රපට ශාලා පහසුකම් අඩු බව සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවත් ක්‍රමවේදයක් නොවීම.

ඉහතින් දක්වා ඇත්තේ මට පෙනෙන කරුණුය. තවත් බොහෝ දේ තිබෙන්නට පුළුවන.

මුල්ම යුගයෙන් පසුව සිංහල ආරක් ගත් චිත්‍රපට මෑතක් වන තුරුම චිත්‍රපට තැනුණු ඒවායේ මොකක්දෝ අනන්‍යතාවයක් ඇතැයි සිතේ. සින්දු හා නැටුම් තිබූ පමණින් ඒවා හින්දි හෝ දමිළ චිත්‍රපට නොවීය. නමුත් ඒවායේ යම් ජීව ගුණයේ අඩුවක් ඇතැයි සිතේ. තරුණ පරම්පරාව ළඟට සිනමාව ගෙන ඒමට නම් ජවයෙන් පිරුණු රංගනයන් අවශ්‍ය යයි සිතමි. විවිධත්වයෙන් යුත් සක්‍රීය චරිත සහිත කතාන්දරයක් තිබිය යුතුය. එවැනි තිර පිටපත්වල හිඟයක් (නිර්මාණයක් සඳහා විශාල වියදමක් දැරීමට නොහැකි බවට වඩා) ඇතැයි සිතමි. එය එසේ නම් 'ආනන්ද ලියනගේ' මහතාගේ නවකතා කිහිපයක් කියවා බලන ලෙස ඉල්ලමි. (ඉංග්‍රීසි බසින් නවකතා ලියන ලාංකිකයන් අතළොස්සෙන් අයෙකි. ඔහු ලියන නවකතා චිත්‍රපටයක් බලනවා වැනි හැඟීමකින් කියවිය හැක. ඒවා බොහෝ විට වර්තමානයේ සිට අතීතය සොයන ඓතිහාසික නවකතාය) මිල මුදල් හිඟයක් වේ නම් මෝඩ කුණුහරුප සහිත ජෝක් ෆිල්ම්වලට නිරපරාදේ වැය කරන සල්ලි ලබා ගත හැකි ක්‍රමයක් වේ නම් හොඳය. එම මුදල්වලින් හොඳ චිත්‍රපටයක් හැදුවත්, නොහැදුවත් එම චිත්‍රපට නතර කිරීම පිං අතේ වැඩකි.

අනෙක් කරුණ නම් ලංකාවේ බොහෝ නළුවන්ට ස්වභාවික රංගන වින්‍යාසයක් නෙමැත. බොහෝ තරුණයන් හොලිවුඩ් හොඳයි කියන්නට හුවා දක්වන ප්‍රබල කරුණකි මෙය. එය පිළිගන්නට සිදු වෙයි. රංගන පාසල් නොමැති වීම ඊට හේතුව යයි කීම ඊට පිළියම නොවේ. කිසියම් අයුරකින් නළුවෙක් වූ අයෙක් වැඩි වැඩියෙන් ජනප්‍රියවීමට හෝ මුදල් සෙවීමට වැඩි චිත්‍රපට ප්‍රමාණයකට දායකවීමට උත්සාහ කිරීමට වඩා ස්වයං අධ්‍යයනයක, ස්වයං අභ්‍යාසයක යෙදෙමින් හෝ සිය රංගන හැකියාව දියුණු කරගෙන ලංකාවට හොඳ සිනමාවක් ගෙන ඒමට උත්සාහ කිරීමයි වැදගත්. නවක නළුවන් අත්දැකිම් තුළින්, කාලය සමඟ පරිණත වීමට ඉඩ හැර බලා සිටියහොත් ලංකාවේ සිනමාවට යන කල දවස කුමක්ද? එය කළ නොහැක. රංගන පාසල් වැනි නළු නිළියෝ අපට සිටිති. එවැනි දක්ෂ ප්‍රවීණයන් හට ලාංකීය සිනමාව ගැන ඇත්තටම කැක්කුමක් ඇත්නම්, නවකයන් සොයා අලුත් පිරිසක් බිහි කිරීමත්, නවකයන් ඔවුන් සොයා ගොස් ඉගෙන ගැනීිමත් කළ යුතුය.

වාණිජ්‍ය සිනමාව ප්‍රබලව ඇති රටක් බැවින් ඉන්දියාව උදාහරණයකට ගන්නම්. ඉන්දියානු නළුවෙක් චිත්‍රපටයක් තුළ හැසිරිය යුතු ආකාරය, අතපය දිගු කළ යුතු ආකාරය යම් අයෙකුගේ පැහැදිලි අධීක්ෂණයකට ලක්වෙනවා ඇතැයි සිතමි. ඔවුන් ගෙදරදී පාන් ගේන්න යන ආකාරයට චිත්‍රපටය තුළ ඇවිදින්නේ නැහැ. එය ඔවුන්ගේ ඇඟටම බද්ධ වන තරමට ඔවුන් පුහුණුවීම් කර ඇතැයි සිතමි. අපේ නළුවෙකුට හැඩට වැටකින් පනින්නවත් බැරිය. ගමේ කොල්ලෙක් වැටක් උඩින් පනින ආකාරයට නළුවෙක් පැන්නොත් වැඩක් නැත. නිතර නළුවා අපිට උඩින් සිටින තරමට ඔහු කෙරේ ආකර්ෂණය වැඩිය. දැන් වැඩි දෙනෙක් රංගනයට එකතු වන්නේ නිිරූපණ ක්ෂෙත්‍රයෙනි. එහි එක් හොඳක් දකිමි. ඔවුන් තම ශරීරය සහ එහි හැඩයත්, තමන්ගේ මුහුණ ආදී අංගෝපාංග කැමරාවට පෙනෙන ආකාරය ගැන යම් තරමකට දනියි. ඒ ගැන කල්පනාකාරීය. එය නළුවෙකුට අත්‍යවශ්‍ය දෙයක් යයි සිතමි. නළුවෙක් තම ශරීරයේ හොඳම හැඩයන්, ඉරියව් කැමරාවට පෙන් විය යුතුය.

අපේ නළුවන් ඇක්ටිව් නැත. නිළියන් ද එසේමය. කලෙකට ඉහත දී දමිළ චිත්‍රපටයක් වන 'කුට්ටි' චිත්‍රපටයේ කොපියක් ලංකාවේ නිෂ්පාදනය විය. 'දනුෂ්' ගේ චරිතය රඟපෑ ලාංකික නළුවා 'රොෂාන් රණවන'ය. තමන්ගේ ඇඟේ ඇති රිද්මය, ශෛලිය එකකෝ නළුවා දැනගත යුතුය. නැත්නම් අධ්‍යක්ෂවරයා දැනගත යුතුය. මට නම් එය තනිකර ගොන් පාට් එකක් පමණක්ම විය.

ලංකාවට ඉන්දියානු නිළියන් ගෙන ඒම ගැන කලකට ඉහතදී විශාල කතිකාවක් ඇති විය. 'පූජා උමා ශංකර්' ලංකාවට ගෙන ඒම ගැන මා පෞද්ගලිකව අතිශය සතුටුය. ඇය සමඟ රඟපෑමේදී අපට අපේ ප්‍රවීණ යයි සැලකෙන නළු නිළියන්ගේ රංගන හැකියාව ද කිරා මැන ගත හැකි වීම එකකි. තරුණ නළු නිළියන්ට තරඟයක් ඇති වීම ද එකකි. ඇගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකි වීම තව එකකි. තරුණ කෙල්ලන් කොල්ලන් කෙතරම් ඉඟි බිඟි කරත්ද? ලංකාවේ සිනමාවේ පෙම්වතුන් පෙම්වතියන් පෙන්නුයේ මූලික හැඟීම් කිහිපයක් පමණි. ඇතැම් අයට අඬන්නවත් හරියට බැරිය. නැටුම් හා සටන් ගැන මීට වඩා නළුවන් නිළියන් උනන්දු විය යුතුය. ටීවී නාළිකා මඟින් නළු නිළියන් සඳහා පවත්වන ඇතැම් රියලිටි වැඩසටහන් නිසා බොහෝ දෙනෙකුට ඉක්මනින් ඇඟපත සොලවා ගත හැකි තරමටවත් නැටුම් ඉගෙන ගැනීමට සිදුවීම ගැන සතුටු වෙමි.

ලංකාවේ බොහෝ නළු නිළියන්ටත්, අධ්‍යක්ෂවරුන්ටත් හොඳ ඊඒඉඊඡ් එකක් නැතැයි සිතේ. නළු නිළියන් පවා අධ්‍යක්ෂණය කරන ඇතැම් චිත්‍රපට මෙලෝ රහක් නැත. නමුත් ඒවා ගැන කයිවාරු ගැසීමට බොහෝ රුසියෝය. මිනිසුන් රවටා හෝ තම නිර්මාණය පෙන්වීමට උත්සාහ දරති. එයින් සිදු වන්නේ මුළු මහත් කර්මාන්තය පිළිබඳව ප්‍රේක්ෂකයා කලකිරීමයි. ලංකාවේ නිපදවෙන හාස්‍ය සහිත යයි කියා ගන්නා චිත්‍රපටවලින් ඇත්තටම හාස්‍යයක් ජනිත වේද? මට නම් නිපදවෙන ජෝක් ෆිල්ම්වලින් 98% ක්ම විකාරය. 'ගිරිරාජ්් කෞශල්‍ය' වැනි එක් කෙනෙක් දෙන්නෙක් යම් සාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටිති. 'බන්දු සමරසිංහ' අති දක්ෂ නළුවෙකි. ඔහුගෙන් වැඩක් ගන්නට අයෙක් නැත. ඔහුවත් ඔහුගේ තරම දන්නේ නැතැයි සිතේ.

ලංකාවට උරුම හොලිවුඩ් හෝ බොලිවුඩ් නොවන අතරමැදි ශෛලියක් යයි සිතමි. එය වඩාත් ඉස්මතු වන ආකාරයට චිත්‍රපට නිෂ්පාදනය විය යුතුය. දැන් නළුවන් චිත්‍රපටය තුළ සරමක් අඳින්නේ නැත. එය ඛේදයකි. ඉන්දියානු චිත්‍රපට වීරයන්ට වේට්ටිය ද, ඩෙනිම ද, ටයි කෝට් ද එක ලෙස හුරුය. තවමත් අපේ ඇතැම් චිත්‍රපටවල දෙබස් ලියන භාෂාවෙන් ඇසෙයි. එය විහිළු සහගතය.

වාණිජ්‍ය චිත්‍රපටයකට වර්ණවත් බව අනිවාර්ය අංගයක් බව සිතමි. එය ලංකාවේ චිත්‍රපටවල ප්‍රමාණවත් තරමට දක්නට නොලැබෙයි. එසේම පසුබිම් වර්ණ සහ ඇඳුම්වල වර්ණ නොගැළපෙන බවක් පෙනෙයි. ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැති බවක් හැඟෙයි. බොහෝ රජ කතා සහිත චිත්‍රපට බලන්න. අනෙක් ඒවාද බොහොමයක් එසේය. එයින් කෘත්‍රිම බවක්, පරිසරයෙන් වියුක්ත බවක් ලැබෙයි. හොලිවුඩ් රජ කථා සහිත චිත්‍රපට බලන්න. අවි ආයුද පවා පැරැණි බවක් පෙනෙයි. ලංකාවේ චිත්‍රපටවල උපකරණ, අවි ආයුධ පැරැණි හැඩයට ළඟකදී හැදූ බව පෙනෙන්නට තිබේ. නමුත් ලංකාවේ ගොඩක් සින්දු වීඩියෝවල ආකර්ෂණිය වර්ණ දක්නට ලැබේ. ඒවා චිත්‍රපට වැනිය. මෙය මෙසේ වන්නේ මිල මුදල්වල ගැටලුවක් නිසාදැයි නොදනිමි. මේවා කළ නොහැකි දේවල් නොවන බව කියමි. 'වෝටර්' වැනි චිත්‍රපටවලට පසුතල නිර්මාණය කළේ අපේ දේශීය ශිල්පීන්ය. මේ අඩුපාඩු බොහොමයක් නැති චිත්‍රපට නිර්මාණකරුවෙක් ලෙස 'සෝමරත්න දිසානායක' මහතා දකිමි. ඔහුගේ චිත්‍රපට දැකීමට ආසය. කතාව ලස්සනය. නළුවන් හැසිරවීම අපූරුය. ලස්සන සින්දු සහිතය. ඔහුගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ.

'ප්‍රවේගය' මෑතකදී බොහෝ කතාබහට ලක් වූ චිත්‍රපටයකි. ඇක්ෂන් මූවි' එකක් කාලෙකින් පැමිණීම, ආකර්ෂණීය නළුවෙකුගේ ආගමනය යන කරුණු නිසා එය වැදගත් චිත්‍රපටයකි. එය කොපියක් වුව ද බොහෝ තැන් කොපියක් බව සිහි නොකැඳවයි. එහෙත් හෙල්මට් නැතුව බයික් පැදීම, සටන් ජවනිකා, හතුරා තනිකරම දමිළ බවක් පෙන්වයි. එය නොගැළපෙන බව නොතේරුණේද? නැත්නම් තරුණ පිරිස් දමිළ චිත්‍රපට බැලීමට නැඹුරු වීම නිසා එවැනි එකක් ලංකාවේ හදන්නට අවශ්‍ය වුවා දැයි නොදනිමි. මගේ අදහස නම් ලංකාවේ හැදිය යුත්තේ ලංකාවේ වසන චරිත සහිත චිත්‍රපටයි. එයට එම නම යොදන්නට ඇත්තේ 'පුබුදු චතුරංග' උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරූ නිසා වෙන්නට පුළුවන. එහෙත් එහි ප්‍රචාරණ පෝස්ටරයේ වන අකුරු පිළිබඳව මගේ පැහැදීමක් නැත. අකුරුවලින් ඊට වඩා ජවයක් එක් කිරීමට හැකිය.

'උමාරියා සිංහවංශ, බාචි සුසාන්, උපේඛා නිර්මාණි, මීනා ප්‍රසාදිනී, ශානිකා මධුමාලි, දුමාල් වර්ණකුල, පූර්ණ සචින්ත, සමන් ලෙනින්' වැනි අයගෙන් තවමත් හරි හැටි වැඩ ගෙන නොමැත.

'හෂිනි ගෝනගල' වැනි දක්ෂ, සුරූපී නර්තන ශිල්පිනියන් කොතෙකුත් සිටිති. එසේම යොවුන් සිනමාවක් ද තිබිය යුතු යයි සිතමි. 'ආදර වස්සානය' හිරිමල් යෞවනයන්ගේ කතාවකි. එය හොඳින් දැනුණු එකක්. දැන් එවැනි වයස්වල නළුවන් සිනමාවේ නැත. එම හිඩැස පිරවිය යුතු යයි සිතමි. ඒ සඳහා සුදුසු මුහුණු වර්තමාන දැන්වීම් පෙළක් නැරඹුවහොත් සොයා ගත හැකි' වනු ඇත. 'සජීව දිසානායක' නම් ගායන ශිල්පියාගේ 'ඉක්මන් වෙලා' නම් ගීතයේ වීඩියෝව නරඹන්නේ නම් අලුත් යොවුන් නළුවෙක් සොයා ගත හැකිය.

ලංකාවේ සම්භාව්‍ය යයි සලකන සිනමාවේ ඉහළ තත්ත්වයක් පෙන්නුම් කරයි. ඒවායේ අර්ථය අප වැනි සාමාන්‍ය රසිකයන්ට වැඩිපුර නොතේරුණද, විදේශීය සම්මානවලට පවා ලක්වීමෙන් ඒ බව තහවරු වෙයි. ඇතැම් විට එය ඉන්දියාවට වඩා ඉහළ තත්ත්වයක් යයි සිතමි. (මා නිවැරැදි දැයි දන්නේ නැත).

'ආලොකෝ උදපාදි' චිත්‍රපටයේ ටේ‍්‍රලරය බැලුවෙමි. එයින් අපමණ සතුටට පත් වූයෙමි. එය නම් හොලිවුඩය හා උරෙනුර ගැටෙන තරම් යයි සිතේ. එහෙත් බොහෝ චිත්‍රපටවල ට්‍රේලර මෙන් මෙහි ද ට්‍රේලරය පමණක් බලා සිටියා නම් හොඳ යයි නොසිතේවා! අප අලුත් ප්‍රවණතාවයන් පිළිබඳව යාවත්කාලින වෙමින්, අලුත් මානයන් ඔස්සේ නිර්මාණ කළහොත් සිනමාහල් හිස් නොවනු ඇත. විදේශීය වශයෙන් ද ජනප්‍රිය කළ හැකිය. එවිට දැවැන්ත නිර්මාණ කිරීමට පියවර තැබිය හැක. ඔක්කෝටම කලින් නිර්මාණශීලී, ආකර්ෂණීය චිත්‍රපට නිර්මාණ කළ යුතුය. එක දිගට එවැනි චිත්‍රපට පහක් හයක් නිර්මාණය කළහොත් සිනමා ශාලා ඇස් පනා පිට පිරෙනු දැක ගත හැකි වනු ඇත.

මා කතා කළේ වාණිජ්‍ය චිත්‍රපට ගැනය. සම්භාව්‍ය චිත්‍රපට ගැන කීමට මා දන්නා දේ කොහෙත්ම ප්‍රමාණවත් නැත. ඉහතින් නම් සඳහන් කළ කිසිවෙකු මා පෞද්ගලිකව හඳුනන අය නොවේ. අප එක් පවුලක් නම්, පවුල ඇතුළේ එක් එක් අයගේ වැරැදි අඩු පාඩු දැකිය යුතුය. නම් කළ යුතුය. අනෙක් පිරිස ඉදිරියේ අපේ අය ලැජ්ජා නොවන්නේ එසේ කළහොත් පමණි. අනෙක් අය ඉදිරියේ අපේ අය විවේචනය කිරීම නුසුදුසුය. මෙම ලිපියේ නම් සඳහන් කළේ එවැනි අදහසකින් පමණි. වෛරයකින්, ද්වේශයකින් නොවේ. මාගේ නොදැනුවත්කම නිසා ඇතැම් කරුණු අඩුපාඩු සහිත විය හැකිය. මෙයින් යම් අදහසක්, එක් වැදගත් කරුණක් ගැනීමට හැකි නම් සතුටකි. සිංහල සිනමාව හැකි ඉක්මනින් නිවැරැදි මඟට ගැනීමට හැකි වේවා!