|
නිමන්ති - ප්‍රභාත් සමඟ සොඳුරු කතාබහක්
ප්‍රභාත් තමයි මට ඒ ආරාධනය කළේ - නිමන්තිමේ වගේ බිරියක් සිටීම මට පහසුවක් - ප්‍රභාත්
මේ දෙන්නා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා ඔයාලා හැමෝම දන්නවනෙ. ඒ වගේම නිමන්ති - ප්‍රභාත් යුවළ ඉන්නෙත් එකම ක්ෂේත්රයේ. නිමන්ති රංගන ශිල්පිනියක්. ප්‍රභාත් කැමරා අධ්යක්ෂවරයෙක්. මේ දෙන්න එකතු වෙලා කලක් තිස්සේ නිෂ්පාදන ආයතනයකුත් පවත්වාගෙන යනවා. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වෙන වස්සානේ ප්‍රේමයයි නාට්‍යත් ඔවුන්ගේ නිෂ්පාදනයක්. නිමන්ති - ප්‍රභාත් සොඳුරු කැදැල්ලට අප මොහොතක් ගොඩ වුණා. ආ ගිය තොරතුරු කතා කළා. ඒත් එක්කම ටෙලි නිෂ්පාදන වැඩ කටයුතු ගැනත් ඇහැව්වා. හැබැයි වැඩිපුරම හඬ අවදි කළේ නම් ප්‍රභාත්. * කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? වස්සානේ ප්‍රේමය කියලා තමයි කියන්න වෙන්නේ. දිගටම නාට්‍යයේ වැඩ. එය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක් වුණාට නිරන්තරයෙන් අපි දෙන්නම මාරුවෙන් මාරුවට ලොකේෂන් එකට යනවා. * එතකොට ගෙදර වැඩ ? බොහෝ වෙලාවට නිවසේ රාජකාරි සිදු වන්නේ නිමන්තිගේ අතින්. ඇය ගෘහණියක් විදිහට කැපවීමෙන් මට අතපසු වන රාජකාරිය පවා මනාව කළමනාකරණය කරනවා. ඇය වගේ බිරියක් සිටීම මට ඇත්තටම පහසුවක්. ඔන්න නිමන්තිට පොඩි බටර් පාරක් ගෑවා? මම ඊළඟට නිමන්ති දෙසට හැරුණේ එහෙම කියාගෙන. මෙයා ඔය වගේ බටර් පාරවල් ගහනවා නේද... නිමන්ති ප්‍රභාත්ට පොඩි තට්ටුවක් දැම්මේ හිනාවෙන ගමන්. මට ප්‍රභාත්ගේ කාර්යබහුලකම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එයා වැඩකට යොමු වුණාම ඒ ගැනම විතරයි ඔළුවෙ තියෙන්නේ. ඒ වගේම නීට් එකට දෙයක් තියෙන්න ඕනෑ. සැමියාගේ වැඩ කටයුතුවලට තල්ලුවක් ලබා දීම හොඳ බිරියකගේ රාජකාරියනේ. ඉතින් මමත් එහෙමයි. අපේ ප්රඩක්ෂන්වලටත් මං සෘජුවම දායක වෙනවා. වස්සානේ ප්‍රේමය තිර කතාව මුලින්ම කියෙව්වේ මං. අපි මෙය නිෂ්පාදනය කරමු කියලා මං තමයි ඔහුට කිව්වේ. * නිමන්ති ආයේ රඟපාන්න එනවා කියලා ආරංචි වුණා? මගේ පොඩි නිහඬතාවයක් තිබුණා. නමුත් රඟපාන්න තියෙන ආසාව කොයි වෙලාවකදිවත් හිතෙන් බැහැරව යන්නේ නැහැ. අපේම නිෂ්පාදනයක් හරහා නැවතත් රඟපාන්න එන්නයි හිතාගෙන ඉන්නේ. ප්‍රභාත් තමයි මට ඒ ආරාධනාව කළේ. * ඇත්තද රසට කේක් හදන්න දන්නවා කියන්නේ? මෙයා වෙන්න ඇති ඒක කියන්න ඇත්තේ. ප්‍රභාත් හරි ආසයි මං හදන කේක් කන්න. මමත් පුළුවන් සෑම වෙලාවකුදීම කේක් හදලා දෙනවා. කඩවල්වල තියෙන කේක්වලට වඩා ගොඩක් රසලු මං හදන කේක්. ප්‍රභාත් මේ දවස්වල පොඩි රාවයක් යනවා වස්සානේ ප්‍රේමයයි නාට්‍ය තිර රචකයා සම්බන්ධව. මට ඒ ගැන ඔබෙන් කාරණා ටිකක් දැනගන්න ඕනෑ? ඔව්. අහන්න ඕන දෙයක්. * කවුද වස්සානේ ප්‍රේමයයි නාට්‍යයේ සැබෑ තිර රචකයා? ගයාන් හෙට්ටිආරච්චි. * නමුත් වෙනත් පුද්ගලයකු මේ නාට්‍ය ලියන්නේ තමන් යැයි පුවත්පත් කිහිපයකටම කියලා තිබුණා? මමත් දැක්කා. ඔහු වස්සානේ ප්‍රේමයයි මුල් කොටස් කිහිපය පමණයි ලිව්වේ. එයාගේ වැඩ අන්තිමයි. අධ්යක්ෂවරයා පවා ඔහුව නාට්‍යයෙන් ඉවත් කරන්න කියලා මට කිව්වා. නමුත් මම එහෙම කළේ නැහැ. මෙයගේ මනුස්සකම වැඩියි. නිමන්ති ප්‍රභාත්ට වගඋත්තර බැන්දාය. එක පාරටම කෙනෙකුව වැඩකින් ඉවත් කරන එක හරි නැහැනෙ. ප්‍රභාත් දැන් හැදෙයි දැන් හැදෙයි කිය කිය බලාගෙන හිටියා. ඒත් එහෙම වුණේ නැහැ. අන්තිමේ ඔහුව නාට්‍යයෙන් ඉවත් කරන්න සිදු වුණා. නාට්‍ය ලියන්නේ තමන් නොවේය කියන කාරණය ඔහු කොතනකදීවත් සඳහන් කරන්නේ නැහැ. ඔහුට යුතුකමක් තියෙනවා එහෙම කියන එක. ප්‍රභාත් දවසක් එයාට කෝල් එකක් පවා ගත්තා. ඔහු විකාර දේවල් කිව්වේ. වැඩක් නෑ ඔය වගේ අයත් එක්ක කතා කරලා. නිමන්ති ප්‍රභාත් ගාවට ඔවුන්ගේ පුංචි පුත් මවුලි මතීෂ පැමිණියා. ප්‍රභාත්ගේ කනට කරලා මොනවද කියලා ඔහු ආයෙත් ගෙතුළට දිව්වා. * පුතා රඟපානවා නේද? ඔව්. එයා වැඩ කිහිපයකටම දායක වුණා. ආකර්ශා කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මැවිවේ පුතා. ඒක ඉදිරියේදී තිරගත වේවි. අපට පුංචි දුවෙකුත් ඉන්නවා. නිමන්තට ඕනෑ වුණා දුව ගැනත් සඳහනක් කරන්න. අපි ඊට අවස්ථාව දුන්නා. දුවට තවම අවුරුදු දෙකයි. එයාගේ නම සංසා ස්නේහා. * මා යළිත් ප්‍රභාත් දෙසට හැරුණේ වස්සානේ ප්‍රේමයයි ගැන දෙයක් අහන්න. ප්‍රභාත් මේ නාට්‍ය සඳහා කැමරා දෙකක් යොදා ගන්නවා. මෙගා නාට්‍යයක් කරද්දී ඒ වැඩේ කරන්න පුළුවන්ද? ඇත්තටම වෙන මෙගා නාට්‍ය නිෂ්පාදකවරයකුට කරන්න බැරි වැඩක් ඒක. නමුත් අපිට පුළුවන් වෙලා තියන්නේ කැමරා උපකරණ අපේ නිසා. ඒ විතරක් නෙවෙයි. මේ නාට්‍ය රූපගත කරන්නත් දඩිබිඩියේ නෙවෙයි. ඒක ප්‍රේක්ෂකයන්ට පේන්න තියෙන කරුණක්. අපි නාට්‍ය සඳහා ඩාවින්සි නම් වූ කලර් ග්‍රේඩ් එකක් පවා පාවිච්චි කළා. සාමාන්‍යයෙන් මෙගා නාට්‍යයකට ඒ වගේ කලර් ග්‍රේඩ් එකක් යූස් කරන්නේ නැති තරම්. * නාට්‍ය රූගත කරද්දී සාරංග දිසාසේකර විශාල අනතුරකින් ගැලවුණාලු නේද? ඒක වුණේ මෙහෙමයි. සාරංග මෝටර් බයිසිකලයක් ධාවනය කරමින් එන දර්ශනයක් තිබුණා. අප එයාට ඉදිරියෙන් කැමරාව තියාගෙගන වාහනයක හිටියේ. අපි ඉදිරියට යද්දී සාරංගත් ආවා. එතකොට වේගය පැයට කිලෝ මීටර් හැටක විතර ඇති. අපි ගිය වාහනයේ රියදුරු මහතා නොසිතූ මොහොතක බ්රේක් කළා. සාරංගට බයිසිකලය පාලනය කර ගැනීමට නොහැකිව අපි ගිය වාහනය ගාවටම ආවා. අවසානයේ ඔහු පැත්තට කැපුවා බයිසිකලය. ඒ හින්දා ඔහු බේරුණේ නූලෙන්. * මේ වන විට මෙගා නාට්‍ය කලාව තුළ නව සම්ප්රදායක් ගොඩ නැගෙමින් තියෙනවා. ඒ නළු නිළියන්ව වරුවෙන් යවා දවසේ මුදලින් භාගයක් ගෙවන එක? මම නම් ඔය ක්‍රමෝපාය කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඔය සිස්ටම් එකෙන් ක්ෂේත්රයේ ගරුත්වය නැති වෙනවා. අනේ මන්දා, කවුරු කොහොම මෙවැනි විහිළු සම්ප්‍රදායන් ගොඩ නගනවාද කියලා. නළුවෙකුගෙන් හෝ නිළියකගෙන් බාගෙට වැඩ ගන්න බැහැනේ. දවසේ මුදල වැදගත් ලෙස ගෙවලා තමයි ආර්ටිස් කෙනෙකුව වැඩකට ගන්න ඕනෑ. * ඔබ දෙපොළම හරිම කාර්යබහුලයි. විවේකී දවසක් ඇත්තෙම නැද්ද නිමන්ති? ඇත්තටම කිව්වොත් මම ගෙදර ඉන්නේ ප්‍රභාත් ගෙදර ඉන්නවා නම් විතරයි. එහෙම විවේකී දවසක් දෙකක් ලැබුණම පවුලම යනවා දුර ට්‍රිප් එකක්. මේ දවස්වල නම් විවේකයක් ඇත්තේම නැති තරම්. ඉක්මනට විවේකයක් හොයාගෙන යමු ප්‍රභාත් කතරගම පැත්තේ. ප්‍රභාත් ද එයට සැනින් ඔළුව වැනුවේ විවේකයක් අවශ්‍ය හින්දා වෙන්න ඇති.
|