|
||
සම්මානය ලබන විට මා සිටියේ ජර්මනියේ
‘පවන රළු විය’ හොඳම තිරනාටක රචක සම්මානය දිනූ රංජිත් කුරුප්පු1995 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය, හොඳම සහය නිළිය සේම හොඳම තිරරචනයට හිමි සම්මාන ත්‍රිත්වය හිමි වුණේ ‘පවන රළු විය’ චිත්‍රපටයට යි. 71 කැරැල්ල සමඟ පැවැති සමාජ දේශපාලනික තත්ත්වය මත ඉහළ මධ්‍යම පන්තියේ පවුලක සම්බන්ධතා බිද වැටෙන අයුරු සිනමා නිර්මාණයකින් ගෙන ඒමට කටයුතු කළේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු වන රංජිත් කුරුප්පු විසිනි. ‘පවන රළු විය’ ඔහුගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර එදා හොඳම තිරරචනයට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේද ඔහු ය. එයද ඔහුගේ ප්‍රථම තිරරචනය වීම විශේෂ වේ. * ‘පවන රළු විය’ හොඳම තිරරචනයට හිමි සම්මානය හිමි වූ අවස්ථාව ඔබට විශේෂයි? ඒ ආරංචිය දැන ගන්නවිට මම හිටියේ ජර්මනියේ. මගේ බිරිය සමඟින් බොන් නගරයේ සිට උතුරු ජර්මනිය බලා යමින් සිටියේ. මට ඒ ආරංචිය දුන්නේ සරසවි ප්‍රකාශක එච්. ඩී ප්‍රේමසිරි මහත්මයා. එතුමා ‘පවන රළු විය’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙක්. සරසවිය සම්මාන උලෙළේදී ‘පවන රළු විය’ චිත්‍රපටයට සම්මාන කිහිපයක්ම ලැබෙන්න නියමිත නිසා මට දුරකථන ඇමතුමක් දීලා ලංකාවට එන ලෙස ආරාධනා කළා. මේ බව දැනගත්තාම දැනුණේ පුදුම සන්තෝෂයක්. තව දින දෙකක් විතරයි තිබුණේ. කොහොම හරි ලංකාවට එන්න උත්සහ කළත් මට ඒ අවස්ථාවට නම් එන්න ලැබුණේ නැහැ. ඒ වුණත් මගේ ප්‍රථම චිත්‍රපට තිර පිටපතට සම්මානයක් ලැබීමේ සතුට කියා නිම කරන්න බැහැ. ඒ සම්මානය සරසවිය සම්මානය වීම මා ලද භාග්‍යයක්. මොකද සරසවිය කියන්නේ ලංකාවේ තියෙන එකම ජා.තික සිනමා පුවත්පත. සරසවිය කියන්නේ කලා ක්ෂේත්‍රයේ තියෙන ජාතික සම්මානය. ඒ නිසා ‘පවන රළු විය’ චිත්‍රපටයේ මගේ තිරරචනය සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීම ගැන නිහතමානීව සන්තෝෂ වෙනවා. * ‘පවන රළු විය’ චිත්‍රපටයට කතා තේමාව නිර්මාණය වෙන්නත් විශේෂ හේතුවක් ඇති? මගේ මුල්ම සිනමා පාසල වුණේ ආචාර්ය ඩී. බී නිහාල්සිංහ මහත්මයා යි. අනතුරුව ලන්ඩනයේ පැඩින්ටන් තාක්ෂණ විද්‍යාලයේදී නවින තාක්ෂණය සමඟින් සිනමාකරණය පිළිබඳ සාර්ථක අධ්‍යයනයක් නිම කරලා ලංකාවට එන විට මේ අදහස මගේ හිතේ තිබුණා. හැත්තෑ එකේ විප්ලවය සමඟින් අපේ රටේ උසස් මධ්‍යම පාන්තික පවුලක ගරා වැටීම මොන ආකාරයෙන් සිදු විය හැකිද යන්න මගේ හිතේ තිබුණා. මම චිත්‍රපට තිරරචනය ගැන මාස හයක් වෙනමම හැදෑරුවා. බොන් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේදී තමයි මම ‘පවන රළු විය’ තිර රචනය ලිව්වේ. එතැන හරිම සුන්දර ස්ථානයක්. රයින් ගඟ අයිනේ තමයි පිහිටා තිබුණේ. * තිරරචනය ලියන විට නළු නිළියන් එහෙමත් හිතේ තියාගෙන ලියන්න ඇති? ‘පවන රළු විය’ තිරරචනය ලියන්න පටන් ගන්නකොටම මගේ හිතට තුන් දෙනෙක් ආවා. පළමු වැන්නා සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා. බ්‍රැඩ්මන් වීරසිංහගේ චරිතයට කොහොම හරි මගේ ගුරුවරයා, මගේ යාළුවා වූ ගාමිණි ගන්නවා කියලා එදා මම හිතුවා. ඒ වගේම වීරසිංහ මහත්මියගේ චරිතයට අයිරාංගනී සේරසිංහත් වීණා ජයකොඩිත් තිරරචනය ලියන අවස්ථාවේ හිතාගෙනම ලියූ චරිත. ඒ චරිතවලට ඔවුන්ගෙන් ලද දායකත්වයත් ඉතාම අගනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. * එදා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම ඔබටත් අභියෝගයක් වුණා ද? ඒක නම් අති දුෂ්කර කටයුත්තක් වුණා. නොයෙකුත් බාධා පැමිණියා. මං හිතන්නේ සිංහල සිනමාවේ ආධුනිකයෙකුට එන්න තියෙන අවස්ථා බොහොම අඩුයි. කඩාකප්පල්කාරී වැඩ බොහෝමයි. ඇතැම් අය රූගත කිරීම්වලට එන්නේ නැහැ. මට තිබුණු කරදරවල හැටියට ‘පවන රළු විය’ රිදී තිරයට කවදාවත් එන එකක් නැහැ කියලා තමයි බොහෝ දෙනා හිතා ගෙන හිටියේ. මම ලෝකේ කොහේවත් දැකලා නැති ප්‍රවණතා මෙහේ තියෙනවා. ජර්මනියේ ප්‍රධාන ජාතික සිනමා උලෙළ දෙකක් තියෙනවා. එකක් බ්‍රැන්බි. අනෙක් සිනමා උලෙළ බුන්ඩෙෆ් ෆිල්ම් ප්‍රයිස්. මේ දෙකෙන් එකකදී අද කලාකරුවෙකුට සම්මානයක් ලැබුණා නම් හෙට ඉඳලා ඔහුට ටෙලි නාට්‍ය, චිත්‍රපට සමාගම් වලින් බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙහේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ මම ඒක ජර්මන් භාෂාවට පරිවර්තනය කරලා චිත්‍රපට නිෂ්පාදන සමාගම් කිහිපයකට යැව්වා. සිංහල සිනමාවට දැනට වයස අවුරුදු හැට හතයි. මේ කාලය තුළ ප්‍රථම වතාවට ලාංකේය තිරනාටකයක් යුරෝපයේ ඉහළ පෙළේ නිෂ්පාදන සමාගක් මුදල් යොදවා අනුමත කළ එකම චිත්‍රපටය වන්නෙත් ‘පවන රළු විය’ චිත්‍රපටය යි. එච්. ඩී ප්‍රේමසිරි මහත්මයා සම නිෂ්පාදකවරයා වුණා. අපි චිත්‍රපටය හැදුවා. මෙරට තිරගත කර අනතුරුව සම්මාන දිනා ජර්මන් භාෂාවට හඬකවා ජර්මනියේදී සිව් වතාවක් විකාශය කළා. * චිත්‍රපටය රූගත කිරීමේදී වූ අමතක නොවන සිදුවීම්? සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කිරීමම අමතක නොවන සිදුවීමක් තමයි. ඔහු සමඟ කටයුතු කිරීම ඉතාම පහසු කටයුත්තක් වුණා. මොකද විෂය දන්න කෙනෙක් අධ්‍යක්ෂණය කරනවා නම් එතුමා මොකුත් කියන්න එන්නේ නැහැ. එවකට එතුමා පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හෙබවූ කාලය යි. එතුමා දර්ශනය තලයට කැඳවා ගෙන එන්න යන විට මමත් යන්න අමතක කළේ නැහැ. කාර් එකේ එන කොට සමහර වෙලාවට මට ‘මචං’ කියලත් කතා කළ අවස්ථා තිබුණා. “දර්ශන කීයක් ගන්න සූදානම් කරලා තියෙනවාද? ට්‍රැක් ඩොලි පාවිච්චි කරනවාද?, මොන ලෙන්ස්ද පාවිච්චි කරන්නේ” ආදි වූ ප්‍රශ්නවලට මගෙන් උත්තර ලැබුණාම දර්ශන තලයට ගියාම එතුමා දන්නවා මොකද වෙන්නේ කියලා. ටෙනිස් කෝට් එකේ මැරී වැටෙන දර්ශනය දෙපාරක් රූගත කරලා නැඟිටලා “රංජිත් තව වතාවක් ඒ දර්ශනය ගන්න ඕනිද”කියලා මගෙන් ඇහුවා. ‘පවන රළු විය’ මංගල දර්ශනය පැවති දා ජර්මනියටත් එතුමා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වුණා. * ‘පවන රළු විය’ චිත්‍රපටයෙන් පසු ඔබේ සිනමා නිර්මාණ රසික රසිකාවන්ට දකින්න ලැබුණේ නැහැ?
මගේ ජීවිතයම සිනමාව. නමුත් මම හැදුවේ එක චිත්‍රපටයක් විතරයි. මොකද මේ බජට්වලට චිත්‍රපට හදන්න මම කැමැති නැහැ. මේ විදියටම ජර්මනිය මුදල්වලින් භාගයක් වියදම්කර චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්න අවස්ථාව උදා වුණා. ඉතිරි භාගය හොයා ගන්න වුණේ ලංකාවෙන්. ඒ අවස්ථා දෙකේදීම මෙරටට ඇවිත් නිෂ්පාදකවරුන් සෙවූවත් හොයා ගන්න බැරි වුණා. අනික මම කරන්න සූදානම් වන චිත්‍රපට සුළු මුදලකින් කරන්න බැහැ. මම මීළඟට නිර්මාණය කරන්න සූදානමින් සිටින ‘දෝන කතිරිනා’ චිත්‍රපටයට යන වියදම රුපියල් මිලියන එකසිය පනහක්. මෙවර ලංකාවට එන්න හේතු වුණෙත් එයට නිෂ්පාදකවරු කිහිප දෙනෙක් හමු වෙන්නයි. * වර්තමානයේ දේශීය සිනමාව ගැන මොකද හිතෙන්නේ? ලංකාවේ සිනමාව කියන්නෙත් ටෙලි නාට්‍ය. ඒකට හේතුව බොහෝ දෙනා නිර්මාණ කරන්නේ හදාරන්නේ නැතුව. හදාරන්නේ නැතුව වදාරන්න බැහැ. ජාත්‍යන්තරයට යන්න නම් අපි ඒ මට්ටමට අවශ්‍ය විදියට නිර්මාණයක් කළ යුතුයි. සිනමා කියන්නේ ටෙලි ඩ්‍රාමා නෙවෙයි. දැන් බලන්න හැම රටකම සිනමා පාසල් පිහිටුවා තියෙනවා. සිනමා සංරක්ෂණාගාර තියෙනවා. අපේ රටේ මොනවද තියෙන්නේ. පසුගිය අවුරුදු හැට හතේදීම පැවති රජයන් විසින් ඒ වගකීම පැහැර හැරලා තියෙන්නේ. පෙරදිග අපි ධනයට අධිපති ලක්ෂ්මි දෙවඟනට වගේම කලාවට අධිපති සරස්වතී දේවියට බුහුමන් දක්වනවා. හැබැයි ලක්ෂ්මි ඉදිරිපස දොරෙන් එනවිට සරස්වතිය පෑලදොරින්් පිටවෙලා යන බවට ජනවහරේ කතාවක් තියෙනවා. නමුත් සිනමාවේ අභියෝගය ලක්ෂ්මී සහ සරස්වතිය එක වහලක් යට තබා ගැනීමයි. ඒ අභියෝගය ජය ගන්න නම් සිනමාව ගැඹුරින්ම හදාරලා තියෙන්න ඕනි. දේශීය සිනමාවේ පරමාර්ථය ලාබ ඉපැයීම පමණක් නිසා එතැනින් එහාට කලාවක් ඇත්තේ නැහැ. මෙරට සිනමාවේ ඇතැම් සිනමා නිර්මාණකරුවන් නම් කියන්නේ සිනමාවට ඔවුන්ගෙන් ව්‍යාකරණයක් නොමැති බවයි. ඉතිං කොහොමද සිනමාවක් පවතින්නේ. 1984 වසරේදී ලන්ඩනයේදී බීබීසි ආයතනයේ සභාපති ප්‍රධානත්වයෙන් චිත්‍රපට උලෙළත් පැවැත් වූවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ චිත්‍රපට දහසයක් එහිදී තිරගත කළා. පසුව බීබීසි සන්දේශයේ එතුමගේ සම්මුඛ සාකච්ඡාවකුත් පැවැත් වුණා. එය මෙහෙයවූයේ, චිත්‍රපට අධ්‍යක්ෂක ජී. ඩී. එල් පෙරේරා. “ඔබතුමා සිංහල නොදැන කොහොමද සිංහල චිත්‍රපට හදන්නේ” කියලා එය ආරම්භයේදීම පෙරේරා මහත්තයා ප්‍රශ්නයක් යොමු කළා. “ජී.ඩී. එල්, සිනමා කෘති නිර්මාණය කරන්නේ සිංහල භාෂාවෙන් නොවෙයි. සිනමා මාධ්‍යයෙන්. සිනමා මාධ්‍ය කියන්නේ භාෂාවක්” යැයි පීරිස් මහත්තයා පිළිතුරු දුන්නා. ඒ වගේම වාක්‍යයක් කියන්නේ ව්‍යාකරණාකූලව අදහසක් ඉදිරිපත් කරන වචන කිහිපයක එකතුවක්. සිනමාවේදීත් දර්ශනයක් කියන්නේ ෂොට් කිහිපයක එකතුවක්. ඒ ෂොට් කිහිපය සිනමා ව්‍යාකරණයට අනුව සැකසිය යුතුයි. අපූරු සිනමා නිර්මාණ බිහිවන්නේ එවිටයි.
|
||