|
විද්‍යා ආචාර්ය පතිරාජ සහ ස්ටුඩියෝ ඩොනල්ඩ්
අපේ නව පරපුරේ නිළි පැටික්කියෝ හිතගෙන ඉන්නේ එයාලා සියල්ල දන්නවා කියලා. ඒ වගේම දන්න රංගනය කරගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව නිවේදනයටත් මේගොල්ලෝ දැන් ඇවිල්ලා. කියවනවා කියවනවා හරියට කරුණාරත්න අබේසේකර, ප්රේමකීර්තිටත් එහා ගිය අය වගේ. (දැන් මේ නිළි නංගිලා බලයි ඒ දෙන්නා කවුද කියලා. එයාලා අපිට හිටිය විශිෂ්ටතම නිවේදකයො හොඳේ) ඔන්න ඒ වගේ නිළි පැටික්කියක් මෙහෙය වූ එක්තරා වැඩ සටහනකට ආචාර්ය ධර්මසේන පතිරාජයන් ඇවිල්ලා. ඔහු ගැන ඉතින් අටුවාටිකා මොකටද. අපට සිටින විශිෂ්ටතම සිනමා අධ්යක්ෂවරයෙක්නේ පතිරාජ කියන්නේ. ඔහුට අමතරව විශිෂ්ට කැමරා අධ්යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්නටත් ඒ වැඩ සටහනට ආරාධනා කරලා. ඩොනල්ඩ් - පති සුසයෝගය ඇරැඹුණේ අහස්ගව්ව චිත්‍රපටයෙන්. ඊට පසු බඹරු ඇවිත්, පාර දිගේ ආදී චිත්‍රපටවල ඔවුන් සිය විශිෂ්ටත්වය විදහාපෑවා. ඉතින් මෙවන් වූ දෙදෙනෙක් ආවාම ටිකක් ගරුසරු ඇතුව කතා කරන්න එපායැ. මේ නිළි නිවේදිකාව ආචාර්ය පතිරාජගෙන් අහලා 'ඔබතුමාට ආචාර්ය පදවිය ලැබුණේ විද්‍යාව උගන්නපු නිසාද' කියලා. ඩොනල්ඩ් අයියගෙන් අහලා 'ඔබතුමා ඡායරූප ශාලාවකට සම්බන්ධද' කියලා. මේවා අහද්දී ඒ දෙන්නත් අපහසුතාවයට පත් වෙලා. අනේ මන්දා මේ වගේ කතා ඇහෙද්දී කොහෙන් හිනා වෙන්නද, අඬන්නද කියලා හිතාගන්න බැහැ'.
|