|
||
සැපට දුක් විඳින මිනිස්සු ගැන කියන
ඉඳින් අපි දැන් සෙට් එක ලොජ් වෙච්ච ඊට අල්ලපු ගෙදෙට්ට කර පොවනව. 'ටොක් ටොක් ගාල ෂීට් වහලෙට පොද වැටෙනව හරියට පහේ කාසි වැටෙනවා වගේ . . .' කළු වලාකුළුවලින් බර වෙච්ච අහස දිහෑ බැලූ කළු කර ගත්ත මූණ අපේ දිහෑවට හරවල සහාය අධ්‍යක්ෂ ඉන්දික (ඉන්දික ධර්මතිලක) දොරකඩ ඉඳන් එහෙම කියනවා. වැස්සනෙ වැඩේට අවුල් කියන එකයි ඔහු ඒ කියන්නේ.
කහටගස්දිගිලියෙන් කොළඹ ගෙන්දගම් පොළවට ජිරාමාරු වෙච්ච 'කොළඹ අපි ආවා' කතාවේ එන ටෙලි පවුලෙ අම්මා තමයි මමෝහාරී (මනෝහාරි විමලතුංග). ඒ පවුලේ තාත්තට අඳින්නේ දයාදේව එදිරිසිංහ. ඒක ටිකක් බර පවුලක්. ළමයි පස් දෙනයි. ලොක්කා අසංක (සම්පත් ජයවීර) ඊට බාල කොල්ලො දෙන්නයි. හර්ෂ තෙන්නකෝන් (අරවින්ද), එරංග ජීවන්ත (මාධව) තමයි ඒ තව මේ පවුලෙම කෙල්ලො දෙන්නෙකුත් ඉන්නවා. ටෙලිවල නිතර නොදකින සමනලී ෆොන්සේකා එයින් එක චරිතයක් රඟපානවා. අනෙක ඒ පවුලේ දෙවැනියගෙ චරිතෙ. ඒක මවන්නෙ මේධා ජයරත්න. ඔන්න මේධව මතක් කරද්දිම රතු ගවුමකින් සැරසිච්ච එයා මේකප් කරන තැනට එනව. ඇවිත් ඒ ඉස්තෝප්පුවෙ මේසෙක කොනක තිබ්ච්ච ස්ක්‍රිප්ට්ටෙකේ පිටු තුන හතරක් දඩිබිඩියෙ කියවල ඉවර වෙලාම, සුරේ මේධට හදාදුන්න හීනෙන් බය වෙච්ච මූණට හිනා කටක් දාගෙන 'මොනාද අප්පා මං ඉන්න සීන් තව නැහැනේ' කියලා මේධා නෝක්කාඩුවෙන් කියනව. අපෝ මට නම් එක දිගට සීන් මනේහාරි හීනියට මේධාට එහෙම කියනව. ඔය විදියට ප්ලේන්ටියක් බීලා ඉවර කරන්න ගතවෙන වෙලාවක් ගෙවුණම අල්ලපු ගෙදරින් සද්ද බද්ද අහෙනව. දොර ජනෙල් වහගෙන ෂූට් කළ ඇතුළත සීන්නෙකක් ඉවර කරලා කට්ටිය එළිබහින සද්දෙ ඇහෙනව. 'මේ ළඟදි දවසක උදේ අතට ගත්ත පොතක් මං කියවලා ඉවර කරද්දි වෙලාව හවස තුනයි හතළිස් නවයයි. කොච්චරවත් ෂූටිං යද්දි කියවන්ඩ මං පොතක් දෙකක් ගෙනියවමයි. ඒත් ඔයාට කියන්ඩ අනේ මම ඩුබායි ගෙනිහින් අකුරක් කියවන්ඩ වෙලාවක් නැතුව එහෙම්මම ගේන්ඩ වුණානේ පොත් දෙකක්ම' දයාදේව එහෙම කිය කියා ඇවිදින් වැල් කැඩිච්ච වේවැල් පටුවකට බර වෙන්නේ පොතකුත් අතේ තියන්. තව කොච්චර පුටු තියෙද්දි එයා ඒකටම බර වෙන්නෙ මොකද මන්දා කියලා මුලින්නම් අපිටත් හිතුණා. ඒත් ඒක දයාගෙ ආසම පුටුව කියලා අප දැනගත්තෙත් පස්සේ.
සුරංගට (සුරංග ලක්මාල් සෙනෙවිරත්න) ඉතින් සීන්නෙකක් කැමරා කරන් ඉවර වුණ ගමන්ම කැමරාව ළඟට දුවනකල්ම වෙන සිහියක් නෑ. ඒ සීන්නෙක හොඳට ආවද කියල බලාගන්ඩ. අමාරුවෙන් ලොකේෂන් එකෙන් ටිකක් ඈත්මෑතක් කරවගත්තමයි සුරංගගෙන් මේ ටික ඇහුණේ. 'කොහොමත් මේ අපිට අමුත්තක් දැනෙන කතාවක් නෙවෙයි. ගමෙන් කොළඹට ගෑටුව දෙනෝ දාහකට මේක තමන්ගේ ජීවිතේම කොටසක් වගේ දැනේවි. මමත් ඒ කුලකයෙන් පිටස්තර කෙනෙක් නොවෙන නිසා අපි මේ අපේම කතාවක් හදනවා කිව්වත් වැරදි නැහැ. හුඟ දෙනෙකුගේ ජීවිතවලට අදාළ සුඵ අත්දැකීමක් වුණේ දීර්ඝ ටෙලි නාට්‍යයක්. එහෙම නැතිනම් මෙගා ටෙලියක් විදියටයි මේ නාට්‍යය විකාශය වෙන්නේ. ඇත්තටම ඒක අලුත් හැඩයක් ගන්නවා කියලයි මං විශ්වාස කරන්නේ. අංගානි, අනවරත ටෙලි මීට කලින් තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කළ සුරංග සෙනෙවිරත්න තවත් අයන්නකින් පටන් ගන්නා නමක් නොතිබ්බ එයාගේ මේ අලුත් ටෙලියේ විස්තර කියන්නේ එහෙමයි. 'කොළඹ අපි ආවා' සුරංග මේ අලුත් වැඩේට තවත් තරුණයකුව හවුල් කරන් තියෙනවා. සුරංග අධ්‍යක්ෂවරයාගේ භුමිකාවට අමතරව සඳරුවන් ජයකොඩි සමඟ අත්වැල් බැඳගෙනම මේ ටෙලි නාට්‍යයේ බරපැනවලටත් දායක වෙනවා. කවුද මේ සඳරුවන් කියලා කවුරුත් එච්චර කුහුලක් ඇතිකරගන්ඩ ඕන නෑ. මේ දෙන්නට දෙන්නගේ මිත්‍රකම් ඒ කට්ටිය ඒරොප්පෙ ඉඳිද්දිත් තිබිච්ච එකක්. එකට එංගලන්තෙ හිටිය කාලේ 'සන්තුෂ්ටි' කියලා කෙටි චිත්‍රපටයකුත් මේ කට්ටිය එකතු වෙලා කරලා තියෙනවා. වෘත්තියෙන් ගිණුම්කරණයේ සිටියත් සුර සැප විඳින්න සිතාගෙන පිටරටට නැව් නැඟලා ගිහින් ඒ රටවලදී අපා දුක් විඳින අප ඇත්තන්ගේ කතාව තමයි සඳරුවන්, සුරංගලා එක්ක එකතු වෙලා ඒ හදලා තිබුණේ. ඒ අත්දැකීම ඇතිව ශ්‍රී ලංකාවට ආවාම පහළ මැද පන්තියේ නාගරික ජීවිත දිහා බැලුවාම 'කොළඹ අපි ආවා' හදන්නත් හිත ගියා කියලා තමයි කලාවට ළැදි සඳරුවන් ජයකොඩිත් කියන්නේ. මේ කතාබහ අතරේ අම්මලෑ තාත්තලෑ ටෙලි නාට්‍ය හැදිල්ල මැදට පැන්න මේධා - සුරංග දෙපළගේ චූටි දෝණි පොඩිකමට හුරතලේට ඒ මේ අත දුව පනිනවා. ඒ දකින ලොකේෂන් එකේ හිටිය අංජන, එරංග, හර්ෂ තුන්කට්ටුව එකතු වෙලා ඒ දැරිවිට කොලොප්පමක් කරලා. 'ඕගොල්ලො ඉතිං නිළියොනේ' කියලා දෝණිගෙන් හොඳවෑයින් කතාවක් අහගෙන තමයි ඒ පාර නම් අපේ මේ දක්ෂ තරුණ නළුවෝ පැත්තකට වුණේ.
ඉඳින් ඔයාලා මේ ලිපිය කියවන මොහොත වෙද්දිත් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ 'කොළඹ අපි ආවා' විකාශය කෙරෙනවා. සතියේ දිනවලදී රාත්‍රී 9 ට විකාශය කෙරෙන මේ ටෙලි නාට්‍යය විකාශය ඇරඹුවේ පසුගිය 31 වැනිදා. ගල්කිස්ස, බොරැල්ල, මාලඹේ ආදී කොළඹ අවට තමයි ඔබ දැන් නරඹන කොළඹ අපි ආවා ටෙලියේ මුල් කොටස් 15 රූගත කරලා තියෙන්නේ. අපි පසුගිය සතියේ තලංගම කොස්වත්තේදී දුටුව එහිම දෙවැනි අදියරේ රූගත කිරීම් අතරතුර ආගිය තොරතුරු ටිකක් තමයි මේ ලීවේ හොඳේ. අවකාශ මීඩියා වෙනුවෙන් සුරංග සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදනයට සුරංග සමඟ සඳරුවන් ජයකොඩි හවුල් වෙනවා. සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, දයාදේව එදිරිසිංහ, මනෝහාරි විමලතුංග, මේධා ජයරත්න, හර්ෂ තෙන්නකෝන්, එරංග ජීවන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අයේෂා දිසානායක, අංජන ප්‍රේමරත්න, සුදර්ශන බණ්ඩාර, නදීෂා අලහප්පෙරුම, සඳනි පතිරගේ, අනුරාධා එදිරිසිංහ, ගයාන් කුරුප්පුආරච්චි ආදීහු රඟන කොළඹ අපි ආවා සඳහා පිටපත රචනයෙන් කෞශල්‍ය පතිරණ ද සහාය අධ්‍යක්සණයෙන් ශෂික හේරත් සහ ඉන්දික ධර්මතිලක ද කැමරාකරණයෙන් කුලරුවන් ගමගේ හා විමර්ශන රත්නායක ද අංග රචනයෙන් ජේ. සුරනිමල ද, කලා අධ්‍යක්ෂණයෙන් චින්තක විජේරත්න ද පසුබිම් සංගීතයෙන් ශාන්ත පීරිස් ද නිෂ්පාදන කළමනාකරණයෙන් බුද්ධි සංජය ගුණසිංහ ද තේමා ගීය සංගීතවත් කරමින් ගැයුමින් අමිල පෙරේරා (ජෝන්සීනා) ආදීන් එක්ව සිටියා. |
||