|
කවදාවත් පත්තරකාරයෝ තරහ කරගන්න එපා
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්දගේ සිතුවමින්
'තමුසේ මේ වගේ ජරා වැඩ කරන මිනිහෙක් කියලා මං දැනං හිටියනම් කවදාවත් තමුසෙව ආශ්‍රය කරන්නේ නෑ' මානවී ගිගුරුවාය. මේ සුකොමළ යුවතියගේ ඇස්වල තිබුණේ ගිනි දළු යැයි සුජිත්ට සිතිණ. එකවරම ඇයගේ ස්වරය වෙනස්ව ගියේය. 'ඇයි සුජිත් අයියේ මට මේ වගේ අපරාධයක් කළේ' සුජිත් සිටියේ බිත්තියට හේතුවෙමිනි. ඔහු සැබැවින්ම බියට පත්ව සිටියේය. මානවී එක් අතකින් බිත්තියට වාරු වී ඔහුගේ මුහුණ දෙස බලා සිටියාය. 'මම ඒ වගේ කැත වැඩ කරන මිනිහෙක් නෙවේ. මං එහෙම දෙයක් කළේ නෑ' ඔහු නිදහසට කරුණු කියන්නට සැරසුණි. අලුත් ටෙලි නාට්‍යයක මුහුරත් උලෙළට එන්නට මානවීට ආරාධනා ලැබුණේ වීරප්පෙරුම සමඟ ඉන්දියාවේ ගොස් පැමිණි විගසය. මානවී ආපසු එන දවසේ නිරන්ජන් සහ බිරිය ගුවන් තොටුපළට පැමිණ සිටියහ. ඔවුහු ඇගෙන් වීරප්පෙරුම ගැන විමසනු ඇතැයි සිතුව ද එසේ නොවීය. ඈ නිවසට පැමිණ පැයකට පමණ පසු ජංගම දුරකතනය නාද දුන්නේය. කතා කලේ වීරප්පෙරුමය. 'දරුවෝ ගෙදරට ආවද කියලා බලන්න කතා කළේ' 'ආවා සර්' 'මොනවා හරි ඕන උණොත් කියන්න. අර මං කිව්ව එකේ ඉංග්ලිෂ් කෝස් එකත් කරන්න ඕනෑ. හැමදාම ඇක්ට්ි කරලම හරි යන්නේ නෑ ළමයෝ' වීරප්පෙරුම කතා කලේ තැන්පත් ස්වරයකිනි. තරුණයකු ලෙස විටෙක ආලයෙන් පෙළෙන මේ මිනිසා තවත් විටෙක දරුවකු මෙන් සුරතල් වෙයි. එයටත් වඩා එකවරම ඔහු පියෙකු මෙන් ඔවදන් දෙන්නේය. නිර්මලාට මානවී සාරියක් ගෙනත් දුන්නාය. නිර්මලා එය තම සිරුරේ තබා හැඩ බැලුවාය. අනතුරුව එහි සුවඳ වින්ඳාය. 'හරි ලස්සනයි. ගොඩක් ගණං ඇති' නිර්මලා පැවසුවාය. මානවී කිසිවක් පැවසුවේ නැත. තෑගි බෝග සියල්ලට සතයකදු වැය නොවූ වග අම්මාට රහසක් කර තබන්නට මානවී සිතට ගත්තාය. 'සැර වියදමක් යන්ඩ ඇති' 'ටිකක් ගියා . . . නිරන්ජන් අයියාගේ අක්ක තමා ගොඩක් අරන් දුන්නෙ.' 'පූරුවේ ජාතියේ නෑයොද කොහෙද?' නිර්මලා පැවසුවාය. මානවී සිනාසුණාය. මානවී සුජිත්ට දුරකතන ඇමතුමක් දුන්නේ ද නැත. දවස් ගෙවිණ. අලුත් ටෙලි නාට්‍යයක් ගැන කියන්නට දුරකතන ඇමතුමක් දුන්නේ චාමරය. චාමර සුජිත්ගේ අලුත් සහායකයාය. ඒ සමඟ ඇමතුම නිරන්ජන් අයියාගෙනි. ටෙලි නාට්‍යයට සල්ලි යොදවන්නේ ඔහුය. නිරන්ජන් මුහුරත් උලෙළ ලොකුවට පවත්වන්නට උපදෙස් දෙයි. එදාට බොහෝ ප්රභූවරු ද පැමිණෙති. අනිවාර්යයෙන්ම අත්තිකාරම් මුදලක් ලැබෙන බැවින් නළු නිළියන් ද පැමිණෙති. එහෙත් ගිවිසුම් අත්සන් කරනුයේ නිෂ්පාදකය. නිරන්ජන් කරළියට නොඑයි. මානවීට දැන් මුහුරත් හුරුය. ඈ ශාලාවට පැමිණෙන විට විදුලි බුබුලු රාශියක් දැල්විණ. ඒ කැමරා ශිල්පීන් රැසක් ඇය හඳුනන්නීය. පළමු පෙළේ සිටියේ ප්‍රධාන සිනමා තාරකාවකි. මානවී ඈ ළඟට ගොස් දණ ගසා වැන්දාය. ඇය මානවීගේ හිස අත ගා මුහුණ සිප ගත්තාය. යළිත් විදුලි බුබුලු රාශියකි. කා සමඟත් සිනාසී කතා කළ යුතුය. නොදන්නා කෙනෙකු නැත. සිනමා තාරකාවකට වඳින තම රූපය හෙට ඉංග්‍රීසි පත්තරේක සිනමා පිටුවේ යන්නේය. එය තමන්ට හොඳය. 'කෙහොමද අලුත් පින්තුර ටිකක් ගමුද?' නලීන් ඇසුවේ ඈ ළඟ අසුනක වාඩිවෙමිනි. මානවීගේ මුල්ම පත්තර පින්තූර ගත්තේ නලීන්ය. නිතර හමු නොවුණත් ඔහු සමඟ යහපත් මිත්‍රත්වයක් පවත්වා ගෙන යන්නට මානවී සමත් වූවාය. 'පත්තරකාරයෝ කියන හැම දේම කරන්න බෑ. හැබැයි කවදාවත් පත්තරකාරයෝ තරහ කර ගන්න එපා' ඒ අවවාදය ඇයට ලැබුණේ අවුරුද්දකට විතර ඉස්සරය. ඒ සුජිිත්ගෙනි. සුජිත් දර්ශන තලයට පැමිණ මානවී ළඟට පැමිණියේය. 'ඉන්දියාවෙ ගියාලු නේද?' හ්ම්, නිරන්ජන් අයියා යං කිව්වා' 'මට කිව්වෙවත් නෑ' 'කියන්න ඉන්න එපායැ. ෆෝනුත් ඕෆ් කරගෙන' ආඩපාලියක ස්වරූපයෙන් ඈ පැවසුවාය. සභා ගැබ මැද අසුනක සතරකන් මන්ත්රණයට කන් දෙන්නෝ විරලය. බාධා කරන්මෝ එමටය. 'මටත් නොකියා දැන් වැඩ කරනවාද' 'ඇයි මං කාගෙන්වත් අහල වැඩ කරන්නේ' මානවීගේ මුහුණේ සිනහවකි. බලන්නෙකුට පෙනෙන්නේ රහසිගත ආල කතාවකි. කිසිවකු විසින් සුජිත් විමසන හඬ ඇසුණේ ඒ අතරය. සුජිත් උන් තැනින් නැගිට යන්නට ගියේය. නලින් හිස් අසුනේ වාඩි වුණේ මානවී සමඟ සුහද කතාවක් අරඹන්නටය. 'අලුත් පින්තූªර ටිකක්' මානවි විහිළුවෙන් මෙන් විමසුවාය. 'ඔව්. කවරෙකට ගන්න කියලා එඩිටර් මට කිව්වා' 'ඒ කාලේ ගත්තේ' 'එදා ඇතුළේ ආටිිකල් එකකට. දැන් ඔයා ජනප්‍රියයිනේ. අපේ කර්තෘතුමා කිව්වා ඔයගේ කවර් ෆොටෝ එකක් ගන්න කියලා' 'සුළු දෙයක්, අයියා දිනයක් දාගන්නකෝ' ටික වෙලාවක ඔවුහු ආගිය කතාවක යෙදිණ. 'අයියත් එක්ක ෆොටෝ ගන්න බයයි' 'ඇයි?' 'ගිය පාර ෆොටෝ ටික හින්දා මම බයේ හිටියේ' 'ඇයි?' 'මම බොහොම විනීත විදියට ඉන්නේ දන්නේ නැද්ද' ඈ නලීන්ට පැවසුවේ දොතොල උල් කරමිනි. 'අනේ පේනවා. අර වෙබ්වල තියෙන පින්තූර දැක්කම' නලීන් විහිළුවට මෙන් පැවසුවේය. 'මොනවද?' 'මොනවද කියලා අහන්නේ, මේ ඊයේ පෙරේදා ඔයාගේ පින්තුර වගයක් ලීක් වෙලා තිබුණා' 'බොරු කියන්න එපා අයියේ' 'බොරු නෙවෙයි. ඔයා බලන්නකෝ මානවී, ශ්‍රී ලන්කන් සෙක්සි ගර්ල් කියලා ටයිප් කරලා' නලීන් නැඟී සිටියේ සිනහවෙමිනි. මානවී නලීන්ගේ කොලොප්පමකැයි සිතා එය ගණං ගත්තේ නැත. එහෙත් පසුගිය කාලයේ තමා වැනිම තරුණියන් රැසකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයේ පළ විය. ඒ ගැන පොලීසියෙන් විපරම් කරන වග ද පළ විය. ටෙලි නාට්‍යයට දායක වූ එක් යුවතියක් මානවී සමඟ දිනක් හඬා වැටුණාය. 'ඒ මගේ පින්තූරෙ නෙවේ. මගේ මූණට තව එකෙක්ගේ ඇඟ දාලා' 'ඉතින් ඔයා පොලීසියට කිව්වේ නැද්ද?' මානවී විතාලාය. 'කිව්වා' ඈ ඇඟිලි විකමින් පැවසුවාය. 'මොකද පොලීසිය කිව්වේ' මානවී ඇසුවේ ඇයට උදව්වක් දිය හැකිදැයි සොයන්නටය. පොලිස් නිලධාරීන් අතර ද ඇගේ රසිකයන් සිටිති. වරක් වැරදි ආකාරයෙන් වංගුවක් ගත් මානවීගේ මෝටර් රථය පොලිස් නිලධාරියකු පාරට පැන නතර කළේය. 'ආනේ! මේ මානවීනේ' පොලිස් නිලධාරියා කෑගෑවේය. පළමුව ඇගේ වැරැද්ද පහදා දුන්නේය. අනතුරුව අලුත් ටෙලි නාට්‍ය ගැන ඇසුවේය. ගෙදර අඹුව ද, දරුවා ද ඇගේ ටෙලි නාට්‍ය රසිකයන් බව ඔහු හෙළි කළේය. එබැවින් දඩයක් නොගසා සිනාසී අවවාදයක් දී පිටත් කළේය. එබැවින් මානවී නිළි සහෝදරියගේ දුක විමසා සිටියාය. 'අනේ ඕ. අයි. සී. කිව්වා මූණ නම් ඔයාගේ බව ඇත්ත. ඇඟ කොහොමද ඔයාගෙ නෙමේ කියලා මම දන්නේ කියලා' මානවීට එබසට සිනා ගියාය. නලීන්ගේ කතාබහ මානවීට ඇති කළේ කුතුහලයකි. ඈ උන් තැනින් නැගිට පසෙකට ගියාය. ස්මාට් දුරකතනයේ නැත්තේ මොනවාද? ඇය තම නම ගසා ටයිප් ගසා අන්තර් ජාලයේ සැරිසැරුවාය. මානවී නම හරිය. තවත් ඈතට ඇය සැරිසැරුවාය. ඇයගේ ඇඟ සීතල වෙමින් පැවතිණ. කොහේ හෝ තැනක දෙපා රඳවන්නට ඇයට වුවමනා විය. නැතිනම් ඇය දණ ගසනු ඇත. එහි වූයේ වීඩියෝ ක්ලිප් එකකි. ඇඳුම් උනාලු මානවී නාන කාමරයෙන් එළියට ආවාය. ඇගේ හැඩ රුව පෙන්නා ඇය යළි සැඟව යයි. එකෝමත් එක දවසක ආදරයේ නාමයෙන් ඇඳි වත උනාලුයේ ලොව පුරා විදාලන්නට නොවේ. එහි තිබුණේ පරම පවිත්‍ර ප්‍රේමයේ විශ්වාසයයි. ඒ විශ්වාසයට දොරගුළු තිබිණ. සභා ගැබේ සිටි කාටවත් නොදන්වා ආපසු එළියට පැමිණි මානවී උන් තැනින් පලා යන්නට සැරසුණි. ඇගේ දෙතොල් සෙලවිණ. එළියේ සිට එන සුජිත් ඈ ඉදිරිපිටය. දිනක් ජීවිතය විශ්වාස කොට සියල්ල මුදා හළ මිනිසා ඈ ඉදිරියේ සිටියි. කිසිත් නොදන්නා සේ සිනාසෙන්නට තැත් කරයි. ඈ ඔහුගේ අතින් ගෙන ගොඩනැඟිල්ලේ පාළු ඉසව්වකට ගෙන ගියාය. එම ඉසව්වේ ඔහු තැනුවේ ඇගේ දෙතොල සිප ගන්නටය. එහෙත් ඈ ඔහුගේ කම්මුලට ගැසුවාය. ඔහුට තෝරා බේරා ගන්නට කිසිත් නොහැකිය. එහෙත් කොතැනක හෝ වැරැද්දක් ඇත. 'මොකක්ද වෙලා තියෙන්නේ' ඈ ඉකි බින්දාය. මානවී අතැති දුරකතනයේ වෙබ් අඩවිය පිරික්සූ සුජිත් සිය හිස අත ගසා ගත්තේය. 'මං මේ ගැන මුකුත් දන්නේ නෑ මානවී. මම කවදාවත් කබල් වැඩ කරන මිනිහෙක් නෙවේ' මානවීගේ දුරකතනය නාද විය. ඒ වීරප්පෙරුමගෙනි. ඇය එය විසන්ධි කළාය. යළිත් නාද විය. සුජිත් දුරකතනය ඇමතුවේය. 'මානවී' 'ඉන්නවා සර්' හඬ හඳුනා ගත් සුජිත් පැවසුවේය. අනතුරුව ඔහු දුරකතනය ඇයට දුන්නේය. කොරිඩෝවේ ඈතට ගිය සුජිත් මානවී දුරකතනයට අමතනු බලා සිටියේය. 'ඔයා දැන් මාව හම්බ වෙන්න එන්න ඕනෑ' 'මං ඉන්නේ අලුත් මුහුරත් එකක' 'මං දන්නවා ඒක. දැන් ඕක ඉවර වුණාම එතැනින් එන්න. නිරන්ජන් කියයි කොහෙද කියලා' වීරප්පෙරුම කෙඳුරුවේය. 'ඔය පට්ට නාකියත් එක්ක ඔයාට තියෙන ගනුදෙනුව මොකක්ද?' කොරිඩෝව දිගේ තනිවම යන මානවී පසු පස දිව ආ සුජිත් ඇගේ ගමන අසුරාලමින් ඇසුවේය. 'වෙන මුකුත් නෑ. ඔයත් එක්ක තිබිච්ච ගනුදෙනුවම තමයි' සුජිත් හිස බිත්තියේ ගසා ගෙන ඔහු එයට වාරු විය.
ලබන සතියේ
|