|
මල්සරාට ප්‍රේම ලෝකේ මාළිගා තැනූ සොයිසා මාස්ටර්
(ප්‍රවීණ ගීත රචක, සිනමා පුවත්පත් ලේඛක, චිත්‍රපට කතා හා දෙබස් රචක චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු වූ ඒ. ජේ. ද සොයිසා මිය ගොස් අද (2 වැනිදාට) වසර 32 ක් පිරීම නිමිත්තෙන් ඔහුට උපහාර වශයෙනි) ඒ. ජේ. ද සොයිසා හෙවත් සොයිසා මාස්ටර් යනු කවුරුන්දැයි වත්මන් පරපුර නොදන්නා මුත් ඔහුගේ පෑන් තුඩෙන් ලියැවි රස ගැන්වුණු මධුර ගී එදා මෙන් අද ද එකසේ ජනප්‍රියත්වයේ නොනැසී පැවතීම කිසිසේත්ම ඔහුව අමතක නොවන කරුණක්ව පවතී. 'තරු පායන ආකාසේ, - රුක්මණී දේවී, මොහිිදින් බෙග් (අයිරාංගනී 1954), 'රාණී එන්කෝ නැගී මපෙම්' - රුක්මණී දේවි, මොහිදින් බෙග් (අයිරාංගනී 1954), 'පෙම් සිහින ලෝකේ මායා' - රක්මණී දේවි, මොහිදින් බෙග් (මතභේදය 1955), 'පෙම් මල් මාලා නෙළා ගොතාලා' - රුක්මණී දේවි, මොහිදින් බෙග් (මතභේදය 1955), 'ආදර පාන සුදා' - 'දෙවියන් කෝ සමන් දෙවියන්' - රුක්මණී දේවි (මතභේදය 1955), 'මල් සරාට ප්‍රේම ලෝකෙ' - සුජාතා පෙරේරා (සත පනහ 1965), 'සුරතලියේ සුකුමලියේ' මොහිදින් බෙග්, ෂර්ලි බ්ලයිත් (දෛව විපාකය 1956), 'සාගර හිමිය සොයා' මොහිදින් බෙග්, මේබල් බ්ලයිත් (දෛව විපාකය 1956), 'සුදෝ සුදු රන්' මොහිදින් බෙග් (දෛව විපාකය 1956) ආදී මධුර ගී ඔහු ලියූ චිත්‍රපට ගීත අතරෙන් කිහිපයක් පමණි. වැලිතොට අගම්පොඩි සාරොන් ද සොයිසාණන්ගේ පීතෘත්වයෙන් සහ පානදුර පින්වත්තේ ගී කියනගේ ජෙයිසනෝනා ද සිල්වා මැතිනියගේ මාතෘත්වයෙන් 1915 අප්‍රේල් මස 22 දින බලපිටිය වැලිතර බෙලිගහවත්ත පෞරාණික නිවසේදී ඔහු උපත ලැබුවේ දරුවන් 8 දෙනකුගෙන් යුත් පවුලක කුලුඳුල් නිවුන් දරු උපතේ වැඩිමහල් දරුවා ලෙසය. ඔහුගේ නාමය ලෙස උප්පැන්නයේ සඳහන් වූයේ අගම්පොඩි ජුලියට් ද සොයිසා යනුවෙනි. බටහිරෙන් හැමූ සාගරයේ මධුර ස්වරයත්, නැගෙනහිර මාදු ගං කොමලියගෙන් වහනය වූ මෘදු ගී මදනලත් සම්මිශ්‍රණය වූ සොඳුරු පරිසරයක සහෝදර සහෝදරයින් සත් දෙනෙකු ඇසුරේ ළමා විය ගෙවු ඔහු අකුරු කෙරුමට 1921 ජූලි මස 31 වන දින වැලිතර අග්‍ර පිරිමි පාඨමාලාවේ බාලාංශය වෙත අංක 1407 යටතේ ඇතුළත් විය. අධ්‍යාපනයේ මුල් අවදිය උසස් ලෙස සමත්වීමෙන් අනතුරුව 1931 දී එම පාසලෙන් ඉවත්ව බලපිටියේ සිද්ධාර්ථ පාසලට ඇතුළුව 1938 සැප්තැම්බර් මස 30 වන දින දක්වා එහිම සිප්නැණ හැදෑරූවේය. පාසල් අවදියේ පටන් ලලිත කලා රසිකයෙකු වූ ඔහු රූකඩ, නාඩගම්, බලිතොවිල්, පිරිත් පිංකම්, මල්වට්ටි වෙන්දේසි යනාදිය ඇති තැන් සොයා ගොස් කලා රසයෙන් සිත සතපා ගත්තේය. කැරොල් කරත්ත පසුපස යමින් බැති ගී ගැයූ ඔහු වරෙක බැති ගී රචනා කළේය. කවි මඩුවලින් ඇසෙනා මධුර හිටිවන කවියෙන් වශී වූ ඔහු කවි ලියන්නට ද පෙලඹුණේය. පසු කලෙක දස්කොන් චිත්‍රපටය නිර්මාණය කළ උපාලි වනසිංහ හා ප්‍රවීණ ගීත රචකයෙකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න ඔහුගේ පාසල් සගයන්ය. ඔහුගේ පළමු රැකියාව වූයේ මරදාන ඩීන්ස් හෝටලේ කළමණාකාරත්වයට පත්වීමයි. කලාවෙන් උන්මාදව සිටි ඔහු දෙසවනට ඇසෙනා හින්දි ගී වලට සිංහල වදන් යෙදීමට නිදහසක් ලද සෑම අවස්ථාවකදීම කටයුතු කළේය. එය ඔහුගේ ගී නිර්මාණයේ ආරම්භයයි. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නායක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ අයිරාංගනී නාට්‍යය චිත්‍රපටයක් කිරීමට යන කරුණ කනවැකුණු අප කතා නායකයා එම චිත්‍රපට කතා පිටපත කියවීම අවස්ථාවක් උදා කර ගනිමින් එයට අදාළව ගීතයක් ද පබදා එය ද රැගෙන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් හමුවට යන්නේ ගැහෙන හදින් යුතුවය. එය දෙතුන් වරක් කියවා බැලූ ජයමාන්නයන් 'සොයිසා මේක හොදටම හොඳයි, චිත්‍රපටයේ ඉතිරි සින්දුත් තමුසෙම හදනවා' යැයි කීවේය. ඒ අනුව ඔහු ලිවූ මුල්ම ගීතය වූයේ මොහිදින් බෙග් සමඟ රුක්මණී දේවිය ගායනා කළ 'තරු පායන ආකාසේ ගීතයයි'. එය ද ඇතුළුව අයිරාංගනී චිත්‍රපටය සඳහා ගීත 10 ක් ඔහු විසින් නිර්මාණය කරන ලදී. එතැන් පටන් මිනර්වා චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ සියලුම චිත්‍රපටවල ගීත පමණක් නොව, දෙබස් හා තිරකතා රචනා කිරිමට ද ඔහුට අවස්ථාව හිමි විය. 'මතභේදය' 1955 - ගීත 10 යි, 'දෛව විපාකය' 1956 - ගීත 9 යි. චිත්‍රපටයක් සඳහා ඇතුළත් වූ දිගම ගීතය ඇතුළත් වූයේ ද දෛව විපාකය චිත්‍රපටය වෙනුවෙනි. ඒ මේබල් බ්ලයිත් විසින් ගායනා කරන ලද 'සරාගොයියා හරි මිනිහා' ගීතයයි. 'වනලිය' 1958 - ගීත 10 යි, 'හදිසි විවාහය' 1959 - ගීත 10 යි, ජයමාන්නයන්ගේ චිත්‍රපට හැරුණු කොට 'මංගයර් තිලකම්' දමිළ චිත්‍රපටයේ කතාව අනුව එම්. එස්. ආනන්දන් අධ්‍යක්ෂණය කළ 1964 දී තිරගත වූ 'සිතක මහිම' චිත්‍රපටයට ඇතුළත් වූ එච්. ආර්. ජෝතිපාල, සුජාතා පෙරේරා සමඟ ගැයූ 'නිල්වලා පෙත්තේ' සහ එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ 'හිතේ දුකක් නැති මිනිහා' යන ගීතයන් ද මොහුගේ රචනයන් අතර විය. මෙම චිත්‍රපටයේ දෙබස් රචකයා ද ඔහුම විය. ඔහු ලියූ ගීත 'ජීවිත පූජාව', 'මංගලිකා', 'රහස් දූපත', 'ඇතුල්වීම තහනම්', 'ප්‍රවේසම්වන්න', 'සල්ලි මල්ලි සල්ලි', 'සිහිනය', 'ලන්ඩන් හාමු' යන චිත්‍රපට සඳහා ඇතුළත් විය. එසේම දෙබස් රචකයකු ලෙස 'සිහිනය', 'වෙන ස්වර්ගයක් කුමටද', 'හෙට ප්‍රමාද වැඩියි' (කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සමඟ), 'දරුවා කගේද', 'සත පනහ', 'ස්විප් ටිකට්', 'ඇතුල්වීම තහනම්', 'ලන්ඩන් හාමු' සහ 'දෙහදක දුක' යන චිත්‍රපට ප්‍රධාන වේ. 'ජීවන ගීතය', 'සැනසුම', 'හදවත් නැත්තෝ' යන චිත්‍රපටයන් හි කතා රචනය ද, 'සිතක මහිම' හා 'දරුවා කගේද' යන චිත්‍රපටයන් හි සහය අධ්‍යක්ෂකවරය වූයේ ද ඔහුය. ඩී. බී. ධනපාල මහතාගේ ආරාධනයෙන් 'දවස', 'රවිරැස', 'සවස' සහ 'විසිතුර' යන පුවත්පත්වලට සම්බන්ධව සිනමා පුවත් හා විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ අවසන් චිත්‍රපට ප්‍රවෘත්තිය වූයේ 1984 මැයි මස තිරගත වූ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ 'හිත හොඳ කොල්ලෙක්' චිත්‍රපටය වෙනුවෙනි. සොයිසා මාස්ටර් දවස නිවසට පැමිණි අවසන් දවස වූයේ 1984 ජූනි මස 01 වන දිනයි. එස්. එස්. වේදා, ආර්. ඒ. චන්ද්‍රසේන, ආර්. මුත්තුසාමි, පී. එල්. ඒ. සෝමපාල, පී. එස්. දිවාකර, පාණ්ඩුරංගන්, බී. එස්. පෙරේරා, මොහාමඩ් සාලි, නෙවිල් ප්‍රනාන්දු යන දේශීිය විදේශීය සංගීතවේදීන් සමඟ චිත්‍රපට සඳහා නිර්මාණ දායාද කළ ඔහු, ගුවන් විදුලිය සඳහා ද ගීත රැසක් ප්‍රබන්ධනය කළේය. 1956 වසරේදී ගම්පහ සෝමාවතී මහත්මිය සමඟ විවාහ වූ ඔවුනට පුතුන් තිදෙනෙකු හා එක දියණියක වූවාය. 1984 ජූනි මස 02 දින ඔහු මිය යන විට 69 වන වියෙහි පසු විය. ජූනි 06 වන දින මහරගම නිවසේදී බොහෝ දෙනකු ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක් වූ අතර ඔහුගේ අන්තිම කැමැත්ත පරිදි සිරුර වෛද්‍ය විද්‍යාලයට භාර කෙරිණ. |