|
|
‘ඇත්තේ’ ඇත්ත අත්දැකීම්
'ඇත්ත' පුවත්පතට උප කතුවරයකු ලෙස බැඳුණු ගුණසිරි ටික කලකට පසු එහි සිනමා පිටු සංස්කාරකවරයා පමණක් නොව නිල සිනමා විචාරකයා බවට ද පත් වූයේය. ඒත් ඔහු කිසිදා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු නොවූයේය. 'ඇත්ත' කර්තෘ බී. ඒ. සිරිවර්ධන ද එහි කාටුන් ශිල්පී ජෙෆ්රි යුනුස් ද කොමියුනිස්ට් පක්ෂ සාමාජියන් නොවූ බව මම අසා ඇත්තෙමි. කොමියුනිිස්ට් පක්ෂය අපේ රටේ කරන විප්ලවයක් නැති බව ගුණසිරි හොඳ හැටි දැන සිටියේය. ඒ නිසා ඔහු නිතරම මහත් උපහාසයෙන් යුතුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කියා සිටියේ 'සෙනසුරදා'ට විතරක් විප්ලවය දාගන්න එපාය කියයි. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ එදිනට තමන්ට සතියේ අඳුම් ටික සෝදා වේලා ගන්ට තිබෙනවා කියාය. 'ඇත්ත' කර්තෘ පුටුවේ සිරිවර්ධන මහත්තයා වාඩි වී සිටි ආකාරය අදටත් මට මැවී පෙනේ. දිනක් මා ගුණසිරි හමුවන්ට 'ඇත්ත'ට ගිය විට ඒ කර්තෘ පුටුවේ වෙන කෙනෙක් වාඩි වී සිටියේය. කවුදැයි මා ගුණේගෙන් විමසද්දී ඔහු කියා සිටියේ සරත් මුත්තෙට්ටුවේගම කියාය. ඔවුන් දෙදෙනාට ද අමතරව කර්තෘ පුටුවේ වාඩි වී සිටිනු මා දුටුවේ ඩිව් ගුණසේකර පමණි. විචාරයේදී ගුණසිරි හංවඩු ගැසුණේ මාක්ස්වාදී සිනමා විචාරකයකු ලෙසය. වාමාංශික නැඹුරුවකින් යුතු සිනමා විචාරයක් ආරම්භ වූයේ එකල්හිය. 'මාවත' සඟරාවේ පියල් සෝමරත්න හා කුමුදු කුසුම් කුමාර 'කම්කරු මාවත' පත්‍රයේ මහාචාර්ය සුචරිත ගම්ලත් හා ආචාර්ය පියසීලී විජේගුනසිංහ (මානෙල් හපුගල යන අන්වර්ථ නාමයෙන්) 'ඉරිදා ඔබ්සවර්' පුවත්පතේ අජිත් සමරනායක මාක්ස්වාදී විචාරකයන් සේ කැපී පෙනුණාහ.
ඉතාම දක්ෂ පුවත්පත් කලාවේදීහු රැසක් එකල්හි 'ඇත්තේ' සිටියහ. සුරත් අම්බලන්ගොඩ , සිරිලාල් කොඩිකාර, සුනිල් සී. ද සිල්වා, බෙනට් රූපසිංහ, කුලසිරි රාජපක්ෂ, ආරියරත්න ගනේගොඩ මතකයට නැඟෙන නම් කීපයකි. මේ බොහෝ දෙනකු දිනපතා හවසට බොරැල්ල 'ඩියුරෝ' බාර් එකේ ඔලිවර් අයියාගේ කාමරයේ හමුවීම සම්ප්‍රදායකි. මේ 'ඇත්තන්ට' පිටින් තවත් කීප දෙනෙක් එක් වූහ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රාජා ධර්මපාල, කරුණාරත්න අමරසිංහ ඉන් තිදෙනෙකි. ඔවුන් ගුවන් විදුලි වැඩ සටහන්වලට සම්බන්ධවීමෙන් උපයා ගත් මුදල් ඔවුන් කැප කරන්නේ ඩියුරෝ බාර් එකටය. එකල සමකාලීන දේශපාලනය, සාහිත්‍ය කලා යනාදිය ගැන ගැඹුරුම සංවාද සිදු කෙරුණේ ඔලිවර් අයියාගේ කාමරේදීය. කිසිවකු ඒවා පටිගත කර ලේඛනගත කළේ නම් පශ්චාත් උපාධි ගැනීමට විදෙස් රටවලට යාමට වුවමනා නැත. පර්යේෂණ නිබන්ධනවලට ඒ අදහස් පමණක් වුව සෑහෙන බැවිනි. 'ඇත්තේ' ඇත්තන්ගෙන් මා වඩාත් ළංව ආශ්‍රය කළේ ලාල් මහත්තයාවය (සිරිලාල් කොඩිකාර). ඔහු දිනක් ඔල්වර් අයියාගේ කාමරයේ සිට බොරැල්ල බස් නැවතුම්වළට එන අතරවාරයේ උපදෙස් තුනක් දුන්නේය. ඒ මෙපරිදිය. (1) කිසිදු දිනක පත්තර කලාවට ඇට්ටකුණා වෙන්න එපා (2) කිසියම් පොතක පෙරවදනින් තමාට ස්තූතිය පළකර ඇත්නම් ඒ පොත ගැන විචාරයක් ලියන්න එපා (3) කිසිදාක මියගිය පුද්ගලයන් විවේචනය කරන්න එපා. මෙයින් තුන්වැනි උපදෙසට හේතුව කුමක්දැයි මම ලාල් මහත්තයාගෙන් ඇසීමි. ඔහු කීවේ 'මළගිය ඇත්තන්ට' පිළිතුරු දිය නොහැකි බවයි. ගුණසිරිත් මාත් 'ඔලිවර් අයියාගේ' කාමරයට නොගියේ එහෙමත් දවසකය. විශේෂයෙන් චිත්‍රපටයක පූර්ව දැක්මක් තිබුණු දවසකය. චිිත්‍රපටවල ප්‍රචාරක කටයුතු කළ ආරියරත්න කහවිට ගුණසිරි කැටුව යන්ට 'ඇත්ත'ට එයි. මා ගුණේගේ චඞ ගෝලයා බැවින් මම ද ඔවුන් සමඟ වාහනයට නඟිමි. චිත්‍රපටය නැරඹීමෙන් පසු දැවැන්ත මට්ටමේ සංග්‍රහයකි. විස්කි ඕනෑ අයට විස්කිය, ගල් අරක්කු ඕනෑ අයට ගල් අරක්කුය. කහවිට අතදිග හැර වියදම් කරයි. සල්ලි ඔහුගේ නොව නිෂ්පාදකවරයාගේය. මා අර්නස්ට් වඩුගේ, කුමාරදාස වාගිස්ට, මෙරිල් පෙරේරා, බී. සී. පෙරේරා, සුනිල් හොරේෂස් වැනි ජ්‍යෙෂ්ඨ සිනමා පුවත්පත් කලාවේදීන් පළමුවරට දැන හඳුනා ගත්තේ මේ 'ප්‍රෙස්' පාටිවලදීය. ගුණසිරි ඔහුගේ මුල්ම සිනමා පොත (80 සිනමාව) පළ කළේ 'ඇත්ත'ට ලියූ සිනමා විචාර එකතු කරය. එය පළ කිරීමේදී මා ඊට මුදලින් උපකාර කළ බව ගුණසිරි පොතේ පෙරවදනේ කියා ඇත. මුදලින් යැයි කීවාට මා දුන්නේ රුපියල් සීයකි. ඒත් 1981 දී එයත් සැලකිය යුතු මුදලකි. 'පාර දිගේ' හා 'සොල්දාදු උන්නැහේ' යන සිනමාපට දෙක සඳහා අප සංවිධානය කළ සිනමා සම්මන්ත්‍රණ 'සකුරා' කණ්ඩායමේ දායකත්වයෙන් සිදුවූවකි.
ලබන සතියේ
|
|