වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න බලන්න ඇස අරින්න

එන්න බලන්න ඇස අරින්න

ඇගේ ඇස අග පිළිබඳව සිනමාවේදී සුදත් දේවප්‍රිය ලියන සටහනක්

සිනමාව යනු යථාර්ථය නොවේ - එය එක්තරා අයුරකින් ෆැන්ටසියකි - සිහින මායවකි - අනෙක් අතින් හඹා යන කාලය බලෙන් අල්ලා ගැනීමේ ශක්‍යතාවය ඇති වෙහෙසකර ව්‍යායාමයකි' - මෙම කටයුත්ත කිරීමට වෙහෙසෙන සිනමාකරුවා කිසියම් කතාවක් කියමින් අප තුළ රසභාවයන් මතු කරලීමට ඒ සඳහා සිනමාව සතු සකල අලංකාර සිනමා විධි භාවිතා කරනු ලබයි. එහෙත් කතාන්දරය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් සිනමා කෘතියක අගය හෙළි කර ගැනීම රස නිෂ්පත්තියට හේතු වෙයි. රූප රචනය, ආලෝකය, අඳුර, එතුළ සැරිසරන රංග ප්‍රවේග සුසංයීගීව බිහිවන මායාවේ චමත්කාරය තුළ චිත්‍රපටයේ ආත්මය බිහි වෙයි. එවැනි සිනමා කෘතියක් අවබෝධ කර ගැනීමට ප්‍රේක්ෂකයාගේ සිතිවිලි නියෝජනය කරන සමාජ පසුතලය සහ එහි විඥානය සෘජුව බලපානු ලබයි.

අශෝක හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය තිරගත වන්නේ සිනමාවේ පමණක් නොව මෙරට සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතිය ද උඩු යටිකුරු වී තිබෙන මොහොතකය - පවුල - සම්මතය - ලිංගිකත්වය ආගම පමණක් නොව නීතිය - ගරුත්වය - පාර්ලිමේන්තුව - මව, පියා, සහෝදර සහෝදරියන් - පුද්ගල සම්බන්ධතා පවා වල් වැදුණු යුගයකට අප අවතීර්ණ වී සිටිමු. මිනිස්කම, ප්‍රේමය, ආදරය, කරුණාව, දයාව සෙනෙහස, පරෝපකාරය අවසන් වෙමින් පවතී. සමාජය විසින්ම දූෂණය කරන ලද ජාගර සිතින් යුත් මිනිසා මැරෙමින් උපදියි. මැරි මැරී උපදියි. දෝර ගලන අසහනයෙන් පෙලෙන කුටුම්බය පුපුරා යමින් පවතී. සිහින මිය යමින් ඇත. හඳගම අපට ඇහැරෙන්න යැයි පවසන්නේ එවන් සමාජ පසුතලයක් තුළය. ඇගේ ඇස අග අපට තවත් වැදගත් වන්නේ ද එබැවිනි.

ඇගේ ඇස අග චිත්‍රපටයේ දිග හැරෙන චරිත සිව් වැදෑරුම්ය. ඒ වියපත් මහාචාර්යවරයා, ඔහුගේ බිරිය, සිය දියණිය හා චිත්‍රපටයේ රැඩිකල්වාදිනිය වන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවයි. මෙම සිව් චරිත එකිනෙක සංඝටනය කරමින් සම්මත කුටුම්බ ජීවිතයේ සිීමා මායිම් කුඩුපට්ටම් කරමින් හඳගම අපට පසක් කරන්නේ මිනිස් සිතේ පවතින සදාකාලික අරගලයේ නිරූපණයයි. චිත්‍රපටයේ නිරූපිත රූප සමුදායේ පවතින යටිපෙළ කියාපාන අරුත මෙරට නව විචාර කලාවකට දොරටුවක් සපයා ඇති බව මා කිව යුතුය. එය හඳගමගේ සියලු නිර්මාණවල ගැබ් වී තිබූ බව මට මතකය. හඳගම පෙර පරිදි තම නිර්මාණය තුළ චරිත සමඟ හැඟුම්බර වන්නට අපට ඉඩ නොදෙයි. හුදු කතා කලාවෙන් ඔබ්බට යන ඔහු එම චරිත ඇසුරින්ම තමා කවුදැයි අපෙන් අසයි. එය දේශපාලනිකය. අප බුද්ධිය සමඟ සටන් කරමින් මෙම චරිත පිහිටුවා ඇති සමාජ පසුබිම තේරුම් ගත යුතුය. එය සැබැවින්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නකි.

එක වහලය යට බිත්තියෙන් එහා මෙහා සිරවුණු චරිත තම ආධ්‍යාත්මයේ ඇති කුණු කන්දල් වමාරන්නට පටන් ගනිති. මහාචාර්යවරයා, බිරිඳ, රැඩිකල් සිසුවිය, දියණිය අපට පොදු චරිත ලෙස දැනෙන්නේ එහිදීය. එම චරිත ඇසුරින් හඳගම අපව ගෙනි යන්නේ චිත්‍රපටයේ යටිපෙළ තුළ සැඟව ඇති ජාගර සමාජ විඥානය හරහාය. මේ සිසුවිය කවුරුන්ද, ඇය නියෝජනය කරන සමාජ පසුතලය කුමක්ද - මහාචාර්යවරයා හා බිරිඳ එමෙන්ම එම දියණිය කවුරුන්දැයි ඔවුන්ගේ ක්‍රියාදාමයන් තුළින්ම සිතන්නට හඳගම අපට ඉඩහසර ලබාදෙයි.

'මිනිහට කෙල්ලව ගෙනැල්ලා ගෙදරටම දෙන ගෑනු ඉන්නේ කොයි රටේදැයි' සිනමාහලේදී කිසිවකු කියනු මට ඇසුණි.

ඒ අප පුරුදු පුහුණු කළ සම්මත ප්‍රේක්ෂක ආකල්පයයි. එහෙත් හඳගමගේ චිත්‍රය ඉන් එහාට දිවෙන්නකි. ඇගේ ඇස අග හි පිහිටුවා ඇති චරිත යථාර්ථවාදී බවින් ඔබ්බට දිවෙන්නකි. ඒවා සංකේතවාදී බවින් ද පූර්ණය. අනෙක් අතින් හඳගමගේ කැඩපත මෙම චරිත නියෝජනය කරන පාන්තිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැක. තවත් සුවිශේෂී කරුණක් වන්නේ හඳගම සිය නිමැවුම ආගමික සංස්ථාවක් තුළට ද එකතු කර තිබීමයි. ඉන් සිනමාකරු සතු එඩිතරභාවය පෙන්නුම් කළ ද එය මෙරට සුචරිතවාදීන්ට නම් දිරවා ගත නොහැකි වනු ඇත.

චිත්‍රපටයේ දිග හැරෙන මහාචාර්යවරයාගේ කුටුම්බය මානව සබඳතා අතින් පොහොසත් නැත. එය ඒකාකාරීය. විශ්ව විද්‍යාලයේ රාජකාරී කර ගෙදර එන ඇදුරාණන් පිළිගන්නට නිවසේ කිසිවකු ප්‍රතිචාර නොදක්වයි. සියලු ප්‍රතිචාර ද යාන්ත්‍රිකව පවතී. බිරිඳ ආගමානුකූලය. දියණිය සිය ෆැන්ටසියක ජීවත්වන රොබෝවරියකි. නිවසේදී ඇයත් පියාත් හායි කියනු හැර කිසිවක් නොදොඩති. විශ්වවිද්‍යාලීය සිසුවියගේ පුවත දැනගත් වහා ආගමානුකූල බිරිඳ සෙලවෙන්නට පටන් ගනියි. ඇය විටෙක හඬයි. සැමියාට ද පහර දෙයි. ඇය හඬපුදෙන් යැයි ඇදුරාණන් පවසයි. කුටුම්බයේ හිත් අමනාපකම ඇති වූ විට බොහෝ විට සිදු වන්නේ ද එයමය. බිරිඳට අඬන්නට ඉඩ දී අප බලා සිටින්නෙමු. ඒ සම්මතවාදී පුරුෂත්වයේ හැටිය. මහාචාර්ය බිරිඳ ආගම යන සත්තාව තුළ හැසිරෙන්නේ රුකඩයක් විලසිනි.

සිය සැමියා සේවය නිම කොට නිවසට එන සැම විට ඇය බුදුන් වඳිනු අපි දකිමු. එහෙත් ඇගේ මුහුණෙහි බැතිබර බවක් පෙන්නුම් නොකෙරෙයි. එය නිර්මාණකරුවා විසින් සිය වියමන නිවැරදිව ගෙන යාමට කරන ලද්දකි. ඒ හඳගමගේ චින්තනයයි. පටු ආගම්වාදී බව පසෙක දමන හඳගම ආගම යන්න මිනිසා විසින් සිය කෙළි බඩුවක් කරගත් බවක් අපට පසක් කරයි. ආගම යන්න දේශපාලනය විසින් බිලිගත් බවද ගම්‍ය වෙයි.

චිත්‍රපටයේදී මහාචාර්යවරයා ජීවත් වන්නේ ෆැන්ටසියකය. වරෙක තම කාර්යාලයට කඩා පනින සිසුවියට 'ඔය ළමයට ජීවිතයක් තියෙනවා. මට කියලා පවුලක් ඉන්නවා, මේ කරන්නේ භයානක සෙල්ලමක්' යැයි පවසන ඔහුම අනතුරුව ඇගේ තුරුල සොයා බෝඩිමට රිංගා ගනී. ඇගේ සලුපිළි ස්පර්ශ කරමින් අනියත සුවයක වෙළෙයි. ඔහු සැනසුම් සුවෙන් නිදන්නේ ද ඇගේ බෝඩිං යහනේ පමණි. ස්වර්ණා මල්ලවාරච්චි නිරූපිත බිරිඳ ද එසේය. ඇගේ සිතේ ද ප්‍රතිවිරෝධතා මතු වෙයි. වරෙක පන්සල් යාමට තම දියණියට කතා කරන ඇය විටෙක ඇගේ පන්සල් ගමන වළක්වන්නට කටයුතු කරන්නීය. රැඩිකල් සිසුවියට අසැබි වචනයෙන් බැන වදින ඇය අනතුරුව ඇගේ පිටව යාමෙන් පසු කියන්නේ 'ඒ ළමයා ගෙදර ඉන්නකොට මේ ගේ පිරලා' කියායි.

මෙම චරිතවල අභ්‍යන්තරයේ සැඟව ඇති ගුඬ බව යථාර්ථවාදී ලෙසින් බලා නිහඬ වීම වක්කඩේ හකුරු හැංගීමකි. නොඑසේ නම් රබර් බෝලයක් දිය යට සඟවා එය අත්හැර දැන් අප සියල්ල සැඟවුණා අපි නිදහස් යැයි කියන්නාක් වැනිය. එහෙත් සියල්ල අවසන් නොවේ - කුහක සාධුවතින් පව් වසාගත් තුසීතයක ජීවත් වෙනවා යැයි අපි උදම් ගී ගායනා කළ ද අප හෘද සාක්ෂිය අපට වද දෙන්නට පටන් ගනියි. චිත්‍රපටය අප විඥානයට කතා කොට ඇඟිලි දිගු කරන්නේ ඔබ මෙතන සිටිනවාදැයි අසමිනි.

එසේම හඳගමගේ ඇගේ ඇස අග පාත්‍ර වර්ගයා සිය එකිනෙකාගෙන් කිසිවක් අයැද සිටිනු ද අපට පෙනෙයි. ඒ තමාගෙන් බැහැරව යන සිය ජීවිතය නැවත දෙන්න යැයි අනෙකාට කරනු ලබන ආයාචනයයි.

රැඩිකල් සිසුවිය තම ජිවිතයෙන් නොලද ආදර රැකවරණය මහාචාර්යවරයාගෙන් ඉල්ලා සිටියි. ඇය එය බලෙන් හෝ ලබා ගනියි. ඇගේ වගතුග අප නොදනිමු - එහෙත් ඇගේ ඉතිහාස කතා ජාතකය අපට ඉඟි කරන්නේ ඇගේම වදනකිනි.

'ඉස්සර මං නාලා එනකොට ගමේ ගෑනු තමන්ගේ මිනිස්සු විතරක් නෙවි බල්ලොත් ගෙට ගන්නවා'

ඒ අනුව ඇය මුලසිටම සමාජය විසින් තල්ලු කොට ප්‍රතික්ෂේප කරන ලද බව පෙනේ. ඇය දැන් සොයන්නේ ඇයට අහිමි වූ ආදරයයි. මහාචාර්යවරයාගේ බිරිඳ ද විවාහය තුළ කුරුසපත් කර ඇත. ඇය විඩාබරව සිටියි. සිය කුටුම්බයට රැඩිකල් සිසුවියගේ චණ්ඩාදරය ගලා එන්නටත් පෙර සිට අප ඇයව දකින්නේ ප්‍රේමයෙන් විනිර්මුක්තවය. ඇය ද තමාට අහිමි වූ ඉම සොයමින් සිටියි. මහාචාර්යවරයා ද ක්‍රියා කරන්නේ එම සත්තාව තුළය. බිරිඳට ලිංගික වාරණය දමන ඔහු සිය මනෝරාජිනියගේ තුරුලේ සැරිසරයි.

විශ්ව විද්‍යාල ඇදුරාණන්ගේ නිවස තුළ මෙම සිව් චරිත එකිනෙක ඝට්ටනය වීම නිසා උපදින නාටකීය ස්වරයේ නිම්නද සත්‍යව අවබෝධ කර ගැනීමට නම් අප ද ඇහැරිය යුතුය. සීමිත චරිත සීමිත කාලයක තබා හීයක් සේ ඇදී යන සෘජු වෘතාන්තයක් නොමැති ඇගේ ඇස අග අපට සිහි ගන්වන්නේ සිනමාවේද නාට්‍ය කලාවේද අංගෝපාංග ඉතා ශූර ලෙස භාවිත කළ අනගි සිතුවමකි. මෙහිදී වැදගත් වන්නේ එය නාටකීය ද සිනමාත්මක ද යන්නට වඩා ඉන් අප විඳින බුද්ධිමය චමත්කාරයයි. එය යථාර්ථය වන පවතින සහ පැවැති දේ පසුකර ඉදිරියට ඇදෙයි. යථාර්ථය යනු සත්‍යයම නොවන බව අපට පසක් කරවයි.

සියලු නළු රංගනයන් එකතු කරමින් ඇගේ ඇස අගින් මතුවන අපූර්ව රංග ප්‍රතිභාවයන් ද අපට අමතක කළ නොහැකි වෙයි. නවක නිළියක ලෙසින් රඟන රිතිකා කොඩිතුවක්කුගේ රංගනය මෙහෙයවා ඇති ආකාරය සැබැවින්ම මෙරට සිනමාව හදාරන නව ඇත්තන්ට කදිම පාසලකි. රාමුව තුළ පිරිපුන් රංගධරයන් සමඟ හැපෙමින් ඇය මවන රංග ලීලාව හඳගමගේ අද්විතීය නිමැවුම් ප්‍රතිභාවට කදිම නිදසුන්ය. එසේම නවක නිළි රිතිකාගේ රූපණය වත්මන් මාලා නාටක මඩ ගොහුරේ පිපෙන්නට පෙරුම් පුරන නිළි දැරියන්ට කදිම පාඩමක් බව මා පවසන්නේ නිහතමානිවමය.

රංගනය අලළා සටහනක් ලියූ ස්ටැනිස්ලවිස්කි වරක් ප්‍රකාශ කළේ 'නිර්මාණකරුවා විසින් ලියන ලද පෙළට යටින් ඇති යටි පෙළ තේරුම් ගෙන නළුවකු තම රංග කාර්යය ඉටු කළ යුතු බවයි. ප්‍රේක්ෂකයකු නැරඹීමට එන්නේ නළුවකු කියවන දේ ඇසීමට නොවන බව නළුවා දැනගත යුතු බවයි'.

මහාචාර්යවරයාගේ චරිතයට පණ පොවන ඉන්දීය නළු දිත්‍රිමත් චැටර්ජි මෙම ප්‍රකාශය හොඳින් තේරුම් ගත් රංගධරයකු බව අපට පසක් වෙයි. ස්වර්ණා මල්ලවාරච්චි යනු තවමත් අප සිනමාවේ විශිෂ්ටතම රංගවේදිනිය බව අප නැවතත් අවබෝධ කර ගන්නෙමු. ගොර බිරුම් හඬින් දෙසවන බිහිරි කරවන ආවේශයන් නිරූපණයේදී ස්වර්ණා ප්‍රකාශිත අව නිරූපණයන් (අන්ඩ ප්ලේ) අපට කිසිදා අමතක නොවනු ඇත.

හඳගමගේ ඇගේ ඇස අග චිත්‍රපටය තුළින් මතුවන මෙම රංග ප්‍රතිභාවයන් හා බැඳුණු සිනමා ආත්මය මෙතෙක් අප සිනමාවේ නිරූපිත ශ්‍රව්‍ය දෘශ්‍ය චින්තාවලිය පුපුරුවා හරනු ලබයි. හඳගම අපට හඬ ගසන්නේ එන්න, ලෝකය දෙස හොඳින් බලන්න. එහි ඇති කුරිරු අවලම් බව ඔබට වැටහේවි. ඉතින් ඔබ ඇහැරෙන්න' යනුවෙනි.

ඉතින් ඇහැරෙන්න දැනටමත් කාලය එළඹී ඇත.

සිනමාවේ නව මං එළි කරන හඳගම සොයුර ඔබට ප්‍රණාම.