වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවට යළි ආදරය රැගෙන ආදරණීය කතාවක් 10 වැනිදා සිට...

සිංහල සිනමාවට යළි ආදරය රැගෙන

10 වැනිදා සිට...

කඳුලින් බොඳ වූ ප්‍රාර්ථනා, සෙනෙහසේ පූජනීයත්වයෙන් දළුලා වැඩෙන්නේ සැබෑ ආදරයක අරුමය අපට පසක් කර දෙමිනි. ඒ ආදරය විටෙක රුවන් වලාවක් සේ විචිත්‍රවත්ය. තව වරෙක මන්දාරම් අහසක් සේ හැඬුම්බරය. කඳුළත්, සිනහවත් අතර දෝලනය වන යුගයේ ඒ ආදරණීය කතා පුවත අතිශය ආකර්ෂණීය සිනමා සිත්තමක් ලෙසින් තව නොබෝ දිනකින් ප්‍රේක්ෂකයා අභිමුව දිග හැරේ.

මෙයට පෙර දැහැන, විමුක්ති, අරුමෝසම් වැහි වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත රැගෙන ආ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ‘ආදරණීය කතාවක්’ය. ‘ආදරණීය කතාවක්’ නැරඹූ බොහෝ දෙනාගේ මතය ප්‍රියන්ත තැනූ වඩාත්ම ආකර්ෂණීය සහ දැවැන්තම සිනමා නිර්මාණය මෙය බවය. සප්ත ස්වරයේ අසිරියෙන් ඔකඳ වූ ප්‍රේමණීය දෙහදක සැළමුතු සෙනෙහස ‘ආදරණීය කතාවක්’ සිනමාපටයට පාදක වී තිබේ.

වත්මන් පරපුරේ ජනප්‍රියතම රංගන ශිල්පියා වන හේමාල් රණසිංහ මෙහි ප්‍රධාන නළු භූමිකාවට පණ පොවයි. ඒ අභිමාන ජයවර්ධන නමැති කුසලතා සපිරි ජනප්‍රිය ගායන ශිල්පියා ලෙසිනි. ජනප්‍රියත්වයෙන් හිස උදුම්මා නොගත් අභිමාන නිහතමානී ගති පැවතුම්වලින් යුත්, අලුත් පරපුරට නිබඳවම අත හිත දෙන යොවුන් කලාකරුවකු ලෙස ප්‍රකටව සිටියි. එක්තරා ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනක, සුපිරි තරු ගායන ප්‍රසංගයක විනිසුරුවරයෙක් ලෙස සහභාගි වන්නට අභිමාන්ට ඇරැයුම් ලැබේ. මුලින් එය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ඔහු ඊට සහභාගිවන්නට තීරණය කරනුයේ එම වැඩසටහන මෙහෙයවන දෙව්ලිගේ බලවත් පෙරැත්තය නිසාවෙනි. දෙව්ලි කලක් අභිමාන්ගේ පෙම්වතියව සිටි බව ප්‍රේක්ෂකයාට හැඟවෙන්නේ සිනමාපටය අතරතුරය.

දහස් ගණන් තරගකරුවන් අතරින් මෙම රියැලිටි ප්‍රසංගයේ ඉදරියට පියමං කරන පියවි හංසිකාගේ ගායන හැකියාවන් පිළිබඳ අභිමාන තම අදහස් ප්‍රකාශ කරන්නේ අවංක හැඟීමකිනි. ඇය ඉතා දක්ෂ ගායිකාවක් බවත්, ඉදිරි වටයට යාම සඳහා ඇය අනිවාර්යයෙන්ම සුදුසුකම් ලැබිය යුතු බවත් අභිමාන පවසන්නේ තිරසාර ලෙසය. අභිමාන, පියවි පිළිබඳ කළ එකී වර්ණනාව දෙව්ලිගේ සිත් ගත්තේ නැත. එය ඊර්ෂ්‍යාව මත පදනම් වූ සිතිවිල්ලක් බව ඇගේ හැසිරීම් රටාවෙන් ප්‍රේක්ෂකයාට පිළිබිඹු වේ. ඇඳුම් අලෙවි සැළක සේවිකාවක් ලෙස කටයුතු කරන පියවි දුප්පත් ගැමි තරුණියකි. ඇයගේ එකම අරමුණ කෙසේ හෝ එම තරගය ජයග්‍රහණය කර ඉන් ලැබෙන මුදලින් රෝගීව, ඔත්පලව සිටින සිය පියා සුවපත් කර ගැනීමය. ඇගේ එම අවිහිංසක ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වෙනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන්නේ පියවි සැබෑ දක්ෂ ගායිකාවක් නිසාවෙනි. නමුත් කිසිවකු නොසිතූ, නොපැතූ ආකාරයට ඊළඟ වටයේදී ඇයට එම තරගවාලියෙන් ඉවත් වන්නට සිදු වේ. එම සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වෙන පියවිට සිය රැකියාව පවා අහිමි වන්නේ නොසිතූ අයුරිනි.

පියවි වැනි දක්ෂ යුවතියක් තරගයෙන් ඉවත් කිරීම පිළිබඳ අභිමාන පසු වන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඒ පිළිබඳ ඔහු දෙව්ලිගෙන් කරුණු විමසා ඇයට දොස් පවරන්නේ පියවි පිළිබඳ උපන් අනුකම්පා සහගත හැඟීමෙනි. එතැන් පටන් එම රියැලිටි ප්‍රසංගයට සහභාගි වීම ඔහු නවතා දමන්නේ සිතේ හටගත් බලවත් කළකිරීම නිසාය. තමාව අහේතුක ලෙස තරගාවලියෙන් ඉවත් කර දැමුවේ අභිමාන යැයි වරදවා වටහා ගෙන සිටින පියවි පසුවන්නේ ඔහු පිළිබඳ දැඩි කෝපයෙන් යුතුවය.

සියල්ල පිළිබඳ කළකිරී පියවි යළි සිය ගම් පියස වෙත පා නගන්නේ හැඬූ කඳුළින් යුතුවය. කෙසේ හෝ තම පවුලේ බර යළි කරට ගන්නා පියවි එක්තරා අවන්හලක මුළුතැන් ගෙයි සේවිකාවක ලෙස සේවයට බැඳේ. දිනක් පියවි මුළුතැන් ගෙයි සේවය කරමින් සිටින අතරතුරේ අභිමාන එම අවන්හල වෙත පැමිණෙන්නේ සිය කළමනාකරු ලෙස සේවය කරන උවිඳු සමඟිනි. ඒ අහම්බය තුළ එක් නිමේෂයකදී පියවි - අභිමාන යළි මුණ ගැසේ. අභිමානට අවශ්‍යව තිබුණේ පියවිට සිදු වූ අසාධාරණය නිවැරදි කොට ඇය ගායන ලොවේ අභිෂේක කිරීමට තම සහාය ලබා දීමටය. නමුත් තමාට සියල්ල අහිමි කළේ අභිමාන යැයි සිතා සිටින ඇය ඒ සියලු වේදනාවන් පිට කර ගන්නේ අභිමාන වෙත වැරෙන් කම්මුල් පාරක් එල්ල කරමිනි.

එම අපේක්ෂිත සිදුවීමෙන් අභිමාන කම්පනයටත් කෝපයටත් පත් වේ. පුවත්පත්වල පවා එම සිදුවීමට ලබා දෙන්නේ විශාල ප්‍රසිද්ධියකි. අභිමානට ඇති විශාලම ගැටලුව වන්නේ පියවි තමාට එසේ පහර දුන්නේ ඇයි ද යන්න පිළිබඳවය. අභිමාන හා උවිඳු පියවි සොයා ගෙන ඇය වෙසෙන දුෂ්කර ගම්මානය වෙත යන්නේ ඊට පිළිතුරක් සොයමිනි.

ඒ අතර පියවිගේ පියා මිය යයි. එයින් දැඩි සේ දුකට හා කම්පාවට පත්ව සිටින පියවි, තම නිවසට පැමිණි අභිමානට යළි යළිත් දොස් පවරන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය. ඒ සියල්ලටම හේතුව පියවි තුළ තමා පිළිබඳ තිබෙන වැරැදි වැටහීම බව තේරුම් ගන්නට අභිමානට අපහසු වන්නේ නැත. කරුණු පැහැදිලි කිරීමෙන් පසු අභිමාන සහ උවිඳු යළි කොළඹ බලා පිටත්ව යන්නේ පියවිට අභිමානගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි.

ඒ අනුව පියවි, අභිමාන හමු වී සමාව ඇයදිමින් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ අහිමිව ගිය රැකියාව නැවත තමාට ලබා දෙන ලෙසය. එහිදී අභිමාන, පියවිගේ ගායන හැකියාවන් පිළිබඳ ඇයට පැහැදිලි කරමින් තමාගේ ඊළඟ ප්‍රසංගයේ සහාය ගායිකාව ලෙස කටයුතු කරන්නට ඇයට ඇරියුම් කරයි.

ඒ ඇරියුම පියවි පිළිගත්තාද? අභිමානගේත්, පියවිගේත් අනාගත ඉරණම කුමක් වේවිද? දෙව්ලි යළි අභිමානගේ ජීවිතයට එබිකම් කරාවිද?

මේ සියල්ලටම ‘ආදරණීය කතාවක්’ සිනමාපටය තුළින් ඔබට පිළිතුරු ලැබෙනු ඇත. මෙහි පියවිගේ චරිතය උදාරි වර්ණකුලසූරිය හා දෙව්ලිගේ චරිතය අරුණි රාජපක්ෂ විසින් නිරූපණය කරති. උවිඳුගේ චරිතයට පණ පොවන්නේ බිමල් ජයකොඩිය. ඔවුන් සියලු දෙනාගේම විශිෂ්ට රංගන දායකත්වය ‘ආදරණිය කතාවක්’ සාර්ථකත්වයට කදිම රුකුලක් වූ බව නිසැකය.

රීගල් කොළඹ, Majestic Cineplex, Empire Cineplex  ඇතුළු දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාහල්වල මෙම 10 වැනිදා සිට ‘ආදරණිය කතාවක්’ ප්‍රදර්ශනය වේ. සිංහල සිනමාවට ආදරය අවශ්‍යම මොහොතක ප්‍රියන්ත කොළඹගේ ‘ආදරණීය කථාවක්’ මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙත තිළිණ කරන්නේ සැබෑ සෙනෙහසින් යුතුවය.