|
රුක්මණී අනුස්මරණයට නිලධාරි මණ්ඩලයක්
රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ 29 වන වර්ෂය සඳහා නිලධාරි මණ්ඩලය තේරීම පසුගියදා සිදු කෙරිණි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභා නියෝජ්‍ය පුරපති කේසරලාල් ගුණසේකර මහතා ගරු ඔස්වල්ඩ් ජයසිංහ ගෝමිස් හිමිපාණන්ගේ ඉල්ලීම මත මෙවර දෙවන පෙළ නිලධාරීන් තෝරා ගැනීමද විශේෂත්වයක් විය. දෙවන පෙළ සභාපතිත්වයට ඡන්දයෙන් ආරියදාස තන්ත්‍රිගේ පත් කර ගන්නා ලදී. නිර්මාතෘ සභාපති වශයෙන් හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, කත්‍යාධිකාරි සහ ප්‍රධාන ලේකම් සිරිමා ඇනස්ටා මර්සලින්, සභාපති කේ. ඒ. එඩ්වින්, සම සභාපති තන්ත්‍රිගේ, සම සභාපති රාණි චන්ද්‍රිකා, ගණන් පරීක්ෂක ආරියදාස තන්ති්රගේ, උප ලේකම් ධමිත් ජයංග, භාණ්ඩාගාරික ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, උප භාණ්ඩාගාරික පුෂ්පා වික්‍රමසිංහ, ප්‍රධාන සංවිධායක සුසිල් වික්‍රමසූරිය, සහාය සංවිධායක ඩී. ඒ. දේවප්‍රිය, මාධ්‍ය සම්බන්ධිකරණ මංගල පෙරේරා. ඡායාරූප ශිල්පී ආනන්ද සෝමසිරි, නීතිඥ ඩබ්ලිව්. එල්. එස්. ගයානි සහ මාධ්‍යවේදී සේනක ජයතිලක මහත්ම මහත්මීන් එහි අනුශාසකවරුන්ය. පියුමි සිරිවර්ධන, පී. චිත්‍රා, ලීලා ප්‍රනාන්දු, රුක්මණී ප්‍රනාන්දු, අමිතා වික්‍රමසූරිය, මොහමඩ් මොහිදීන්, නිර්මල් කරුණාරත්න, මංගලිකා පෙරේරා. ප්‍රියා කරුණානායක, පද්මිණී නානායක්කාර, එඩ්වඩ් ලියනගේ කාරක සභාවට පත් කෙරිණි.
ලක්ෂ්මන් මල්ලවආරච්චි ජ්‍යෙෂ්ඨ ලේඛක ප්රණාම සම්මානයෙන් උපහාර ලබයි
ප්‍රවීණ නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත දෙබස් හා තිරනාටක රචකයකු මෙන්ම වේදිකා සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු මෙන්ම ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදියකු වන ලක්ෂ්මන් මල්ලවආරච්චි පසුගියදා ජ්‍යෙෂ්ඨ ලේඛක ප්රණාම සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ එස්. ගොඩගේ ප්‍රකාශන සමාගම හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව වාර්ෂිකව පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ ලේඛක සම්ප්රණාම සම්මාන උලෙළේදීය. ඔහු විසින් සිංහල සාහිත්‍ය හා ශ්‍රව්‍ය දෘෂ්‍ය කලා මාධ්‍ය, ග්රන්ථකරණය ඇතුළු ලේඛන ක්ෂේත්‍ර ප්රගමනය උදෙසා ඉටු කළා වූ හා ඉටුකරමින් සිටින්නා වූ අමිල සේවාව වෙනුවෙන් ගෞරවාචාරය දක්වමින් එම සම්මානය පුද කෙරුණු බව හේතු පාඨයේ සඳහන් විය.
කොවුලන්ගේ ගීතය 4 වැනිදා එළි දකී
නිහාල් අමරසේකරගේ කුලුඳුල් ගීත එකතුව 'කොවුලන්ගේ ගීතය' මෙම මස 04 වැනිදා සවස කොළඹ 07 විජේරාම මාවතේ සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. මෙහි ගී පද සුනිල් ආර්. ගමගේ, හේමසිරි හල්පිට, අනුර මාගලගේ සහ නිහාල් අමරසේකරගෙනි. ආචාර්ය රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, කීර්ති පැස්කුවල්, විශාරද සමන්ත ගුණසේකර, අර්නස්ට් සොයිසා සහ අනුර විජේසිංහ තනු නිර්මාණය කොට ඇත. මෙම සංයුක්ත තැටියේ අලෙවියෙන් ලැබෙන මුදලින් දඹුල්ල කන්ඩලම යාය 09 ගමේ අසරණ පවුලකට නව නිවසක් සාදාදීමේ සද්කාර්යයට යෙදවීමට නිහාල් බලාපොරොත්තු වේ.
සිනමාව ගැන කතිකාවතක් අද සවස පදනම් ආයතනයේදී
ඩිජිටල් සිනමා ඇකඩමිය සංවිධානය කළ සිනමා කතිකාවතක් මෙම මස 02 වැනිදා එනම් අද සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි. 'මමෝ විශ්ලේෂණය සායනික චිකිත්සාවක්ද, සිනමාව කියවන මෙවලමක් ද' යන්න තේමාව කර ගනිමින් සමන් වික්‍රමආරච්චි. විදර්ශන කන්නංගර, භූපති නලින් වික්‍රමගේ යන විචාරකයන් කතිකාවත සඳහා එක් වෙති. සුදත් මහදිවුල්වැව මෙම කතිකාවත මෙහෙයවයි. |