|
||
ප්‍රියංකා බොන්ඩ් පෙම්වතියට
‘ක්වෙන්ටිකෝ’ තරුව ප්‍රියංකා චොප්රා දැන් බොලිවුඩයට වඩා ඉන්නේ හොලිවුඩයේ. ‘ක්වෙන්ටිකෝ’ දෙවැනි අදියරේ කතාමාලාව සඳහා දායක වෙමින් සිටින ඇය ‘බේ වොච්’ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයකට දායක වෙනවා. සමහරු නම් කියන්නේ දැන් ඇය බොලිවුඩයෙන් ඉවත් වෙලා කියලයි. ඒවගේම දැන් ඇයට තවත් අලුත් ආසාවක් ඇති වෙලා. ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්නයි. දුෂ්ට චරිතයක් කරන්න තිබූ ආසාව නම් බේ වොච් හි වික්ටොර්යාගේ චරිතයෙන් තමන් ලද බව ප්‍රියංකා පවසනවා. ඒ නිසා දැන් ඇය බොන්ඩ් චිත්‍රපටයකට ආරාධනා ලැබෙන කල් බලා ගෙන ඉන්නේ ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය වෙන්නයි. ප්‍රියංකා දැන් වැඩියෙන් හොලිවුඩය එක්ක ගනුදෙනු කරන නිසා ඇයගේ ගණන් හරි වැඩියිලු. ඒක ප්‍රසිද්ධ වුණේ පසුගිය දවසක ඇය ඉන්දීය රුපියල් කෝටි සියයක ගිවිසුමක් අත්සන් කිරීම සමඟින්. ප්රිංයකා මේ ගිවිසුම අත්සන් කළේ දින හතළිහක් වෙනුවෙන්. හොරට කන මඟුල්
දැන් බොලිවුඩයේ හොර රහසේ විවාහ ගිවිස ගැනීම් වැඩි වෙලා. රාණි මුඛර්ජි, ප්‍රීති සින්ටා වැනි ජනප්‍රිය තරු විවාහ වුණෙත් ලොකු ප්‍රසිද්ධියක් දීලා නෙවෙයි. ඊළඟට මේ විදියට විවාහ වුණේ අම්රිතා රාඕ. ‘මේන් හූන් නා’, ‘ඉෂා විශ්ක්’, ‘ජොලි එල්එල්බී’ වැනි චිත්‍රපටවල අමතක නොවන රංගන ඉදිරිපත් කළ අම්රිතා පසුගියදා විවාහ ගිවිස ගත්තේ, ආර්. ජේ අන්මෝල් සමඟින්. අම්රිතා කියන්නේ කොහොමත් පුද්ගලික ජීවිතයේ පුද්ගලිකත්වය ඉහළින් අගයන නිළියක්. අම්රිතාගෙයි අන්මෝල්ගෙයි ආදර සම්බන්ධයට අවුරුදු හතක් ගත වෙලා. ට්විටර් ගිණුමෙන් තමයි ඇයගේ විවාහය ප්‍රසිද්ධියට පත් වුණේ. අම්රිතා විතරක් නෙවෙයි අසූව දශකයේදී බොලිවුඩයට පැමිණ අනූව දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද උර්මිලා මතොන්ද්කාර්ගේ විවාහයත් මේ විදියට හොර රහසේ සිදු කරලා. ඒ අවස්ථාවටත් බොලිවුඩ් තරු කිසිවෙකුටත් ආරාධනා ලැබී නැහැ. උර්මිලාගේ සැමියා මෝෂින් අක්තාර් ව්‍යාපාරිකයෙක්.
සෝනු නිගම් හිඟා කයි
පසුගිය දවසක මුම්බායිහි ජුහු නගරයේ යාචකයෙක් බොහොම අපූරුවට ගීත ගායනා කරනු නගර වැසියන්ට දකින්න ලැබුණා. යාචකයෙක් වුණත් සංගීත ශිල්පය ඉහළින් හැදෑරු උස්තාද්වරයෙකුගේ ලක්ෂණ ඔහුගෙන් දකින්නට ලැබුණා. මහළු වියේ පසු වූ මේ යාචකයා තම පැරණි සර්පිනාව වයමින් ගායනා කළේ බොලිවුඩයේ ගායන තරුවක වන සෝනු නිගම්ගේ ගීත පමණයි.
වීදි දිගේ එදිනෙදා වැඩකටයුතුවලට යන පුද්ගලයන්ට මේ අපූරු වීදි උස්තාද්වරයා දෙස මඳක් නොබලා යන්න නොහැකි වුණා. නමුත් එක් තරුණයෙකුට ඔහුගේ හඬ අදහා ගත නොහැකි වූ තැන මේ මහළු යාචකයා අසල නැවතුණු ඔහු තමා සතුව තිබූ ඉන්දීය රුපියල් දොළහක් යාචකයා අත තැබුවේ බොහොම ගෞරවයෙන්. මහළු යාචකයා ලද පළමු ආදායම වූයේද එය යි. නගරයේ තැනින් තැනට යමින් ඔහු පැය තුනක් තිස්සේ සෝනු නිගම්ගේ ගීත විසිපහක් පමණ ගායනා කළා. මේ විදියට මහළු යාචක වෙස් ගත්තේ වෙන කවුරුවත් නොවේ සෝනු නිගම්. සෝනු යාචකයෙක් වෙලා තියෙන්නේ, අලුත්තෙන්ම එළිදැක්වූ ‘ක්‍රේසි දිල්’ ගීතය වෙනුවෙන් පූර්ව ප්‍රචාරයක් විදියටයි. සෝනු මහළු යාචක වෙස් අරගෙන මහ මඟ ගීත ගායනා කළ අන්දම ඇතූළත් වීඩියෝව මේ වනවිට මිලියන 3.3කටත් වැඩි පිරිසක් නරඹලා. ඒ විතරක් නෙවෙයි ඔහුට ප්‍රථමයෙන්ම ඉන්දීය රුපියල් දොළහක් දුන් තරුණයා තමන්ගේ ශබ්දාගාරයට කැඳවන්නත් සෝනු අමතක කළේ නැහැ. උණුසුම් ලෙසින් පිළිගත් මේ තරුණයා එහිදී දුටු දෙයින් පුදුමයට පත් වුණා. ඒ සෝනු ඔහුගෙන් ලද රුපියල් දොළහ රාමුකර තිබෙනු දැකීමෙන්.
අමීර් අධ්යක්ෂණයට
දැන් කවුරුත් බලාගෙන ඉන්නේ අමීර් ඛාන්ගේ ‘දන්ගාල්’ චිත්‍රපටය තිරගත වෙනකල්. මල්ලවපොර සූර මහාවීර් සිංගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ඒ වෙනුවෙන් ඔහු ලොකු කැපවීමකුත් කළා. නමුත් බොහොමයක් බොලිවුඩ් නළුවන් අධ්‍යක්ෂණය කෙරෙහිත් උනන්දුවක් තියෙන නිසා අමීර්ටත් එවැනි උනන්දුවක් ඇති දැයි බලන්න ඒ ප්රශ්නය යොමු කළා. තමන් රංගනයේදී අධ්යක්ෂවරුන් තෝරා ගන්නේ යම් සේද කෙදිනක හෝ තමන් අධ්‍යක්ෂණයක් කරන්නේ නම් ඒ උනන්දුවත් එසේම බව අමීර් පවසනවා. නමුත් තමන් විසින් අධ්‍යක්ෂණය කරන්නට නියමිත චිත්‍රපටයක කිසිිදා රංගනයට දායක නොවන බව නම් ඔහු තහවුරු කළා. හැබැයි අමීර් රඟපෑ බොහෝ චිත්‍රපටවල නිළ නොලත් අධ්යක්ෂ අමීර් බව කවුරුත් දන්නා දෙයක්.
තරහ මරහ නැති ‘රැන්ගූන්’
විශාල් භාරද්වාජ් අධ්‍යක්ෂණය කළ ‘රැන්ගූන්’ චිත්‍රපටය ඇතැම් අය සංවේදි කළ තවත් අයට සමරන්න හැකි වගේම ඇතැම් අයගේ නැති වූ මිතුරුදම් ඇති කළ චිත්‍රපටයක්. ඉතිං මේ ‘රැන්ගූන්’ තිරගත වෙන්නේ කවදා ද කියලා හැමෝම විශාල්ගෙන් අහනවා. සයිෆ් අලි ඛාන්, කන්ගනා රනවුත්, ෂහීඩ් කපූර් රඟන ‘රැන්ගූන්’ චිත්‍රපටය ලබන වසරේ පෙබරවාරි 24 වැනිදා තිරගත කරන්න සූදානම් බව විශාල් ප්‍රකාශ කළා. මේ කතාව ඇසූ ගමන් කන්ගනා ගොඩක් සංවේදි වෙලා. ඒ අය රඟ පෑ ‘තනූ වෙඩ්ස් මනූ’ චිත්‍රපටයත් තිරගත වෙලා තියෙන්නේ 2011 වසරේ පෙබරවාරි මාසයේදි නිසා. ඒ විතරක් නෙවෙයි ෂහිඩ්ගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ පෙබරවාරි 25 වැනිදාට. සයිෆ්ටයි විශාල්ටයි මේ චිත්‍රපටය වැදගත් වෙන්නේ මේ දෙදෙනා එක්ව 2006 වසරේදී කළ ‘ඕම්කාරා’ චිත්‍රපටයට පසුව නැවත මුණ ගැසීමයි. ඒ විතරක් නෙවෙයි සයිෆ්ගේ බිරිය කරීනාගේ කලින් පෙම්වතා වුණේ ෂහීඩ්. ‘රැන්ගූන්’ කරන කාලය වෙනකොට සයිෆ් සහ ෂයිඩ් අතර ලොකු විරසකයක් තිබුණා. ‘රැන්ගූන්’ නිසා ඒ විරසකයත් අහවර වුණාලු. විශාල් නම් කියන්නේ ‘රැන්ගූන්’ තමන්ගේ හොඳම නිර්මාණය ලෙසින් හඳුන්වනවාට ලොකු කැමැත්තකින් සිටින බවයි. “ඒක මගේ හදවතට ගොඩක් සමීපයි. මම හිතනවා මේක මගේ හොඳම නිර්මාණය වේවි කියා” ඔහු පවසනවා. |
||