වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මල්ලි සින්දු නම් සින්දු ඩෝලේ නම් ඩෝලේ

මල්ලි සින්දු නම් සින්දු ඩෝලේ නම් ඩෝලේ

වෝල්ටර් ප්‍රනාන්දු

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අතළොස්සක් ශිල්පීන් අතරින් වෝල්ටර් ප්‍රනාන්දුට ද හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රසංග සංවිධායකවරුන්ගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන වෝල්ටර් නාමය බලාපොරොත්තුව සිටින රසවතුන් පිරිසක් දේශීයව මෙන්ම විදේශීයව ද වෝල්ට වටා එක් රොක් වී සිටීම ඔහුට තිබෙන ඉල්ලුම තවත් වැඩි කරන්නට හේතු වී ඇත. එදා සිට අද දක්වාම තම අනන්‍යතාවය එක සේ ප්‍රසංග වේදිකාවේ රැකගනිමින් ජන හදවත් ආදරයෙන් වැළඳගෙන සිටින වෝල්ටර්ට හා කතාබස් කරමු.

* වෝල්ටර් මේ දවස්වල අලුත් තොරතුරු කොහොමද?

අවුරුදු සීසන් එකනෙ, රට වටේම ෂෝ. වෙනදටත් වැඩිය. අපි වගේ ශිල්පීන්ට මේ දවස්වල වැඩත් වැඩියි. ඒ අතරේ අමෙරිකාව, කැනඩාව, එංගලන්තය වගේ විදෙස් රටවල් කිහිපයකම ප්‍රසංග වගයකට ආරාධනා ලැබිලා ඒ සඳහා සූදානම් වීමකුත් සිද්ධ කරනවා.

* කාලෙකින් ඔබේ අලුත් ගීත නිර්මාණයවීමක් සිදු වුණෙත් නෑ නේද?

ඒකට මෙහෙම දෙයක් හේතු වෙනවා. ඉස්සර ගුවන් විදුලිය ගායකයකුට ගී දෙකක් තුනක් අවුරුද්දකට නිර්මාණය කරගන්න අවස්ථාව සලසලා දීලා තිබුණා. වාදක මණ්ඩලය, ස්ටුඩියෝව ඒ සඳහා ලැබුණා. අද වෙන කොට විද්‍යුත් මාධ්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩියි. ගුවන් විදුලිය හා තරඟකාරිත්වයකින් මේ මාධ්‍ය නවීන තාක්ෂණය භාවිත කරනවා. එවන් වූ වටපිටාවක් තුළ තාක්ෂණික වශයෙන් ද ගුවන් විදුලිය පසුවන මන්දගාමී බව තුළ එදා තිබුණ වරප්‍රසාදය අද ගායකයන්ට අඩු වෙලා තියෙනවා.

* මේ තත්ත්වය නිසාමද ගීත ඇල්බමයක් කරන්නවත් ඔබේ උත්සාහයක් නැත්තේ?

අද සින්දු දාසයක සී ඩී එකක් කරන්න අඩුම තරමේ ලක්ෂ දහයක් විතර යනවා. වාදක මණ්ඩලවලට, ස්ටුඩියෝවලට වගේම අනෙකුත් බාහිර කටයුතු සඳහා. මේ වගේ විශාල පිරිවැයක් දරලා වෙළඳපොලට නිර්මාණ දැම්මට පසුවදා හොර සී. ඩී. පේමන්ට් එකේ. අද මේ ව්‍යාජ කැසට් සී. ඩී. කොල්ලය නිසා මම විතරක් නොවෙයි. 70 දශකයේ ගායක ගායිකාවන් කවුරුවත් වගේ අද තමන්ගේ නිර්මාණයක් එළි දක්වන්නේ නෑ. මේ නානාක් ප්‍රකාර වංචනික වැඩ නිසා අපිට අලුත් නිර්මාන කරන්නත් බැහැ. අපේ දුක් මහන්සියට බඩේ පහර ගහලා කූටකමින් සල්ලි ගරන එක අද සමාජ වසංගතයක් වෙලා.

* අද අඩු පිරිවැයකින් සින්දුවක් කළ හැකියිනේ. ගායකයා හැරුණු කොට එක් පුද්ගලයෙක් සමඟ?

මල්ලි සින්දු නම් සින්දු. එහෙම නැතුව ලන්සුව අඩුවෙන් තියලා බාල වැඩ සාර්ථක නැහැ. අද ඕගන් එක තිබුණොත් සින්දු කියන එක කජ්ජක් ද කියල හිතෙයි. ඒත් මල්ලි ඩෝලෙ නම් ඩෝලේ. එහෙම නැතුව ඕගන් එකෙන් ඩෝලෙ ගහල හරි යන්නේ නැහැ. වයලීන් එකෙන් එන ඔර්ජිනල් හඬ ඕගන් එකෙන් කෘත්‍රිමව අරන් වැඩක් නැහැ. ශබ්දය සජීවී නැහැ. රැඳීමක් නැහැ.

* අද සින්දුවක් කියලා ජනප්‍රිය වෙන එක සුළු දෙයක්නේ?

ඒ අදනේ. එදා එහෙම තිබුණේ නෑනේ. අපි එදා ගායකයෙක්, ගායිකාවක් වුණේ ගුවන් විදුලියේ එවක තිබුණ ගීත පරීක්ෂණයකින් සමත් වෙලා. එහෙම නැතුව සල්ලි තිබුණා කියලා ඒ කාලයේ ගායකයෝ වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපේ දක්ෂතාවයට එදා වටිනාකමක් ලැබුණා. හැකියාව අනුව ග්‍රේඩ් කළා. අද වෙලා තියෙන්නේ සල්ලි තියෙනවා නම් කට හොල්ලන්න පුළුවන් නම් අන්න ගායකයා කියන තත්ත්වයනේ.

* වැහි වැහැපු පුද්ගලික විද්‍යුත් මාධ්‍ය අද තරගෙට සල්ලි දිදී පඬුරු පාක්කුඩන් කඳ බැඳගෙන ගෙදරටම ගෙනත් දී තමන්ගේ නාළිකා අහන්න පොළඹවන වාතාවරණයක් නේ දකින්න තියෙන්නේ?

මම නම් දන්න තරමින් ශ්‍රාවකයාට සල්ලි දීලා පේ‍්‍රක්ෂකයාට සල්ලි දීලා තමන්ගේ නාළිකාව බලන්න කියන රටක් ගැන නම් අහලා නැහැ. එහෙම තියෙනවා නම් එකම රට ලංකාව වෙන්න ඇති කියලා මම හිතනවා.

* අද වෙන කොට ස්ටාර්ස්ලා අපේ ගායන ලෝකය ආක්‍රමණය කරලා නේද?

මොන ස්ටාර්ස්ලා ආවත් මල්ලි මගේ නම් වටිනාකම අඩු වෙලා නැහැ. දැන් බලන්න ව්‍යංජනයක් රස වෙන්න නම් ඒකට මිරිස් තුනපහ ලුණු ඇඹුල් පදමට තියෙන්න ඕනේ. ඒ පදම අපි කාලෙක ඉඳලා අත්දැකීමෙන් දන්නවා. ඒ හින්දා ස්ටාර්ස්ලා කියල මෙහෙන් ඇවිත් එහෙන් යන අය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.

* සින්දුවක නියම ගායකයා, ගායිකාවටත් වැඩිය හරි හම්බ කර ගන්නේ ජනප්‍රිය වෙලා තියෙන්නේ අද ස්ටාර්ස්ලා නේද?

ඒක සමාජයේ වැරැද්ද. ග්‍රේෂන් ආනන්දගේ, එම්. එස්. ප්‍රනාන්දුගේ සින්දු කියලා ලක්ෂ හැත්තෑ පහේ වාහනවලින් ගෙදර යන ස්ටාර්ස්ලා අද ඉන්නවා.

* සින්දුවේ නියම අයිතිකාරයාටත් අද එහි අයිතියක් නැහැ කියලද ඔබ කියන්නේ?

මගේ ගේ මට අයිතියි කියලා ඒකේ ඉන්න දැන් බැරි වෙලා. මම එළියේ, වෙන කෙනෙක් ගේ ඇතුළේ. ඒක තමයි අද ගීත ක්ෂේත්‍රයේ වෙලා තියෙන්නේ. ගීතයේ මුල් අයිතිකරු අද ජීවත් නොවූවත් ඒකේ අයිතිය තියෙන දරුවෝ සිටිද්දී ඒ දරුවොත් ගීත ගායනා කරද්දී්ත් එයාලගේ උරුමය කොල්ලකමින් යන ස්ටාර්ස්ලා අද කොතැනත් ඉන්නවා.

* මෙරට නම් දැරූ ප්‍රවීණ ගායකයෙකු වන ඔබ අද වෙනතුරු ඔබේ නොවෙනස් ස්ථාවරභාවය එකසේ රඳා පවත්වා ගන්නේ කොහොමද?

මම මගේ ගාණට මිසක් සින්දු කියන්නේ නැහැ. මොනම වැඩ සටහනකටවත් ගෙවන්නේ නැතිනම් මම යන්නේ නැහැ. සමහර නාළිකා මට කතා කරනවා වෝල්ටර් අයියා අහවල් වැඩ සටහනට ඔයාව තෝර ගත්තා කියලා. මම කියනවා හොඳයි කියලා. එහෙනම් අයියේ අහවල්දාට මේ වෙලාවට එන්න කියනවා. මම එතකොට තමයි අහන්නේ මම ආවොත් ඒකට ගෙවනවද කියලා. නැහැ කිව්වොත් මම යන්නේ නැහැ. ගෙවනවා කිව්වොත් මම යනවා. මම අහන්නේ අපේ ජනප්‍රියකමික් අතින් වියදම කරගෙන ගිහින් නිදි මරාගෙන ඉඳලා අත වන වන එන්නේ මොකටද? ඊට වැඩිය හොඳයිනේ ගෙදරට වෙලා පොතක් පත්තරයක් කියවලා කෑම ටිකක් කාලා නිදාගන්න එක.

* ස්ටාර්ස්ලා හැදීමේ යටි අරමුණ මොකක් කියලද ඔබ හිතන්නේ?

මෙතන තියන්නේ මුදල් කියන දේ. කලාව නොවෙයි. එස්. එම්. එස්. වලින් කෝටි ගණනින් මුදල් හම්බ කරනවා. අපේ අයත් රැවටෙන්න දක්ෂයෝ. තමන්ගේ අතේ තියෙන කීය හරි සමාගම්වලට පුදලා ඒ අය පොහොසත් කරන එක තමනුත් නොදැන කරනවා කියලා මේ අයට හිතෙන් නැති එකයි ප්‍රශ්නය.

* වෝල්ටර් කියන්නේ නවකයෝ මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ නෑ. අහපල්ලා අපේ සින්දු විතරක් කියලද?

අපෝ නැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය යන්න ඕනෑ. තව අය එන්න ඕනෑ. අලුත් පරපුරක් හැදෙන්න ඕනෑ. ගායකයෙක්ගේ හඬක් තියෙනවා. ඒ හඬ, සංගීතය කියන දේ චන්ඩිකමින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක විරල ගණයේ පිහිටීමක්. පෙර පිනකින් ලැබෙන දෙයක්. දැන් බලන්න මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල, ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මොහිදීන් බෙග් මේ වගේ එක් එක් කාලවලදී මේ අය කරළියට ආවා. ඒත් එහෙම ආව කියලා ඒ කාගෙවත් ජනප්‍රියත්වය අඩු වුණේ නෑනේ. මම කියන්නේ හැකියාව තිබුණොත් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් කියන දේයි.

* චිත්‍රපට පසුබිම් ගායනයේද නියැලී සිටින ඔබ මේ වන විට සිනමා නිර්මාණ සඳහා දායක වීමක් නොකරන්නේද?

මගේ මුල්ම චිත්‍රපට පසුබිම් ගායනය වුණේ රජ ගෙදර පරෙවියෝ චිත්‍රපට ගීතය. එදා පටන් මා මේතාක් චිත්‍රපට පසුබිම් ගායනයේ නියැලී ඉන්නවා. මේ වනවිට චිත්‍රපට තිස් තුනක මම පසුබිම් ගීත ගයා තියෙනවා. එයින් චිත්‍රපට හයක් තවම තිරගත වුණේ නැහැ. අවසන් වරට මම ගීත ගායනා කළ චිත්‍රපටය වුණේ විරුදරුවෝ.

* අද ප්‍රසංග වේදිකාව කොහොමද?

ඉස්සරට වඩා නවීන තාක්ෂණයෙන් විචිත්‍රවත් වෙලා සවුන්ඩ්, විදුලි ආලෝකය වගේම මයික් පවා විශාල පරිවර්තනයක් දක්වා ගිහින්. ඒත් එදාට වඩා අද ප්‍රසංග වේදිකාව වෙනස්. අපිළිවෙළයි. එදා තිබුණු පිළිවෙළ අද නැහැ. පටන් ගන්නෙම බයිලාවකින්. අන්තිමට මුලු ප්‍රසංගයම බයිලාවක්. එදා සංගීතය අහපු අය හිටියේ. අද සංගීතයට නටන අය ඉන්නේ.

* එළිමහන් ප්‍රසංග අද මහා ඝෝෂාවක් වෙලා නේද?

සාමාන්‍යයෙන් සංගීතයක් අද පටන් ගන්නෙ රෑ දහයට. ඒ පටන් අරන් බෑන්ඩ් එක විතරක් පැය එක හමාරක් විතර සින්දු කියනවා. ඔන්න ඊට පස්සේ තමයි ගායක ගායිකාවන්ට ආරාධනය කරන්නේ. එදා ප්‍රසංග වේදිකවේ හූවක් ආවේ ගායකයාට ගායිකාවට වැරැදුනොත් හරි සින්දුවට තියෙන අකැමැත්තට. අද එහෙම නෙමේ ඉස්සෙල්ලම ස්ටේජ් එකට නැගපු ගමන් හූවක් ඉල්ලනවා ප්‍රේක්ෂකයන්ගෙන්. එහෙම කරන්නේ වැරදෙන කොට එන හූව ෂේප් කර ගන්න ද මම දන්නේ නැහැ. ඔන්න අද අපේ ගායක ගායිකාවන්ගේ තත්ත්වය.

* ඔබටත් ප්‍රසංග වේදිකාවේදී හූව ලැබිලා තියෙනවාද?

ජීවිතයේ එක් වතාවක් ඒ කියන්නේ 1970 වේදී සුගතදාස ස්ටේඩියම් එකේ ෂෝ එකේ. කරුණාරත්න අබේසේකර තමයි නිවේදන කටයුතු කළේ. මම ස්ටේජ් නැග්ගා. මම කිව්වේ මංගලිකා මනාලිකා . . . මට සින්දුව කියන්න බැරිව අවුට් ගියා. එතනදි ජී මයින් කෝඩ් එකෙන් කියන්න ඕනෑ ගීතයට ජී මේජර් කෝඩ් එකෙන් මියුසික් දුන්නා. අන්තිමට මට හූ කිව්වා. එදා දවස මට කවදාවත් ජීවිතයේ අමතක වෙන්නේ නැහැ. ස්ටේජ් එකේ මගේ අයියා එම්. එස්. ප්‍රනාන්දු හිටියා. අයියා තමයි මගේ සංගීත ගුරුවරයා. එයා ඒ වෙලාවේම මගේ මයික් එක අරගෙන ස්ටේජ් එකේදීම මට හොඳටම බැන්නා. එදා මෙදාතුර තවම නම් කවදාවත් හූවක් ලැබිලා නම් නැහැ.

* මේ වෙන කොට ඔබේ ගී නිර්මාණ කොපමණ ප්‍රමාණයක් ඇතිද?

ගීත එකසිය පනහක් විතර. ඒ අතරින් පුල්ලි ගොනා... අවුරුදු පණස් තුනයි... ලස්සන මල් දැක්කම මට... මංගලිකා මනාලිකා... කලු නැන්දේ කලු නැන්දේ... රන්වන් පාටින්... පුංචි හාමු වගේ ගීත බොහෝ විට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රියයි.

* බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දුගේ සහෝදරයා විදියට ඔබට ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් මොන වගේද?

මගේ ගුරු පියාණන් මගේ අයියා එම්. එස්. ප්‍රනාන්දු, අයියා මට උපදෙස් කීපයක් දීලා තිබුණා. උකුස්සෙක් වගේ දුර පේන්න ඕනෑ, බූරුවෙක් වගේ බර අදින්න හැකි වෙන්න ඕනෑ, එතකොට දියුණු වෙන්න පුළුවන් කියලා. සින්දු කියන්න යන්න කලින් තමන් අදහන ආගම සිහි කරලා දෙවියෝ බුදුන් සිහිපත් කරලා පිටත් වෙලා යන්න ඕනෑ. සින්දුවක් රෙකෝඩ් කරන්න තියෙන දවසක බොහෝ විට උගුර ගැන සැලකිලිමත් වෙලා වැඩිය කතාබහට නොගිහින් විවේකීව පසුවෙන්න කියන උපදෙස් ටික මට දුන්නා.

* ඇයි තවත් උපදෙසක් දුන්නා කියලා ඔබ කිව්වේ?

ඒක මෙහෙමයි. මම අදටත් දන්නේ නැහැ අයියා එහෙම කිව්වේ ඇයි කියලා. මම බිරියට මුලදී කතා කලේ එයාගේ නම කියලා අශෝකා කියලා. දවසක් අයියා අපේ ගෙදර ආපු දවසක මට කිව්වා බිරිඳට නම කියලා කතා කරන එක නතර කරලා නෝනා කියලා කතා කරන්න කියලා. එදා ඉඳලා මම මගේ බිරියට නෝනා කියලා කතා කරනවා.

* ඔබේ ජනප්‍රියත්වයට එම්. එස්. ප්‍රනාන්දු නාමය ඔබ අද භාවිතා කරනවාද?

එයා මගේ අයියා බව ඇත්ත. ඒත් මම කැමැති නැහැ එම්. එස්. ගේ මල්ලී කියලා මාව හඳුන්වනවාට. මම කැමැති වෝල්ටර් ප්‍රනාන්දු කියලා මාව හඳුන්වනවාට.

* පවුලේ තොරතුරු කොහොමද?

බිරිය අශෝකා, දුව වාසනා. ඇය ඉංග්‍රීසි ගුරුවරියක්. ලොකු පුතා කලන, පොඩි පුතා සුපුන්. මේ දෙන්නටම ගීත ගායන හැකියාවක් පිහිටලා තියෙනවා. සුපුන් පුතාට ගිටාර් වාදනයත් පුළුවන්. සියලු දෙනාම විවාහ වෙලා.

* මේ ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු ගැන මොකද ඔබට හිතෙන්නේ?

මගේ කලා ජීවිතයට දැන් අවුරුදු පනස් පහක්. මා තුළ බලාපොරොත්තුවක් තියෙනවා එදා 70 දශකය ආයෙත් ඇති වෙයිද කියා. අපි මිය යන්න කලින් අලුත් පරපුරක් ඇති වෙනවා දකින්න ආසයි.

* ලිපිනය වගේම දුරකතන අංකයත් මතක් කළොත්?

97/8, අබේසේකර මාවත, වටරප්පල පාර, ගල්කිස්ස. 0777474684.