වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




“සපරමාදු මිස්” යන්නට ගියාය

“සපරමාදු මිස්” යන්නට ගියාය

වික්‍රමසිංහ ආරච්චිගේ ඉන්ද්‍රාවතී සුමනා සපරමාදු හා කලාව අතර නෑකම ගොඩනැඟුණේ උපතින්මය. ඇය උපත ලැබුවේ බොහෝ කලාකරුවන් ලංකා මෑණියන්ට දායාද කළ මීගමු පුරවරයේය. එපමණක් නොව කොග්ගල මහා ප්‍රාඥයා, මාටින් වික්‍රමසිංහ පරපුර සමඟ ද ඇය ඥාතිත්වයෙන් බැඳුණාය. සුමනා සපරමාදුගේ බාල සොයුරා කථිකාචාර්ය, පරිපාලන නිලධාරී ඩී. එස්. සපරමාදු විවාහ වී සිටියේ මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ නැඟණිය රූපා වික්‍රමසිංහ සමඟයි. මේ සියල්ලටම වඩා ඇයට සහජයෙන් ජානගත වී තිබූ කලාව කොළඹ විශාඛා විද්‍යාලයෙන් අකුරු කර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත් පසු අවදි විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පදවිය පයට පෑඟුණු දූවිල්ලක් තරම්වත් නොතැකු ඇය වෘත්තීය වශයෙන් තෝරා ගත්තේ මාධ්‍ය කලාවයි.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලැබූ සිංහල හා පාලි විෂයයන් පිළිබඳ ගෞරව සාමර්ථය, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේදී මානව විද්‍යා විෂයය පිළිබඳ උපාධිය ඇය මිය යන තුරුම මාධ්‍ය කලාව පෝසත් කිරීමට පුද කළාය. ඒ සඳහා මඟ පෑදුවේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සුමනා මෙනවියට හඳුනා ගන්න ලැබුණු එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය.

1955 වසරේදී "ජනතා" පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක ලෙසින් එක් වූ ඇය කලාවට බැඳි පෙමට සිංහල, ඉංග්‍රීසි ද්විභාෂාවෙන්ම ජීවය කැවීමට පටන් ගත්තාය. එවකට සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයට සැපයූ විචාරාත්මක ලිපිවලින් දක්ෂ කලා විචාරිකාවක් ලෙසින් සුමනා සපරමාදු නම ප්‍රචලිත විය. එදවස සිළුමිණ විශේෂාංග කර්තෘ වූයේ එඩ්වින් ආරියදාසය.

පුවත්පත්වල විශේෂාංගවලට සිය ලේඛන හැකියාව සීමා නොකළ ඇය ලෝ ප්‍රකට 'ඔලිවර් ට්විස්ට්' වැනි විශ්ව සාහිත්‍ය නිර්මාණවලට අපේකම එක්කර රසබර කර ළමා ලොවට තිළිණ කළාය. වත්මන් "සරසවිය" පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න මහතා ද ඒ රසය නොමඳව විඳි ළමා පාඨකයෙකි. මෙරට පළමු නිළි රැජින, ගීත කෝකිලාව රුක්මණී දේවිය වියෝ වූ පසු ඇයගේ ජීවන පුරාවෘත්තය ඇය "තරුණී" කාන්තා පුවත්පතට සතිපතා ගෙන ආවාය. "තරුණී" පුවත්පතේ මුල් පුටුව හොබවද්දී ලාංකේය කලා ක්ෂේත්‍රයට යුග මෙහෙවරක් කළ කලාකාරියන්, කලාකරුවන් ගැන ඇයගේ පන්හිඳ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක විය. වරක් "සරසවිය" සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙසින් ද කටයුතු කළේ සකල කලාවටම බැඳි ඇයගේ ළබැඳියාව නිසාමය.

ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ඇය පොත් ගණනාවක්ම රචනා කළාය. රං එතනාගේ පොඩි දුව, විකට ඇඳුම, නළපාන, පණ බේරාගත් හැටි, සමගිය බලය, සුජාතා, කිරි මුට්ටිය, මල් මල් මල් හා ඛ්ඩභබබචඪ ඛ්ඩභබබඪ ඒ කෘතීන්ය. ඇය ලියූ "රතු බයිසිකලය" ළමා පොත දරුවන් අතර වඩාත් ජනප්‍රිය විය.

නීති ගරුක බව, අකුරටම නිවැරැදිව වැඩ කිරීම, කැපවීම, අවංකකම ඉදිරියේ සභාපතිතුමා අබිමුව පවා ඉද්ද ගැසුවාසේ කෙළින් සිටි, "රාජකාරිය දේවකාරිය" කරගත් සපරමාදු මෙනවිය සෑම කතුවරයකුම "සපරමාදු මිසී" යන ගෞරව නාමයෙන් ඇමතුවේය. පත්තර මහ ගෙදරින් වසර තිස් හයක් හා මාස තුනක් වූ සේවා කාලයෙන් සමුගත් පසුව ද සෙවණැල්ල මෙන් ලේඛන කලාව ද ඇයගේ ජීවිතයට සමීප විය. අනූ හැවිරිදි වියේදීත්, එනම් මීට වසරකට පෙරදීත් ඇය දිගින් දිගටම ඔබ්සර්වර් පුවත්පතේ "ජූනියර් ඔබ්සර්වර්" ළමා සඟරාවට ලිපි, ප්‍රහේළිකා සම්පාදනය කළාය.

යළිත් "සුමනා සපරමාදු" මෙනවියගේ ලිපියක් කියවීමේ වාසනාව අපට නොලැබේ. ඇය බක් මස මංගල සිරියෙන් ලොවම නැහැවෙද්දී අනූ එක් වසරක ජීවිත කාලයට සමු දුන්නාය. එහෙත් "සුමනා සපරමාදු" නාමය මෙරට පුරෝගාමී මාධ්‍යවේදිනියක ලෙස, මාධ්‍ය ක්ෂේත්‍රයේ යුගයක නාමයක් ලෙස සදා පාඨක මතක පොතේ සටහන් වනු ඇත.