වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




එස්. එම්. එස්. වලින් මගේ ආදරය ඉල්ලන්න එපා

එස්. එම්. එස්. වලින් මගේ ආදරය ඉල්ලන්න එපා

තාරුකා වන්නිආරච්චිට ප්‍රශ්න 15 ක්

1. තාරුකා එන්න එන්න ලස්සන වෙනවා කියලා හැමෝම කියනවා. මොකක්ද ඒකෙ රහස?

මට නම් කියන්න තියෙන්නේ මං එන්න එන්න කැත වෙලා කියන දේ. මං පාසල් යන කාලයේ මීට වඩා හැඩයි. දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලත් අවුරුදු පහකටත් වැඩයිනෙ. අවුරුදු පහකින් වයසට ගිහිල්ලා මං මේ වෙන කොට.

2. වර්තමානයේ ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ නිළියන් අතර වඩාත් කාර්යබහුලම නිළිය ඔබ කියන්නේ ඇත්තද?

ඔව්. මං කාර්යබහුලයි තමයි. නමුත් වැඩියෙන්ම කාර්යබහුල නිළිය මම ද කියන්න මං දන්නේ නැහැ.

3. මාසෙකට නාට්‍ය කීයක් විතර රඟපානවාද?

ම්ම්ම්... හතරක පහක විතර.

4. කලකට පසු ඔබට නැවතත් ඓතිහාසික චරිතයක් ලැබිලා. ඒ ජැක්සන් ඇන්තනීගේ සී රජ නාට්‍යයේ?

මම එහි පුන්නා. පුන්නා කියන්නේ ධාතුසේන රජතුමාගේ අභිෂේක නොවූ බිසව. ජැක්සන් අයියා තමයි මට කතා කළේ.

5. පුන්නා සඳහා මොන විදිහටද ඔබ සූදානම් වුණේ?

මං විශේෂයෙන්ම කළේ පිටපත අධ්‍යයනය කරපු එක. ඒ වගේම මට සටන් දර්ශනවලට පෙනී සිටින්නත් සිදු වුණා. මට ඒ අත්දැකීම නුහුරුයි. කොහොම හරි කැප වෙලා සටන් එහෙම පුරුදු වුණා.

6. පුන්නාගේ චරිතය නිරූපණය කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

එහෙම විශේෂයෙන් කියන්න තරම් දෙයක් වුණේ නැහැ. පුන්නා කියන චරිතය නම් මට අමතක වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.

7. තාරුකා ඉස්සර වගේමද? ජනප්‍රියත්වය ලැබුණට පස්සේ ඔබේ යම් ගති ගුණයක් වෙනස් කළාද?

ඔව්. මට ඉස්සර හරියට කේන්ති ගියා. කෙටියෙන් කිව්වොත් මං මේ දැන් ඉන්නවට වඩා ඉස්ස්ර හරි නපුරුයි. ඒ කේන්ති යෑම නම් දැන් අඩු කරගෙන ඉන්නේ.

8. කවදද තාරුකා කසාද බඳින්නේ?

කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. දිනයක් වෙලාවක් නිශ්චය කරගෙන නැහැ.

9. සාමාන්‍යයෙන් කෙනෙකුට අසාධාරණයක් වුණොත් තාරුකා ඒ වෙනුවෙන් කතා කරනවාද?

ඉස්සර නම් මං ඔහොම අනුන් වෙනුවෙන් කතා කරලා හොඳ හොඳ පරිප්පු කාලා තියෙනවා. ඒ මෝඩකම් ආයෙත් කරන්නේ නැහැ. මට අසාධාරණයක් වුණොත් විතරයි දැන් මං ඉදිරිපත් වෙන්නේ.

10. අතීතයට යන්නට අවස්ථාවක් දුන්නොත් කොයි දිනයෙද නතර වෙන්න කැමැති?

2010 වසරේ ඡවි කල්්‍යාණි වෙච්ච දවසට යන්න මං ආසයි.

11. ඉස්සරට වැඩිය තාරුකාට උත්සව සඳහා ආරාධනා ලැබෙනවා ඇති?

අපොයි ඔව්. හැබැයි කතා කරන සෑම උත්සවයකටම යන්නෙත් නැහැ. එහෙම යන්නත් බැහැනෙ. විශේෂයෙන් පවුලේ උත්සවවලට තමයි මුල් තැන දෙන්නේ.

12. තාරුකාට කී දෙනෙක් මේ වන විට ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?

මට ගණනක් නිශ්චිතව කියන්න අමාරුයි. කෝල් කරලා සමහර අය මැසේජ්වලින් මගෙන් ආදරය ඉල්ලනවා. මං ඒ මැසේජ් එවලේම ඩිලීට් කරනවා.

13. ඒ අතරින් වධයක් වෙච්ච අයත් ඉන්නවාද?

මොකෝ නැත්තේ. මේ ඊයේත් මට කෙනෙක් මැසේජ් එකක් එව්වා ආදරේ ඉල්ලලා. එයා දැන් කාලාන්තරයක් තිස්සේ එහෙම කියනවා. මං දැන් නම්බරේ බ්ලොක් කරන්න හිතාගෙන ඉන්නේ.

14. තාරුකා දවසට පැය කීයක් නිදා ගන්නවාද?

නින්ද තමයි අඩුම. පැය හයක් හෝ පහක් වගේ තමයි නිදා ගන්නේ. ඒ හින්දා විවේකයක් ලැබුණ ගමන් කරන්නේ නිදාගන්න එක.

15. තාරුකාට මේ තියෙන විවේකය ඇතිද මදිද?

හොඳටම මදි.