වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




පිංපොං ස්ත්‍රී වෙස් ගනියි

පිංපොං ස්ත්‍රී වෙස් ගනියි

රසමුසු සිදුවීම් මැද ‘නෝනා හරිම වසයි’රූ ගැන්වේ

නිෂ්පාදන කණ්ඩායම

කැමරා අධ්‍යක්ෂණය - නිශාන් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - ප්‍රසාද් වීරප්පෙරුම, රෝලන්ඩ් ද සිල්වා

අංග රචනය - ඉන්දික උදාර ලංකා සමග ක්‍රිෂාන්ත ජයබාහු

සටන් අධ්‍යක්ෂණය - රවී චන්ද්‍රසිරි

සහාය අධ්‍යක්ෂණය - මහේෂ් ඉන්දික

නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිරි සේනාධීර

සංගීත අධ්‍යක්ෂණය - ලස්සන ජයසේකර

ගී පද මාලා - ඩිලානි රොෂාන්දි සේනාරත්න

ගැයුම් - ශානිකා මධුමාලි, කණිෂ්ක ප්‍රසාද්, දේශානි සමාධිනි විතානගේ

ටෙනිසන් කුරේගේ නිවසට සොරෙකු ඇතුළු වී ඇත. මේ පිළිබඳ කලින් දැනගත් ඔහු ගෙට ගොඩ වුණේ දෙගිඩියාවෙනි.

හොරෝ, හොර ගෙඩියෝ, උඹ කොහෙද හොරෝ'

ටෙනිසන් තමන්ට ආවේණික වූ වාග් රටාවෙන් පවසන්නේ සොරාට ඇසෙන්නටය. එහෙත් සොර දෙටුවා එළියට පැමිණෙනවා වෙනුවට තව තවත් ගේ ඇතුළටම රිංගීය.

නෝනේ...

ටෙනිසන් තම බිරියට කතා කරනු ඇසෙයි. පුදුමයකි නිවෙසෙහි මුලුතැන් ගෙයින් පැමිණියේ කුසුම් රේණුය.

ඇය කොහොමද ටෙනීගේ බිරිය වුණේ අමුතු පැනයක් මසිතට වධ දුන්නේය.

ටෙනී කුසුම්ට නිවස තුළ සොරෙකු ඉන්නා වග පවසයි. ඇය ද කිසිසේත්ම තැති ගන්නේ නැත. කුසුම් ටෙනිසන් සමඟ චණ්ඩි කාන්තාවක මෙන් සොරා සෙවීමට උඩ තට්ටුවට ගියාය.

ඇති ඇති... දැන් පහළට එන්න.

කවුදෝ කියනු ඇසිණ. හැරී බලද්දී මට පෙනුණේ එරංග සේනාරත්නවයි.

කවුද දන්නවද හොරා?

එරංග මගෙන් විමසයි.

මම 'දන්නෙ නැහැ' කියන්නට ඔළුව දෙපසට සෙල වූයෙමි.

රයන් වැන්රෝයන් නමැති නළුවා ඉහළ මාලයේ සිට පිහියකුත් රැගෙන තරප්පු පෙළ බසියි.

මොකෝ මේ පිහියකුත් අරන්... කාට හරි අනින්නද?

නෑ මං මේ නියපොතු සුද්ද කරන්න හදන්නේ මේකෙන්.

රයන් අප සැවොම සිනා සයුරෙහි ගිල්වීය.

මම සොරාව හඳුනා ගත්තෙමි. ඒ රයන්ය. මා මේ ඇවිත් සිටින්නේ එරංග සේනාරත්නගේ නවතම සිනමාපටයෙහි රත්මලානේ දර්ශන තලයටය. 'නෝනා හරිම වසයි' යනුවෙන් එය නම් කොට තිබේ. 'වක්කඩයක් කැඩුවා වගේ කට ඇරියම' එහි තේමාවයි. එවන් වූ කටක් ඇති නෝනා කෙනෙක් සහ ඇගේ ආදරවන්තයා වන ඇම්ඩන් නම් චරිතය වටා නෝනා හරිම වසයි සිනමාපටයෙහි තිරකතාව සකස් වී ඇත.

කෝ මේ ඇම්ඩා? ඇම්ඩෝ...

එරංග ඇම්ඩට අමතයි.

මේ එනෝ...

ඇම්ඩන් අප ළඟට ආවේය.

මේ ඇම්ඩෙක්යැ. ඇම්ඩි කෙනෙක්නෙ. මට කියවිණ. ඒ අප ළඟට ආවේ මිටි මහත කාන්තාවක් බැවින්ය.

අඳුනගන්න බැරි වුණාද. මේ මම.

කොමලෙ පාමින් ඇය පවසයි.

එහෙත් මේ කවුදැයි මා හට හඳුනාගත නොහැකිය.

මේ මම. හිසෙහි ඇති කොණ්ඩය වහා ගැලවීය.

මෙන්න වැඩක් මේ ඉන්නෙ පිං පොං නෙ. මට ඉබේටම කියවිණ. මෙතෙක් වේලා කාන්තා ඇඳුමෙන් අප දුටුවේ පිංපොං හෙවත් රජිත හිරාන්ය.

මම තමයි මේකෙ ඇම්ඩා. පළමු වතාවට තමයි කාන්තා ඇඳුමක් ඇඳලා මං රඟපාන්නේ.

පිරිමි වෙස් ගත්ත ද රජිත තවමත් කතා කරන්නේ ගැහැනු හඬකිනි.

මම කුසුම්ව හඳුන ගත්තේ අවුරුදු තිහකට විතර කලින් ඉඳලා.

ටෙනිසන් තවත් කතාවක් කියන්ට සැරසෙන වග මට සිතෙයි. එය නිවැරිදිය.

එයයි මමයි පළමු වතාවට එකට රඟපාන්නේ මේ චිත්‍රපටයේ. ඒක මට විශේෂයි. කුසුම් මට ලබා දෙන සහාය මතක් කළ යුතුමයි.

කතාබස්, විහිළු තහළු අඩු වැඩි වෙද්දී බීමට පළතුරු යුෂ ගෙනෙනු පෙනෙයි.

මේ මොනවද?

රත් පැහැ ගත් එම බීම වීදුරුව අතට ගෙන නව පරපුරේ රංගන ශිල්පිනී දිලිනි අත්තනායක අසයි.

එරංග සේනාරත්න

මේවා මිරිස් බීම.

රයන් පැවසුවේ රජියට ඇසක් ගසන ගමන්ය.

ඔව් ඔව්. මිරිස් බීම තමයි. පණුවෝ ගහපු කොච්චි එහෙමත් දාලා තමයි හැදුවේ.

රජියා රයන්ට උල්පන්දම් දුන්නේය.

ඊයා මට එපා.

දිලිනිගේ මුහුණ බෙරිවිය. දෙන්න මම දිලිනිගෙ බීම එකත් බොන්නම්. රයන් තවත් වීදුරුවක් අතට ගත්තේය. ඒ ගෙනා බීම කොමඩු යැයි දැනගත් දිලිනි පසුව දුක් වූයේ කොමඩු තම ආසම යුෂ වර්ගය යැයි පවසමිනි'.

මේ අතරවාරයේ එරංග තවත් දර්ශනයක් කැමරාවට නඟා ගැනීමට සූදානමිනි. එහෙයින් තවත් එහි රැඳී නොසිටිමින් අපි එතැනින් පිටත් වුනෙමු.

නෝනා හරිම වසයි

 

සිනමාපටයේ නළු නිළි පිරිවර.

 

ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, රජිත හිරාන් චාමිකර, කුසුම් රේණු, නිල්මිණි කෝට්ටේගොඩ, සංජු රොඩ්රිගෝ, රයන් වැන්රෝයන්, සුරේනි සෙනරත්, සරත් පීරිස්, රවී චන්ද්‍රසිරි, ආරියසේන ගමගේ, රුවන් හේවගේ, සුනෙත් මැල්සිරිපුර, දිලිනි අත්තනායක, මල්කි ප්‍රනාන්දු.