වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මම කවදාවත් රඟපෑම අතහැරියේ නෑ

මම කවදාවත් රඟපෑම අතහැරියේ නෑ

එදා මලට නොඑන බඹරු චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් මැවූ ශිරාණි කෞශල්‍යා

1982 වසරේ තිරගත වූ මලට නොඑන බඹරු චිත්‍රපටය සිංහල සිනමාවේ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් බවට පත් වුණා. ශිරාණි කෞෂල්‍යා එහි රංගනය සමඟින් කා අතරත් කතාබහට ලක් වුණේ අභියෝගාත්මක චරිතයකට පණ පොවමින්. ප්‍රථම රංගනයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය චිත්‍රපට කිහිපයකට පමණක් තම දායකත්වය ලබා දී සිනමාවෙන් දුරස් වුණේ කෙදිනක හෝ යළිත් සිංහල සිනමාවට එක් වෙනු ඇතැයි යන බලාපොරොත්තුව තම ආදරණීය රසික රසිකාවන්ගේ සිත් තුළ දල්වමින්. අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ඇය මේ දිනවල මව්බිමට පැමිණ සිටින්නීය. එදා ඇය ඉතිරිකර ගිය ඒ පැතුම් කෙදිනක හෝ මල්ඵල ගැන්වෙනු ඇති දැයි අසන්නට සරසවිය ඇය හමු වුණා.

රංගනය ඔබේ ජීවිතයේත් ප්‍රාර්ථනා කළ පැතුමක්?

ඇත්තටම නිළියක් වෙන්න මම පොඩි කාලයේ පටන් හිතූ දෙයක්. ඒකට හේතුව වුණේ විවිධ පුද්ගලයන්ගේ කටකතා. ඒ නිසා මට මේ ක්ෂේත්‍රය ඇතුළට ඇවිත් මොනවද වෙන්නේ කියලා බලන්න ඕනෑකම තිබුණා. ඒ වගේම රඟපාන්නත් තිබුණේ ලොකු ආසාවක්. පාසල් කාලයේ මම වේදිකා නාට්‍යවලත් රඟපෑවා. මලට නොඑන බඹරු චිත්‍රපටයට කලින් මම හෝටල් ක්ෂේත්‍රෙය් රැකියාව කළා. ඉන් පසුව ගුවන් සේවිකාවක් ලෙසිනුත් කටයුතු කළා. මට මුලින්ම රංගනයට ආරාධනා ලැබුණේ හෝටල් ක්ෂේත්‍ර යේ කටයුතු කළ කාලයේදීයි. ඒ කාලයේ මම ඡායාරූප ශිල්පී ප්‍රසන්ත පරණවිදාන හඳුනා ගෙන හිටියා. මම ඡායාරූප ගැනීම සඳහා ඔහුගේ ෆොටෝස් කොප් ආයතනයට ගිය අවස්ථාවක එතැනට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ෆොන්සේකා ඇවිත් හිටියා. එයින් පස්සේ දවසක ප්‍රසන්ත සංස්කරණ ශිල්පී ලාල් පියසේන සමඟින් මා හමුවෙන්න පැමිණියා. එතකොට මම ශිරාණි ද සිල්වා.

“ඔයා රඟපාන්න කැමැති ද” කියලා ඔහු මගෙන් ඇහුවා.

“අපි ඉතිං මේ නිකනුත් රඟපාන එකනේ කරන්නේ” කියලා මමත් විහිළුවට වගේ කිව්වා. මේක විහිළුක් නෙවෙයි චිත්‍රපට නිෂ්පාදක සුනිල් ෆොන්සේකා ඔහුගේ චිත්‍රපටයට මා තෝරා ගන්න කැමැත්තෙන් ඉන්න බව ප්‍රසන්ත මට කිව්වා. එතකොට නම් මට බය හිතුනා. ඊට පස්සේ අම්මාගේ අවසරය ඇතුව මම ඒ ආරාධනාව භාර ගත්තා.

මුල්ම රංගන අත්දැකීම කොහොමද?

මට රංගනය ගැනවත් සිනමාව ගැනවත් කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ වුණත් ලොකු නිර්භීතකමක් මගේ හිතේ තිබුණා. කොහොවත් යන්න මට කිසිම බයක් තිබුණෙත් නැහැ. ඒ වෙනකොට මම චිත්‍රපටයේ පිටපතවත් කියවලා තිබුණේ නැහැ. චිත්‍රපටය මොකක්ද කියලා දැනගෙන හිටියෙත් නැහැ. රූගත කිරීමට දින ලැබුණාම ඒ වෙනුවෙන් දායක වෙන්න දර්ශන තලයට ගියා. නිළියක් කියන්නේ රැජනක්, ගණිකාවක්, හිඟන්නියක් නැත්නම් ගුරුවරියක් ආදි වූ ඕනෑම චරිතයකට පණ පොවන්න පුළුවන් කෙනෙක්. රංගනය ගැන ඊට වඩා එහාට මම හිතුවේ නැහැ.

ඒ වගේම කුතුහලයක් තිබුණෙත් නැහැ. සමහර අය නම් මුලින්ම කැමරාව ඉස්සරහට එන්න තරමක චකිතයක් බයක් ඇති වුණ බව පවසනවා. ඒ වුණත් වෙන ආත්මයක හෝ පුරුද්දක් නිසා වෙන්න ඇති මට නම් ප්‍රථම රංගනයේදීවත් කැමරාවට බය වුණේ නැහැ. මලට නොඑන බඹරු රූගත කරනවිටදී වුණත් මම ඉන්න ඕනි විදිය ගැන වැඩි උපදෙස් දෙන්න නිර්මාණ කණ්ඩායමට වුවමනා වුණේ නැහැ. මම මගේ ප්‍රථම රංගනයට මුහුණ දුන්නේ හරිම සැහැල්ලුවෙන්.

මලට නොඑන බඹරු චිත්‍රපටයේදී ඔබේ ප්‍රථම රංගනය ආන්දෝලනාත්මකයි ?

මම මගේ අම්මා දුන්නු නම උපරිමයෙන් රකින කෙනෙක්. ප්‍රසන්තයි සුනිල් ෆොන්සේකායි සිනමාවට මා ශිරාණි කෞෂල්‍යා ලෙසින් නම් කළා. මම ඒ නමටත් ගොඩක් ආදරෙයි. මොනම හේතුවක් නිසාවත් ඒ නමට කැළලක් වෙනවාටත් මම කැමැති නැහැ. මට චිත්‍රපට ලැබුණත් නැතත් ඒ නමට හානියක් වෙන්න කවදාවත් මම ඉඩ දෙන්නෙත් නැහැ කියන හැඟීම මගේ හිතේ තිබුණා.

මලට නොඑන බඹරු චිත්‍රපටයේ මගේ රංගනයට අඩනිරුවත් දර්ශන තිබුණා. නමුත් ඒ දර්ශන මා වෙනුවෙන් කළේ ජනප්‍රිය නිළියක්. ඇත්තටම එය ප්‍රයෝගයක්. ඒ වුණත් එහි වගකීම මා දැරිය යුතු වෙනවා. ඇයත් ගැහැණියක්. එදා මා වෙනුවෙන් ඇය ඒ දර්ශනය කළා. මම ඇයට හැමදාම ස්තුතිවන්ත වෙනවා. නිව්යෝර්ක් හි පදිංචි වෙලා සිටින ඇය දැන් මගේ හොඳ මිතුරියක්.

මලට නොඑන බඹරු හි අජිත් ජිනදාස සමඟ

 

මොන වගේ ප්‍රතිචාරයක්ද එදා ඔබේ රංගනයට ලැබුණේ?

එදත් අදත් එකම දේ තමයි. හොඳ චිත්‍රපටවල හොඳ නළු නිළියන් කණ්ඩායමක් එක්ක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. හැමෝගෙන්ම ලැබුණේ හොඳ ප්‍රතිචාර. ධෛර්යවත් කිරීමුත් ඒ වගේමයි. එක වෙලාවකට ලංකාවෙන් ගිය එක අපරාදයක් නේද කියලත් හිතුණා. “ඔයා වගේ වටිනා නිළියක් සිනමාවෙන් දුරස් වීම අපරාධයක්” කියලා හැමෝම කියූ දේ එදා මම එතරම් ගණන් ගත්තේ නැහැ. මොකද මම නිළියක් කියාගෙන සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලා ඉන්න මට ඕනි වුණේ නැහැ. මට ඕනි වුණේ මිනිසුන් අතරේ මිනිසෙක් විදියට ජීවත් වෙන්න. ඒ නිසාම වෙන්න ඇති හැමෝම මට ගොඩක් ආදරෙයි. මම සිනමාවෙන් දුරස් වුණත් රසික රසිකාවන්ගේ ආදරය ඒ විදියටම තියෙනවා. එදා රඟපෑම් ගැන අදටත් වර්ණනා කරන්නේ හරිම ආදරයෙන්. ඒ ආදරය මට ගොඩක් වටිනවා.

ඉන් පසුව ඔබේ රංගන ජිවිතය ගත වුණේ කෙහොමද?

මලට නොඑන බඹරු චිත්‍රපටයෙන් පසුව මම මහ ගෙදර, දොළොස් මහේ පහන, මං මුලා වැල්, දඩයම වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. ඒ හැම චිත්‍රපටයකම මට ප්‍රවීණයන් සමඟින් රංගනයට අවස්ථාව ලැබීම ගැන සතුටුයි. ඇත්තටම අද තමයි ඒ චිත්‍රපටවලට ලද අවස්ථාව ගැන වටිනාකම දැනෙන්නේ. ඒ වගේම ඒ රංගනයන් කිසිවෙකුත් මට අපහසුවක් වුණේ නැහැ. මං හරිම සෙල්ලක්කාරයි. කිසිම දෙයක් මං මනසට ගත්තේ නැහැ. මට අවුරුදු දහඅටයි. ජීවිතය ගැන බරපතල විදියට හිතුවේ නැහැ.

සිනමාවෙන් ඉක්මනටම දුරස් වුණේ ඒ නිසා ද ?

ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ මම විතරයි. මම කවදාවත් සිනමාව දාලා ගියේ නැහැ. මට සිනමාවෙන් දුරස් වෙන්න සිදු වුණේ මගේ පෙම්වතා හොයාගෙන ගිය නිසා. “ඔයා මම නිසා කවදාවත් ලංකාව දාලා එන්නේ නැහැ” කියලා ඔහු කියූ දෙයට කේන්ති ගිහින් තමයි මම ලංකාවෙන් ඔහු හොයා ගෙන ඩුබායිවලට ගියේ. මම බොහොම නිහඬව ඉන්න කෙනෙක්. ඒ වුණත් මට මොනවා හරි දෙයක් කරන්න බැහැ කියලා කවුරුවත් කියනවට මම කැමැති නැහැ. නමුත් අද මම අම්මා කෙනෙක් විදියට මට සුදුසු චිත්‍රපට තෝරා ගන්න පුළුවන්කම තියෙනවා. මගේ දරුවනුත් කැමැතියි මම නැවතත් සිනමාවට එක්වෙනවාට. ඉතිං ඊට වඩා වෙනත් දෙයක් මට ඕනි නැහැ.

අමෙරිකාවේ ගත කරන ජීවිතයේදීත් ඔබ කලාවට සමීපද?

කලාවෙන් ඕනැ කරන දේ අමෙරිකාවේදී කවදාවත් ලබා ගන්න බැහැ. එහෙදි සිංදුවක් කිව්වට නාට්‍යයක් කළාට එහෙම වෙන්නේ නැහැ. මගේ කලා ජීවිතය බැඳීලා තියෙන්නේ ලංකාවේ සිංහල සිනමාවත් සමඟයි.

දැන් ඔබේ ජීවිතය ගෙවන්නේ කොහොමද ?

මගේ ලොකු පුතා දැන් විවාහකයි. දෙවැනි පුතා විවාහ වෙන්න සූදානමින් ඉන්නේ. ඔවුන් දැන් මාව ආයමත් රංගනට දිරිගන්නවා. මම මගේ දරුවන් උස් මහත් කරලා ඔවුන් හොඳ පුරවැසියන් කරන්න මම පසුගිය කාලය වැය කළා. ඒ ගැන ඔවුන්ගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්.

ඒ කියන්නේ දැන් ආයමත් රංගනයට අවස්ථාව උදාවෙලා?

නමුත් දැන් අපේ සිනමාව ගැන පර්යේෂණ කළ යුතු තත්ත්වයක මම ඉන්නේ. මොකද දැන් සිනමාව එදා වගේ නෙවෙයි. ගොඩක් වෙනස් වෙලා. එදා වගේ නෙවෙයි අද වෙනකොට රූපවාහිනියට අමතරව සමාජ වෙබ් අඩවි ඇතුළු විවිධාකාර මාධ්‍ය වැහි වැහැලා. ඉතිං දැන් සිනමාව මොන විදියටද ගෙන යන්නේ කියලා මම දන්නේ නැහැ. අනිත් කාරණය දැන් සිනමාවේ අලුත් අය ගොඩක් ඉන්නවා. මම ඔවුන් අඳුරන්නෙත් නැහැ. ප්‍රවීණයන් හැමදාම මට ආරාධනා කරනවා. මගේ පෙනුමත් එක්ක මට සිනමාවේ එදා නැවතුන ගමන ආයෙමත් ආරම්භ කරන්න හැකි බව නිරන්තරයෙන් සිහිපත් කරමින් ඔවුන් මා දිරි ගන්වනවා.

ඒ අවස්ථාව ගත්තොත් හොඳ බව මටත් දැන් හිතිලා තියෙන්නේ. එදා මම රඟපෑවේ කිසිම දෙයක් නොදැන. අද එහෙම නැහැ. දැන් මම රංගනයට ආවොත් එන්නේ ජීවිතය ගැනත් අත්දැකීම් රාශියක් එක්කයි. ඒ නිසා මං හිතනවා මගේ රඟපෑම එදාටත් වඩා හොඳ වෙයි කියලා. අවස්ථාව ලැබුණත් වේගවත් ගමනකට වඩා හෙමින් ගමනකට තමයි මගේ කැමැත්ත.

අමෙරිකාවේදී හොලිවුඩ් සිනමාව ඇසුරු කරන ඔබ වර්තමානයේ අපේ සිනමාව ගැන මොකද හිතෙන්නේ?

අපි දුර ගමනක් ඇවිත් තිබුණට අපේ අයගේ පසුගාමී බවත් මට පේනවා. එයට හේතුව එකමුතුකමක් නැති වීමයි. ලෝක සිනමාව ගත්තම හැමෝම එකයි. ඉන්දීය සිනමාව ගත්තම ඒ තත්ත්වය ඊටත් වඩා වැඩියි. ඒ සමඟ අපේ සිනමාව දිහා බැලුවම ලොකු දුකක් දැනෙන්නේ. හරි නම් අද අපි බොලිවුඩයේ තත්ත්වයෙන් සිටිය යුතුයි. අනිත් කාරණය නම් අපේ බොහොමයක් රංගන ශිල්පිනියන් දෙන ප්‍රතිරූපය මඳ බවක් දකින්නට තියෙනවා. බොහෝ දෙනෙක් ලිංගිකත්වයට බර ප්‍රතිරූපයක් මවන්න තමයි උත්සාහ කරන්නේ. ඒක හරිම කැතයි. අපේ තියෙන සංස්කෘතිය, ගරුත්වය, ලැජ්ජාව, බය මොනතරම් ලස්සනට ඉදිරියට ගේන්න පුළුවන්ද ? අපේම සිනමාවක් වෙනුවෙන් අලුත් පරපුර සමඟ එය ඉදිරියට ගෙන යා යුතු වෙනවා.

චිත්‍රපට නිෂ්පාදනයට ආවොත් හොඳයි කියලා හිතිලා නැතිද?

එහෙමත් හිතිලා තියෙනවා. ඒ වුණත් මට සල්ලි නැහැ. මූලික දේ මුදල්. ඒක නැතුව මොකුත් කරන්න බැහැ. නිෂ්පාදනයට වඩා ඉන්න කට්ටිය බලාගන්න ඕනි නේ. අපි කරන දේ සාර්ථක වෙන්නෙත් එවිටයි. එහෙම කරන්න බැරි නම් මම කරන්නේ නැහැ. හැබැයි මට කවුරු හරි සහය අධ්‍යක්ෂණයට ආරාධනා කළොත් මම ඒක කරන්නේ හරිම ආසාවෙන්.