වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සුනිල්, මේ සුනිල් හැර තවත් සුනිල්හු සිටිත් ද?

ඒ සුනිල්, මේ සුනිල් හැර තවත් සුනිල්හු සිටිත් ද?

වැඩිම චිත්‍රපට නිපදවූයේත් සුනිල්

එක චිත්‍රපටයක් හෝ තිරගත වන්නට පෙර චිත්‍රපට දහයක් තැනුවේත් සුනිල්

වැඩිම චිත්‍රපට අධ්‍යක්ෂණය කළේත් සුනිල්

පසුගිය අවුරුදු කාලයේ අපේ සිනමා ක්ෂේත්‍රය ගැන සිතමින් සිටින විටදී සිංහල සිනමාවේ වැඩියෙන්ම කියවෙන නම කුමක්ද යන්න ගැටළුවක් මතු වුණා. ඒ පිළිබඳ සොයා බලනවිට අපට හමු වුණේ ‘සුනිල්’ යන නාමය යි.

මෙරට සිනමාව වෙනුවෙන් වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළේ සුනිල් ටී. ප්‍රනාන්දු. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේ සුනිල් සෝම පීරිස්. ඒ විතරක් නොවෙයි තමා අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයක්වත් තිරගත වෙන්න පෙර චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්.

සුනිල් අරුණ වීරසිරි චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙක්. ‘සැපට දුකට සනී’ ‘ක්ලීන් අවුට්’ නිෂ්පාදනය කළ සුනිල් ‘ටිකිරි සුවඳ’ වගේම ඉදිරියේදී තිරගත වෙන්න නියමිත ‘වීර්යා’ චිත්‍රපටයත් නිෂ්පාදනය කළා විතරක් නෙවෙයි අධ්‍යක්ෂණයත් කළා.

සුනිල් ෆොන්සේකා ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටය නිෂ්පාදනය කළා වගේම ස්වර්ණ සංඛ සිනමා පදනම පිහිටුවා සිනමාවේ උන්නතිය වෙනුවෙන් සම්මාන උලෙළ පවා සංවිධානය කළා.

ඒ වගේම ඉංග්මාර් බර්ග්මාන්, ටෲෆෝ වැනි සිනමා උලෙළයන්ගේ පවා බරපැන දැරූ සුනිල් ෆොන්සේකා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයා ලෙසත් කටයුතු කළා.

සිනමාවේ සංගීත අංශය දෙස බැලුවාමත් අපට සුනිල්ලා කිහිපදෙනෙකුම හමු වෙනවා. සුනිල් සරත් පෙරේරා, සුනිල් ගුණවර්ධන, සුනිල් යෝගේන්ද්‍ර, සුනිල් ආර් ගමගේ ගීත රචනාවෙන් සිනමාවට දායක වූ සුනිල්ලා. ඒ විතරක් නෙවෙයි.

සුනිල් ධර්මසිරි ගීත රචනා කළා පමණක් නොවෙයි විධායක නිෂ්පාදනයෙන් සහ නිෂ්පාදනයෙන් පවා දායක වුණා. සුනිල් විමලවීරත් සම්මානනීය ගීත රචකයෙක්. ‘සුගන්ධි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් ඔහු.

සිනමාවේ සුනිල් පෙරේරලා දෙන්නෙක් හමු වෙනවා. එක්කෙනෙක් ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා. ඔහුත් චිත්‍රපට ගීත ගායනයට එක් වුණා.

අනිත් සුනිල් චිත්‍රපට රැසක මෙන්ම රජයේ චිත්‍රපට අංශයේ කැමරා අධ්‍යක්ෂවරයෙකු වු සුනිල් පෙරේරා.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ගායන ක්ෂේත්‍රයට පැමිණියේත් සිනමා ගායන ශිල්පියෙක් ලෙසින්. ඒ ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ “සඳකඩ පහනක කැටයම් ඔපලා” ගීතය ගායනා කරමින්. සුනිල් සිරිවර්ධන ‘දෙව්දුව’ චිත්‍රපටයේ ගීත ගායනා කළා. තවත් සුනිල් සිරිවර්ධන කෙනෙක් ඉන්නවා. ඒ සුනිල් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් වගේම මෙරට සිනමා ශාලා රැසක හිමිකරුවෙක්.

සුනිල් ශ්‍රී වගේම සුනිල් ප්‍රේමකුමාරත් සිනමා රංගන ක්ෂේත්‍රයට දායක වුණා. සුනිල් ප්‍රේමකුමාර තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘මඬොල් දූව’ චිත්‍රපටයේ දඟදාසගේ චරිතයට පණ පෙව්වේ. ඉන් පස්සේ ඒ සුනිල්ට හැමෝම කිව්වෙත් දඟදාස කියලයි.

සුනිල් නාමය දරණ කලා අධ්‍යක්ෂවරුන්ද පෙළක් සිටිනවා. සුනිල් සමරකෝන්, සුනිල් විජේරත්න, සුනිල් ප්‍රේමරත්න අපේ සිනාමවට කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ සුනිල් නාමයට හිමිකම් දරනවා. සුනිල් මිහිඳුකුල සහ සුනිල් විජේසිරිවර්ධන සිනමා චිවාරකයන් ලෙසින් සිංහල සිනමාවට විශේෂ වෙනවා.

අද මේ ලිපියෙන් කතා කළේ ජීවත්ව සිටින අය ගැන විතරයි. මේ විදියට අපේ සිනමාවේ සිටින සුනිල්ලා ගැන අද අපි කතා කළත් මේ අතරේ අපට මඟහැරුණු සුනිල්ලාත් ඇති. ඒ ගැන අපිව දැනුවත් කරන්න සරසවිය පාඨක ඔබට පුළුවන්.