|
කෝලමක් නොවුණු නාට්‍යයක් ගැන මතවාදයක්
තරුණ සිනමාකරුවකු හා නාට්‍යකරුවකු වන ඩෙනිස් පෙරේරා රචනා කර අධ්‍යක්ෂණය කළ 'ගෝඨයිම්බර කෝලම' පසුගියදා නැවත රඟ මඬලට ප්‍රවිෂ්ට විය. නව පර්යේෂණාත්මක නාට්‍යයක් වන ගෝඨයිම්බර කෝලම දැන් රට වටා යාමට සූදානමිනි. ගස යට නැටූ තොවිලයෙන් පරල වූ ආතුරයෝ ද වූහ. කලින් තිබුණු ලෙඩ රෝග සුව කරගත් ආතුරයෝ ද සමෝසම් ඒ උන්හ. මෙතෙක් ගෙවල්වල ද, පිට්ටනිවල ද තනි, තනිව නැටූ තොවිලය රටට ම ශාන්තියක් කරන්න සිතා නැටූ හෙයින් ගෝඨයිම්බර නම් යක්ෂයා දමනය වූවා යැයි සිතාගෙන අපි ගෙවල් බලා ගියෙමු. යකෙකු සම්බන්ධව එතරම් සරල තීරණයකට එළැඹි අපි මිනිසුන් සම්බන්ධව සරල තීරණවලට නො එළැඹෙන්නේ මන:කල්පිතය වඩා දරුණු නිසා විය හැකිය. යකෙකු ආවේස කර ගැනීමෙන් අනෙකා රැවටිය හැකි යැයි අප තවම සිතන්නේ ඒ නිසා විය හැකිය. 'ගෝඨයිම්බර කෝලමේ' මට ගලවා බලන්නට සිතුණේ ගෝවා ගෙඩියක කොළ ගලවන්නාක් මෙනි. එහි ස්ථර රාශියකි. එකක් ගලවා අතට ගෙන නරඹන්නට සැරසෙන මොහොතේම අනෙක තුළින් වෙනත් යමක් උත්පාදනය වෙයි. පළමුවැන්න විසි කර දැමුවහොත් ඒ ද අපරාදයකි. බාගදා තෙවැන්නේ අත්‍යවශ්‍ය සහසම්බන්ධය ඒ තුළ තිබිය හැකිය. මේ පර්යේෂණාත්මක නාටකය මට කැමැති හැටියකට කියවා ගන්නට එහි අධ්‍යක්ෂ ඩෙනිස් පෙරේරා ඉඩක් තබා ඇත්තාක් මෙනි. එහෙයින් සාම්බ්‍රානි දුම ද, ගිනි ගෙඩි උපදවන විලක්කුද මැදින් වෙස් මුහුණු ලූ අය පැමිණෙන අයුරු නිරීක්ෂණය කිරීම වටී.
'සිරිලක පුර පවර මේ සෙබළ කෝලම සබයට පැමිණෙන අයුරුය. නොනවත්වා වයන බෙර ද, මුහුණු බොඳ කරන දුම් ද කැටුව ඔවුන් පැමිණෙයි. මහා කලබලයක් ඇති කරමින් සෙනඟ සුද්ද-බුද්ද කිරීමට සැරසෙයි. ආතුරයන්ගේ සිතීමේ පරාසය එහේ-මෙහේ වන්නේ ඊළඟටය. කැමැත්තක් සිතා ගැනීම සහ කියන දෙය සිතා ගැනීම ආතුරයන්ගේ රාජකාරියයි. මේ මහා තොවිලය රටටය; අපටය. එසේ සිතා හුන් කිහිප දෙනෙකු කලබලයට පත් වන අතර හාංකවිසියක් නොදැන හුන් අය කැකිරි පළන්නට ගනී. 'හරි ඒත් ඉතිං මෙහෙ කොහෙන්ද සතුරො..මෙහෙ ඉන්නෙ මිනිස්සුනෙ.' 'මිනිස්සු තමයි ඕයි සතුරො.' මේ සාහසික ප්‍රීතියක් නොවේ යැයි කිසිවකු කියන්නේ නම් මම විපිළිසර වෙමි. දේශපාලනය, සාමාන්‍ය මිනිස් ජීවිතය කෙරෙහි සිදු කරනු ලබන පරිපූර්ණ බලහත්කාරය නිද්‍රාවේ ඉන්නා මිනිසා සොලවමින් කියන අතර ඔහුද; ඔහුටම සිනාසෙයි. වත්මන් පාරිභෝගික සමාජයේ අපි; අපිටම සිනාවෙමින් සිටින්නෝ නොවෙමුද? එකෙකු පණ අදින විට, වෙඩි කෑ විට පවා මේ සාහසික විනෝදය අප කෙරෙහි බල පවත්වයි. ඒ ශිෂ්ට සම්පන්නකම කොතැනකින් ගැලවී ගියේදැයි සෙවීමට දැන් කාලයක් ඉතිරිව නැත. 'අපි ඊයෙ වෙනකං සතුරො කියල හිතාගෙන හිටපු එවුං අද මිතුරො.. මිතුරො කියල හිතං හිටපු එවුං සතුරො.. ඉතිං ඕන මිනිහෙක් ඕන වෙලාවක සතුරෙක් වීමේ ඉඩකඩ තියෙනව..ඒක හින්ද අපිටනං ඉතිං නායකතුමා ඇරෙන්න අනිත් හැම මිනිහම සතුරෙක් තමයි.' මේ උත්ප්‍රාසාත්මක සත්‍ය මඟ හරින්නට නම් මේ අපූරු ටවුමේ තොවිලයට ඔබව බෙල්ලෙන් අල්ලාගෙන ගොස් අත හරින්නට මට හැකිය. අතින් පැන් කෙණ්ඩි ගෙන සබයට එන්නේ මීඩියා කෝලමය. ඔවුන් දොඬවන්නේ සම්ප්‍රපලාපය. සබයෙන් නැඟෙන්නේ කොක්හඬලා සිනාසෙන හඬය. මේ සියල්ල මැද ආර්යා කෝලම ය. ඒද අනවසරයෙන් කඩා වැදීමකි. වසරින් වසර ආණ්ඩු කළ සියල්ලෝම මහජනතාවගේ ජීවිතයට අනවසරයෙන් කඩා වැදුණෝම වෙති. රැවටීමේ ආශාවෙන් මඬනා සිතින් යුතුව කතිරය ගසන මහජනතාව ද ඊට නොදැවෙනිය. පාලනය කිරීමට කෙනෙකු සොය, සොයා රට වටා ඇවිදින්නට ඔවුන් රුසියෝය. පාලිතයන් යටතේ දුක් ද, දෝමනස්ස ද අනවශ්‍ය දරා ගැනීමක් සහිතව කටයුතු කිරීම මොවුන්ගේ සිරිතය. 'නමාගෙන කොන්ද ඇවිත් ඉල්ලයි අපේ ඡන්ද' කියන්නේ එහෙයිනි. මල් වට්ටිය අත තබාගෙන හේ පැමිණෙයි. ඇඳුම් ආයිත්තම් ආදිය වර්ණවත්ය. මේ පැමිණ සිටින්නේ නායකතුමාය. දැන් ඔහු ගෝඨයිම්බර රජුගේ චරිතය ආවේස වී ප්‍රශ්න විසදන වෙලාවයි. ප්‍රත්‍යන්ත දේශයෙන් හීංබබා එන්නේ තමන්ගේ බිරිය ලණුවකින් බැදගෙනය. බිරියක දක්කාගෙන එන ස්වාමි පුරුෂයකු දුටුවාමය. උන් දුකෙන් ඉන්නා බව කියයි. පසුතලයෙන් දුම් ගසයි. සාම්බ්‍රානි පුසුඹ අවට පැතිර යයි. වැලමිටෙන් ඇණ ගනිමින් සබාවේ වුන් කොක්හඬලයි. මේ සා නිදහසේ තමන්ගේ ප්‍රශ්නවලට සිනාසෙන්නට හැකි මහජනතාවක් ඉන්නේ ද අපේ රටේමය. තොප සිනාසෙන්න්නේ හෙයින් මම සිනාසෙමි යැයි කිසිවකු නොකියයි. එහෙත් තොපිට තොප විසින්ම සිනාසෙන්නේ මන්දැයි ප්‍රශ්න කළහොත් විපිළිසර වන අභූත මහජනතාවකි. මේ පාරිභෝගික සමාජයේ ස්ත්‍රීය සහ පුරුෂයා යනු එකිනෙකාගේ සිරුරු පවා ආක්‍රමණය කරන සත්ත්ව කොට්ඨාශයක් බදුය. 'පිරිමි කියන්නෙ ගෑනු ඇති කරන සත්තු ජාතියක්' යැයි කියන විට පාරිභෝගිට්ක සමාජයේ ස්ත්‍රීය කෙතරම් බල සම්පන්නද කියා සිතෙන්නට වෙයි. ගැ?ටුම ද, පැණය ද, පිළිතුර ද සියල්ලම ඇත්තේ එතැනය. ස්ත්‍රීය පරිභෝජනය කරන ප්‍රමාණයේ ශීඝ්‍ර වර්ධනයය. පුරුෂ කේන්ද්‍රීය සමාජයේ කඩා වැටීමය. ඒ මැදින් ගලන ගංගාවය. ඉවුර දෙපස සිටින අවශේෂ ජනතාවය. 'රජු : එහෙම කොහොමද යකෝ පවුලක් ගෙනියන්නෙ..ගෑනියෙක් උනහම තමංගෙ මිනිහට කීකරු වෙන්න ඕන කාන්තාව : එහෙම කීකරු උනේ ඒ ඉස්සර උංගෙං වැඩක් තිබ්බ කාලෙ..දැං උංට ඕන්නං අපිට කීකරු වෙන්න කියපල්ල..' ගෝඨයිම්බර කෝලම යනු කොළ ගැලවිය හැකි ගෝවා ගෙඩියකැයි කීවේ එහෙයිනි. ස්ථරයෙන්, ස්ථරයට ඔබට අත්‍යවශ්‍ය ප්‍රමෝදයක් සහ අනවශ්‍ය බලාපොරොත්තු බෙදන අතර නිතරම 'ඊළඟ කෑල්ල වඩා රසවත්' බව ම හඟවයි. මේ දැන් තිබෙන දෙය; සත්‍ය යනු මිත්‍යාවක් බවත්; සිදුවිය හැකි දෙය සත්‍ය බවත් පවසමින් ආතුරයා විකල් කර දමයි. සාම්ප්‍රදායික බලි, තොවිල්, ශාන්තිකර්ම සමඟ තමන්ට ඕනෑ ආකාරයට හිට ගනිමින් පර්යේෂණයක් කරන ඩෙනිස් පෙරේරා ගෝඨයිම්බර කෝලම සමඟ සාහසික විනෝදයක් පොළොවට අතහැර ඇතැයි මා කියන්නේ එහෙයිනි. ඒ වර්ණවත් දුම් බෝම්බයක් හෙයින් ආපදාව අවමය. 'බිසව : ඔබතුමාගෙ පස්සෙං මිනිස්සු ආපු කාලෙ දැං ගියා, පිරිමිකම දැං රජකමක් නෙමෙයි ලෙඩක්, ඒක හින්ද මෝඩයෙක් වගේ ඉඳල වඳවෙලා යන්න හදන්නැතුව ගිහිං කට්ටියට එකතුවෙමු, එනව යන්න.' එක අතකින් නියම බෝම්බය පිපිරුණේ දැන්ය. රජකම් ද, පිරිමිකම් ද, බලහත්කාරකම් ද අහවර වීගෙන පිපුරුණු ඒ බෝම්බයට කන් අගුලු වැ?ටුණු හෙයින් තවත් කිසිවක් නෑසෙනු ඇත. බොහෝ කාලයකට.
|