වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




උපාලි කීර්තිසේන තවමත් අතුරුදන්

උපාලි කීර්තිසේන තවමත් අතුරුදන්

මිතුරා කියන කතාව විශ්වාස කළ හැකිද?

අපට නීතියෙන් පිළිසරණක් නැහැ

පසුගිය ජනවාරියේ එක්තරා දිනයක උපාලි කීර්තිසේන සරසවියට ආවේය. ඒ ඔහුගේ පුවත්පත් ලිපියක් පළ කරවා ගැනීම සඳහාය. උපාලිගේ එම ලිපිය ලිවීම කර්තෘතුමා බාර දුන්නේ මටය.

ආගිය තොරතුරු රැසක් කතාකොට ඔහු පුවත්පත් ලිපියට මුල පිරුවේය. එදින උපාලි තම කලා ජීවිතය ගැන බොහෝ දේ කතා කළේය. හදිසියේම ඔහු මෙලෙස කිවේය.

'මල්ලි දන්නවාද මාව මැරෙන්න ගියානෙ නාන්න දිය ඇල්ලකට ගිය වෙලාවක. එදා මැරුණා නම් මේ වන කොට අවුරුද්දක්. ඒත් එහෙම වුණේ නැහැ. මාව මරන්න ලෙහෙසියෙන් බැහැ. ඒකට හේතුව වාසනාව මල්ලි වාසනවා.

උපාලි එලෙස කියා මහ හඬින් සිනහ විය. කෙසේ වෙතත් මේ වන විට උපාලි කීර්තිසේනට කුමක් වීදැයි කිසිවකු නොදනිති. පසුගියදාක උපාලිගේ යහළුවෙක් උපාලිව මුණ ගැසෙන්නට ගෙදරට එන්න පටන් ගෙන තිබුණි.

උපාලි දියේ ගිලෙන්නට ගිය ගමනේ මූලිකත්වය ගෙන තිබුණේ ද එම මිතුරාය. ඒ පිළිබඳ නිවැසියන් ද දැන සිටියේ නැත. මේ මිත්‍රයා උපාලිට සිරීපාදේ යමු යැයි යෝජනාවක් ගෙන ආවේ අහම්බයෙනි. ඒකාකාරී ජීවිතයක් ගත කළ උපාලි වෙනසකටත් එක්ක එකී ගමනට කැමැත්ත පළ කළේය. පෙබරවාරි තුන් වැනිදා උපාලි යාළුවත් සමඟ සිරීපාදේ යෑමට පිටත් විය.

සාමාන්‍යයෙන් ඔහු නිවසින් පිටතට ගිය අවස්ථාවන්වලදී නිවැසියන්ට දුරකතන ඇමතුමක් දුන්නේ නැති තරම්ය. ඒ උපාලිගේ හැටිය. මේ ගමනේදිත් එලෙසම විය. සත් දිනක් ගත වී ගියේය. සිරීපාදේ ගිය උපාලිට කෝල් එකක් ගැනීමට හොඳ යැයි ගෙදර උදවිය හිතුවේ නිකමට මෙනි. ඒ අවස්ථාවේදී උපාලිගේ දුරකතනය ක්‍රියා විරහිත කොට තිබිණ.

පැය කිහිපයකට පසුව ද ඇමතුමක් ගත්ත ද ඒ මොහොතෙහිද උපාලිගේ දුරකතනය ප්‍රතිචාර නොදැක් වීය. දින කිහිපයක් පුරාවට සැරින් සැරේ නිවැසියන් උපාලිව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල විය. දෙලෝ රත් වූ උපාලිගේ සොයුරි තමාරා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා උපාලි ඉන්න තැනක් ගැන සොයා ගැනීමට වෙර දැරීය.

උපාලිගේ හිතවතුන්ට කතා කළේය. ඒ අතරතුරේ එක් මිතුරෙක් කීවේ උපාලිගේ දුරකතනය පෙබරවාරි දහ වැනිදා ක්‍රියාත්මක කොට තිබූ බවය. එදා සිට දුරකතනය විසන්ධි කොට තිබූ බව ද ඔහු පැවසීය.

නිවැසියන් තව තවත් උපාලි ගැන සෙව්වේය. ඒ එක් අවස්ථාවකදී උපාලි සමඟ ගිය මිතුරාට ද කතා කරනු ලැබුවේ මහත් වූ පරිශ්‍රමයකින් ඔහුගේ දුරකතන අංකය සොයා ගත් පසුවය. ඔහු කියූ කතාවෙන් පසු උපාලිගේ නිවැසියන් කබලෙන් ලිපට වැටුණාක් මෙන් විය.

'උපාලි ගෙදර යනවා කියලා ආවනෙ'

ඔහු පැවසුවේ එවැන්නකි. දිගින් දිගට උපාලි ගැන ඔහුගෙන් විමසුව ද එම පිළිතුර හැර වෙන කිසිදු දෙයක් ඔහුගෙන් අසා ගැනීමට නොහැකි විය.

තවත් බලා නොසිටි තමාරා වැලිකඩ පොලීසියෙහි පැමිණිල්ලක් දැම්මේය.

තවමත් උපාලි ගැන කිසිම ආරංචියක් නැහැ. මොනවා වුණාද කියලා අපිටත් හිතාගන්න බැරුවයි ඉන්නේ. අපි දන්න විදිහට උපාලි කාටවත් වංචා කරලා නැහැ. ණයට සල්ලි අරගෙනත් නැහැ. බොහොම අවංක විදිහටයි කලාවෙන් හම්බ කළේ. උපාලි අපිට හොඳට සැලකුවා.

මේ සිංහල අවුරුද්ද ගෙවුණේ උපාලි නැතිව. ඔහුට සාමාන්‍යයෙන් අවුරුදු කාලෙ නොසෑහෙන්න වැඩසටහන් මියුසිකල් ෂෝස් තියෙනවා. ඒවායින් ලැබෙන මුදල් ගෙනත් ගෙදරදි මහ ඉහළින් අවුරුදු සමරනවා. ඒත් මේ වසරෙදි එහෙම නැහැ. උපාලි නැතුව අපිට අවුරුද්දකුත් නැති තරම්.

තමාරා එලෙස පැවසුවේ හැඬූ කඳුළින්ය. මේ වන විට උපාලි අතුරුදන් වී තෙමසකට ආසන්න කාලයක් ගත වුණිද මේ වන විටත් කිසිම වගකිවයුතු අයකුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව තමාරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අපිට නීතියෙන්වත් තවමත් පිළිසරණක් නැහැ. කොපමණ පැමිණිලි දැම්මත් කිසිම තොරතුරක් නැහැ. ඇහැව්වොත් කියන්නේ පරික්ෂණ පවත්වනවා කියලයි.

මව සහ සොහොයුරිය

උපාලි කීර්තිසේන අවිහිංසක කලාකරුවකු හැටියට ප්‍රකටය. එමෙන්ම ඔහු හරි හම්බ කළේ කලාවෙන් පමණක්ය. සරසවිය පුවත්පත වෙනුවෙන් යම් උත්සවයකට ආරාධනා කළ විට නෑ බෑ නොකියා ක්ෂණයකින් 'මම එන්නම්' කියූ කලාකරුවන් අතර උපාලි ද සිටියේය.

රන්ජන් රාමනායක, රොජර් සෙනෙවිරත්න, කුමුදිනි අධිකාරි ඇතුළු අතලොස්සක් කලාකරුවන් හැරුණු කොට උපාලි පිළිබඳ උනන්දු වන්නෝ ද අඩුය. කෙසේ වෙතත් මේ වනවිට මෙරට කලාකරුවකු අතුරුදන්ව සිටියි. ඒ පිළිබඳ දන්නෝ ද වෙති. නොදන්නෝ ද සිටිති. නොදන්නෝ මෙමඟින් දැන ගනිති.

එහෙයින් මීට වඩා උපාලි ගැන සෙවිය යුතු යැයි අපට සිතේ. මන්ද යත් මේ නැති වී සිටින්නේ කලාකරුවෙකි. සාමාන්‍ය පුද්ගලයකු අතුරුදන් වූවාටත් වඩා උපාලිගේ අතුරුදන් වීම වැඩි දෙනෙකුට වගක්වත් නැති බව හැඟේ.

උපාලි සමඟ ගිය මිතුරා ද පවසන්නේ අරුම පුදුම කතාවකි. ඔහු තම මිතුරා වෙනුවෙන් යමක් කරන බවක් පෙනෙන්නට නැත. උපාලි රත්තරං ආභරණවලට ඉතාම කැමැති බව උපාලිගේ සොහොයුරාගේ පුතනුවන් වූ සිරාන් පවසයි.

මාමා පැළඳ සිටින ආභරණවල වටිනාකම ලක්ෂ දෙක තුන ඉක්මවනවා. මේ ළඟදී අලුත් බේස්ලට් එකක් පවා ගත්තා. ඒවා ගන්න කවුරු හරි මාමට කරදරයක් කළා ද මන්දා. අපට වෙලාවකට එහෙමත් හිතෙනවා.

උපාලි පිළිබඳ තොරතුරක් දන්නවා නම් 0718744167 අංකයට පැවසිය හැකිය. එමෙන්ම 119 අංකයට ඒ පිළිබඳ දැන්වීමට පුළුවන. උපාලිගේ හදිසි අතුරුදන් වීම ගැන සරසවිය අප ද කණගාටු වෙමු. ඉතා ඉක්මනින් උපාලි ගැන සුබදායි තොරතුරක් ලැබේවා යැයි ද අප බලාපොරොත්තු වෙමු.