වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




තරු උන්මාදයේ අරුමය

තරු උන්මාදයේ අරුමය

සිනමා තරුවක හා රසිකයකු පිළිබඳ චිත්‍රපටයක් මේ දිනවල ලංකාවේ මෙන්ම ලෝකය පුරා තිරගත වෙයි. ඒ මතිශ් ශර්මා අධ්‍යක්ෂණය කරන ලද ෆෑන් චිත්‍රපටයයි. තරු හා රසිකයන් පිළිබඳ තවත් අපූරු චිත්‍රපට කිහිපයක් මගේ මතකයට නැඟෙයි. එඩ්වඩ් ඩියන්ස් 1981 වසරේදී නිර්මාණය කරන ලද ද ෆෑන් එබන්දකි. ලෝරන් බැකෝල් එහි නිළියකගේ චරිතය නිරූපණය කරන ලදී. උමතු රසිකයා වූයේ මයිකල් බිහෝන්ය. ඉන්දියානු සිනමාවේ බිහි වූ විශිෂ්ට සිනමාකරුවකු වන බාසු බට්ටාචාර්යගේ කුළුඳුල් නිර්මාණය වූ තීස්රි කසම් මෙන්ම සිරි කුලරත්න නිර්මාණය කරන ලද නිළියකට පෙම් කළෙමි චිත්‍රපටයට පාදක වූයේ ද තරු හා රසිකයන් අතර ඇති සබැඳියාවයි. විටෙක උමතුවෙන් ප්‍රේ්ම කිරීමෙන් මෙන්ම, තවත් විටෙක ද්වේශ කිරීමෙන් ද තරු හා රසිකයන් අතර අපූරු සබඳතාවයක් පවතී. මේ තාරකා - රසික සබැඳියාව රංගන ක්ෂේත්‍රයේ මතු නොව, ගායන ක්ෂේත්‍රයේ ද වෙනත් ක්ෂේත්‍රවල පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ ද අවියෝජනීය එකකි. දේශපාලනය හා ඡන්දදායකයා අතර ඇත්තේ ද එබඳු සබඳතාවයකි. මේ වෑයම ෆෑන් චිත්‍රපටය පිළිබඳ ලියන්නට නොවේ. ඒ සමඟ මතු වූ සිනමා තරු හා රසික සබැඳියාව සිහි ගන්වන්නටය.

සැබැවින්ම සිනමා තරුවක් ලෙස අර්ථ දක්වන්නේ හුදු ජනප්‍රියත්වයෙන් පමණක් ඉහළට එසවැන්නෙකු නොවේ. මේ ජනප්‍රියත්වය ඇතුළෙහි අද්විතීය කුසලතාවයක් ද පැවතිය යුතුය. චාලි චැප්ලින්, දිලිප් කුමාර්, අමිතාබ් බච්චන්, ගාමිණී ෆොන්සේකා වැන්නන් තාරකා ඝණයෙහිලා සලකන්නේ එවන් දක්ෂතා, කුසලතා පළ වූ බැවිනි.

කලකට ඉහත ලාංකික සිනමාවේ ජනපි‍්‍රය තරුවක්ව සිටියකු මෙයට දශක දෙකකට පමණ පෙර මා සොයා ආවේය. ඔහු තරුවකව සිටියේ පනහ දශකයේය. ඔහු මා හමුවන්නේ අනූව දශකයේ මැදය. එකල ඔහු රඟපෑ චිත්‍රපට දින සියය ඉක්මවා තිරගතව තිබුණ බව මා අසා තිබිණි. ඔහු මා හමුවන්නට පැමිණෙන විටදී ඔහු ගැන දන්නා කිසිවකු හෝ නොවීය. තවත් ටික කලකට පසු ඔහුගේ අවමඟුලට සහභාගි වූයේ අතේ ඇඟිලිවලින් ගණනය කළ හැකි සංඛ්‍යාවකි. අවමඟුලට සහභාගී වූ ප්‍රවීණ සිනමාවේදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා ඔහුගේ ජනප්‍රිය යුගය හා අවසානය පිළිබඳ අපූරු සංසන්දනාත්මක කතාවක් පැවසුවේය.

සිනමාව බිහි වී දශකයක් ගෙවෙන්නටත් මත්තෙන් ඇරඹි කතා කීමේ කලාව සමඟ ඇරැඹි කිසිදු නළුවකුට හෝ නිළියකට තම සැබෑ නමින් පෙනී සිටිමට මුලින් අවසර නොවීය. ඒ ඔවුනගේ ජනප්‍රියත්වය සමග තමන් අතැර දා යතැයි හා විවිධ ඉල්ලීම් කරන්නේ යැයි චිත්‍රපට ආයෝජක සමාගම් සැලකූ හෙයිනි. මේ නිසා බොහෝ සිනමා තාරකාවන්, විශේෂයෙන් නිළියන් හඳුන්වා දෙන ලද්දේ බයෝග්‍රාෆ් ගර්ල්, ලිට්ල් මේරී ආදී වූ අන්වර්ථ නාමයන් සමඟය. බොහෝ දෙනෙකුට කිව හැකි තරම් යහපත් අතීතයක් තිබුණේ නැත. එහෙත් 1913 දී ෆ්ලෝරන්ස් ලෝරන්ස්ට සිය සැබෑ නාමයෙන් පෙනී සිටීමේ අවස්ථාව ලැබිණ. ෆ්ලෝරන්ස් ඇමරිකාවේ මුල්ම සිනමා තරුව ලෙස හැඳින්වනුයේ එහෙයිනි.

කෙකෙස් වෙතත් සිනමා තාරකාවන්ට වහ වැටීම චිත්‍රපට ඉතිහාසයේ ආරම්භයේ සිටම සිදු වූවකි. ඔවුන් විලස ජීවත්වීම, විලාසිතා කිරීම ආදී වූ බොහෝ කරුණු තාරකා වර්ධනය සමඟ ගොඩ නැඟිණි. ඒ ඔවුන් වීරයන් බවට පත් වූ හෙයිනි. සිනමාකරුවන් පැත්තක සිටියදී තාරකා ඇදහීම ඇරැඹිණි. තාරකාවන් හරහා චිත්‍රපට ජනප්‍රිය කරවීම කලාව සමඟ ඔවුන් වටා අපූරු ප්‍රබන්ධ මෙන්ම එම චරිත සාමාන්‍ය මිනිසුන්ගෙන් බැහැර කොට 'සුපිරි' බව ආරූඪ කිරීමේ ව්‍යාපෘති දියත් කෙරිණ. මෙහිලා පුරෝගාමී වූයේ හොලිවුඩ් සිනමා කර්මාන්තයයි. ලොව සිනමාවේ අදිසි හස්තය හොලිවුඩය බවට පත් කිරීමට සිය කෙටි ජීවිත කාලය මෙහෙයවන ලද්දායි අර්වින් තැල්බර්ග්ය. මෙම සම්ප්‍රදාය ගොඩ නැංවූයේ ඔවුන් පිළිබඳ පුළුල් ඕපාදුප, රස කතා ආදී සියල්ලටම ඉහළ ඉල්ලුමක් ඇති කරමිනි. ඔවුන්ගේ ප්‍රේම සබඳතා, විවාහයන්, දරු උපත් ආදී සියල්ල අති විශාල ප්‍රවෘත්ති බවට මෙමඟින් පරිවර්තනය කළහ. මේ සියල්ල සිනමා කර්මාන්තයේ ආර්ථික ප්‍රයෝගයන් විය. බොහෝ සිනමා තාරකාවන්ගේ අතීතය සඟවාලමින් අපි ඔවුන් දකිනවාට වඩා ගුණ යහපත් සුඛෝපභෝගී ජීවිත ගත කරන පුද්ගලයන් හැටියට මවා දෙනු ලැබිණ. මෙහිදී මුද්‍රිත මාධ්‍ය මඟින් වැදගත් මෙහෙයක් ඉටු කෙරිණ.

සිනමා තාරකාවන්ගේ පහස ලබන්නට ඒ අවදියේ සිටම විවිධ සිනමා රසිකයෝ පෙළ ගැසුණාහ. මුල් යුගයේ අතිශය ජනප්‍රිය සිනමා තරුවක් වූ රුඩොල්ෆ් වැලන්ටිමෝගේ හදිසි මරණයෙන් කැළඹුණු ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් විය. අසල්වැසි ඉන්දියාවේ එම්. ජී රාමචන්ද්‍රන්ගේ මරණය මෙන්ම අපේ විජය කුමාරතුංගයන්ගේ ඝාතනයේදී සිත වාවා ගත නොහැකි වූ රසිකයන් දිවි නසා ගත් බව තවමත් අපට අමතකව නොයන්නකි. කලකට ඉහත සිනමා තාරකාවක් නොව, ඔවුනගේ ළඟින් ගිය කෙනෙකු පවා ඇසුරු කිරීමට ඉඩ ලැබීම මහා ලොකු හපන්කමක් විය.

සිනමා රසිකයන් හා තාරකා අතර ගොඩ නැඟෙන සබඳතාවය චිත්‍රපටයට බෙහෙවින් වාසිදායක වෙයි. ජනප්‍රියත්වය සමඟ හිස උදුම්මවා ගන්නා බොහෝ තාරකාවන්ට ආසියාකරයේ දී නම් ඇඩ්‍රස් නැති වන අවස්ථා එමටය. ඒ සිනමා තාරකාවන්ගේ වෘත්තීය මට්ටමේදී ඔවුන් පිළිගත් ප්‍රේක්ෂකයන් ගොඩ නඟන ප්‍රතිරූපය සැබෑ ජීවිතයේදී ද රසිකයන් බලාපොරොත්තු වන හෙයිනි.

හතළිහ දශකයේදී ලංකාවේ පැල් බැඳගෙන තිර ගත කරන ලද චින්තාමනී චිත්‍රපටයේ රඟපෑ අශ්වත් අම්මා නම් දකුණු ඉන්දීය නිළියට වහ වැටුණු ඇතැම් ලාංකික රසිකයකු ඇයගේ අත පතා නොව බැල්මක් පතා හෝ ඉන්දියාවට ගියේ සිය ඉඩකඩම් උකස් කොට වගක් එකල පළ විය. ඉතා මෑතකදී ෂාරුක් ඛාන්ගේ උපන් දිනය දවසේ ඔහුගේ නිවස ඉදිරිපිට රොක් වූ අති මහත් රසික සංඛ්‍යාව අති විශාලය. කලකට ඉහත ලංකාවේද මෙරට සුපිරි සිනමා තරු හමුවන්නට වරු ගණන් බලා සිටි රසිකයන් එමටය. එය කෙනෙකුට බැලූ බැල්මට මෝඩකමක් යැයි හැඟී ගිය ද ගැඹුරින් සිතතොත් එහි තිබෙනුයේ මිනිසුන්ගේ අසීමිත ආදරයට ගොදුරුවීමේ පුණ්‍යවන්තභාවයයි. එමෙන්ම භක්තියයි. මේ භක්තිය නිසාම ඉන්දියාවේ ඇතැම් සිනමා තාරකාවන් වෙනුවෙන් දේවාලයන් ඉදි කරන ලද්දේ ඔවුන් දේවත්වයේ ලා සලකමිනි. එහෙත් මේ දේවාල බිඳ හෙළන්නට ද රසිකයන්ට වැඩි කලක් ගත නොවේ. සුකුමාල සුරූපී හේමා මාලිනීට පෙම් බැඳ ආදරය කළ සිනමා රසිකයන් ඇය හා සිනමාවේ පෙම් බැඳි ධර්මේන්ද්‍රට ද අපමණ ගෞරවය කළහ. එහෙත් ධර්මේන්ද්‍රගේ මුල් විවාහය කඩාකප්පල් කිරීමේ චෝදනාව සමඟ ධර්මේන්ද්‍ර - හේමා මාලිනී රඟපෑ චිත්‍රපට ප්‍රතික්ෂේප කරන්නට ද රසිකයන් පෙළඹුණහ. මේ කතා අපේ සිනමාවේ ද එමටය.

මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සලට යන රසිකයන් ඊළඟට හැරුණේ එකල ඒ සමීිපයේ ජීවත් වූ රුක්මණී දේවිිය දැකගන්නටය. රුක්මණී එකල ලාංකික සිනමවේ ස්ත්‍රී ප්‍රතිමූර්තිය වූවාය. ඇය නළඟන චිත්‍රපටයේ ත්‍රි ක්වාටර් කලිසමකින් සැරසී නළඟනක ලෙස රඟපෑ අයුරු දැක කෝපයට පත් වූ මහජනතාව අතර මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ද වූයේය. වික්‍රමසිංහයන් එහිලා චෝදනා කරනුයේ රුක්මණී අනුකරණය කරන ලාංකික කාන්තාව ද එලෙස හැසිරීමෙන් සංස්කෘතියට වන හානිය පිළිබඳවය.

වරක් ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයක් දවස් දෙකෙන් අනුරාධපුරේ සිත්තම්පලම් සිනමාහලෙන් එළියට දැම්මේ එහි එක් නිළියක් ගාමිණීට කම්මුල් පහරක් ගසන දර්ශනයක් තිබුණ නිසාවෙනි. 'අපේ හීරෝට එහෙම ගැහැනුන්ට ගහන්න දෙන්න බෑ' කලමනාකරුගේ තීන්දුව එය විය. සිනමා තාරකා පිළිබඳ අප්‍රමාණ භක්තියේ තවත් ඒ අවස්ථාවකි.

ලාංකික සිනමාව පමණක් නොව ලෝක සිනමාවේ පැවැත්මේදී ද එකී භක්තිය එහි පදනම සවිමත් කරන්නකි. එය සිනමාවේ පැවැත්ම පිළිබඳ සාධකයකි. මෙම ජනප්‍රියත්වය හෝ රසිකයන්ගේ ආදරය ප්‍රතික්ෂේප කිරීම සිනමාවට මෙන්ම තාරකා වෘත්තියට ද හානිකර එකකි. ඇතැම් විට ඔවුන් කරදරකාරයන් වන අවස්්ථා එමටය. මෙයට දශකයකට පමණ පෙර අපේ ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ පේ‍්‍රමය පතා ගිය තරුණයෙක් නිවසේ තාප්පයෙන් පැන දිවි නසා ගන්නට තැත් කිරීම එකල ජනප්‍රිය පුවතක් විය. අන්තිමේ දී සබීතාට ඇති ආදරය කියාපන්නට චිත්‍රපටයක් නිපද වූ ඒ හාදයා ගැන තොරතුරක් නැති විය.

සිනමා රසිකයන් පිළිබඳ අපූරු කතා ලියන්නට මේ පිටුව ඉඩ මදිය. වරක් අපේ ජනප්‍රිය නළුවකු වන සොමී රත්නායක සිනමා රසිකයකු ගැන අපූරු කතාවක් පැවසුවේය. මඟ තොටදී හමු වූ එක් තැනැත්තෙකු සොමීට බැණ වැදුණේ ඔහුව අමතක වී තිබීම ගැනය. මේ රසිකයා කවදා හමුවීදැයි සොමීට මතයක් තිබුණේ නැත. බැරිම තැන සොමී ඉතා කාරුණිකව විමසා සිටියේ හමු වූ තැන ගැනය. රසිකයාගේ උත්තරයට සොමීට තරු පෙනිණි.

'ඇයි සර්, අර මාතර මොණරතැන්න චිත්‍රපටය ෂූට් කරද්දී සර් ආවානේ. එතකොට අපි ඔක්කොම බලන්න ඇවිත් අත වැනුවා. සර් මට අත වැනුවේ. මාත් අත වැනුවනේ. ඉතින් අමතකයි නේද මාව'

සොමී රත්නායකයන්ගේ වැරැද්ද වූයේ මිනිසුන් සිය ගණානක් මැද ඒ ප්‍රේක්ෂකයා එයින් දස වසරකට පසුව පවා මතකයේ තබා නොගැනීමය. ඒ රසිකයන්ගේ හැටිය.