වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී නිසා චිත්‍රපට සංස්ථාවේ රැකියාව නැති වෙයි

ගාමිණී නිසා චිත්‍රපට සංස්ථාවේ රැකියාව නැති වෙයි

26 කොටස

1970 මහ මැතිවරණයෙන් විශිෂ්ට ජය ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවීමෙන් පසු මැතිවරණ පොරොන්දුවක් අනුව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට පියවර ගත්තේය. එතෙක් පැවති පෞද්ගලික සිනමා සමාගම්වල ඒකාධිකාරයට එරෙහිව සිංහල නළු නිළි පිරිසක් පෙරමුණ ගත්හ. ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 25 ක් සපිරෙන 1972 ජනවාරි 21 වෙනිදා චිත්‍රපට සංස්ථාව බිහි විය. මෙහි තනතුරු කිහිපයක් සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ දැන්වීම් පළ විය. මට ඉල්ලුම් කළ හැකි තනතුරක් ඒ අතර විය. එය නම් කර තිබුණේ 'ප්‍රවෘත්ති සහකාර' නමිනි.

'ඔයත් ඕකට ඉල්ලන්න. අවුරුදු පහක් පත්‍රවලට සම්බන්ධයිනේ. ලේක්හවුස් 'සරසවියේ' ස්ටාෆ් එකේ ඉන්නවා කිව්වාම එය ලොකුම සුදුසුකමක්. මොනව වුණත් ආණ්ඩුවේ ජොබ් එකක්නේ' තාත්තා මට කීවේය.

මා ඒ වන විට සරසවියට බැඳී වසර තුනකි.

'මම කැමති සරසවියට. නිදහස තියෙනවා. ස්ටාෆ් එකේ ඔක්කොම යාළුවෝ. රජයේ කන්තෝරුවල ලියන මහත්තයෙක් වෙන්න මම කැමති නෑ' මම තරයේ කියා සිටියෙමි.

'මිස්ටර් නිහාල්සිංහනේ සාමාන්‍යාධිකාරී. ඔයා දන්නවනේ. 'වැලිකතර' ගැනම කොච්චර ආටිකල්ස් ලිව්වද ? එයත් පුළුවන් උදව්වක් කරයි' මාමා තම හිතවත් නිහාල්සිංහයන් ගැන මතක් කරමින් කීවේය.

'වැලිකතර' චිත්‍රපටයට වැඩිම ලිපි ලියන ලද්දේ මා විසින්ය. මේ නිසා නිහාල්සිංහයන් හමුවීමට එවකට බම්බලපිටියේ එලිබෑන්ක් පාරේ ඔහුගේ නිවසට නිතරම යාමට මට අවස්ථාව ලැබිණ. ආදි ආනන්දීයකු වූ නිසා ඔහුට මම විශේෂයෙන් උපකාර කළෙමි. එම නිවසට යන බොහෝ විට සාලයේ පොතක් හෝ පත්තරයක් බලමින් සිටින නිහාල්සිංහයන්ගේ පියා වූ මහා පත්‍ර කලාකරු ඩී. බී. ධනපාලයන් දැක ගැනීමට ලැබෙයි. එය මට නම් රසඳුනක් විය.

චිත්‍රපට සංස්ථාවේ 'ප්‍රවෘත්ති සහකාර' තනතුරට ඉල්ලුම් කළත් නිහාල්සිංහයන්ගෙන් උදව් නොලබා සිටීමට මම සිතුවෙමි. ප්‍රථම හා දෙවන පරීක්ෂණ තිබුණේ ගාලු මුවදොර 'ගෝල්බක්' හි පැරණි ගොඩනැගිල්ලකය. පරීක්ෂණයට මා දන්නා එවකට සිටි මාධ්‍ය දැවැන්තයන් ද පෙනී සිටීම මට සතුටට කරුණක් විය. මට අවශ්‍ය මෙයින් මිදීිමටය. ජීවිතයේ මුල්වරට පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියට ගිය ප්‍රථම අවසථාව ද මෙය විය.

ඩී.බී.ධනපාල

කුලරත්න ආරියවංශ

මගේ වාරය එළඹිණ, චිත්‍රපට සංස්ථාවේ සභාපති එල්. පියසේන, සාමාන්‍යාධිකාරී නිහාල්සිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දොස්තර ලීනස් දිසානායක, මහාචාර්ය ජී. එල්.පීරිස් හා මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්. බී. රත්නායක එහි වූහ. මම හැම ප්‍රශ්නයකටම පිළිතුරු දුනිමි. නිහාල්සිංහයන් ගොළුවත රැක්කේය.

තරඟකාරී පරීක්ෂණයකින් පසු කරුණාසේන ජයලත්, රංජිත් නිව්ටන් ප්‍රනාන්දු, අයිවන් වීරක්කොඩි, රාණි සවරිමුත්තු හා මා ද තෝරා ගත් බව පැවසිණ. සතියකින් පසු මට දැනගන්නට ලැබුණේ මා පිළිබඳව පොලිස් වාර්තාවක් ලබා ගැනීමට යොමු කළ බවකි. එකල 71 කැරැල්ලට සම්බන්ධ අය ගැන විමසිලිමත් සිටි බවත්, රජයේ රැකියාවකදී අනිවාර්යෙන්ම ජනතා කොමිටිවල අනුමැතිය ලැබිය යුතු බවත් ප්‍රසිද්ධ රහසකි. මේ නිසා රන්ජිත් නිව්ටන් හා අයිවන් වීරක්කොඩිට පමණි රැකියා හිමි වූයේ. රාජ්‍ය පාක්ෂික ජනතා කොමිටිකාරයන්ට විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට ද අවස්ථාව ලැබිණි. පසුව ජයලත්ට රැකියාව ලැබුණත්, එතැන තමාට හිතකර නැතැයි ඔහු මට පැවසීය. රාණිට හා මට පොලිස් වාර්තා හරස් වී ඇතැයි ද ආරංචි විය.

මේ කාලයේ මම ලංකා ගුවන් විදුලියේ 'ළමා පිටිය' වැඩ සටහන්වල වැඩිහිටි අයියා කෙනෙකු හැටියට සහාය ලබා දුනිමි. කරුණාරත්න අබේසේකර, නන්දා ජයමාන්න, අශෝක තිලකරත්න ආදීන් මෙහෙය වූ මේ වැඩසටහන්වලට නිරතුරුව මම සහාය වූයෙමි. අශෝක තිලකරත්නගේ 'කනිටු සරසවිය' වැඩසටහනට සහභාගි වූ එක්තරා දිනක් එහි ළමා ගීත මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කිරීමට පැමිණි යුවතියක් කෙරෙහි මගේ සිත ඇදී ගියේය. ඇය ද මා දෙස ද උනන්දුවෙන් බැලුවාය. වැඩ සටහන අවසන් වී කැන්ටිමට තේ බීමට නංගිලා මල්ලිලා කැටුව යන්නට වූයේ මටය. මම සල්ලි ගෙවා ආපසු පැමිණ අසුනක හිඳ ගත්තෙමි. මා දෙස නෙතඟින් බැලූ යුවතිය මට තේ කෝප්පයක් ගෙනවිත් දී මා අසල ඉඳ ගත්තාය. මට අවශ්‍ය ඇගේ වගතුග දැන ගැනිමටය.

තමා ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා බවත් මොරටුවේ පදිංචි බවත් ඇය පැවසුවාය.

'නංගිගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ'

'තාත්තා පොලීසියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ'

'අනේ නංගී මට ලොකු උපකාරයක් තාත්තගෙන් කරගන්න ඕනෑ. මම ආණ්ඩුවේ ජොබ් එකකට ඉල්ලුවා. පොලිස් රිපෝට් එක නිසා ඒක දැන් නවත්තලා. මට දැනගන්න ඕනෑ මොකක්ද හේතුව කියලා.'

'අයියේ අපේ තාත්තා තද නීතිකාරයෙක්. අපිටත් ටිකක් තදයි. මම මෙහෙම උදව්වක් කරන්නම්. තාත්තා ගෙදර ඉන්න වෙලාවක ඇවිත් ඔයාම කාරණේ කියන්න'

'එහෙනං කොච්චර හොඳද?'

දින තුනකට පමණ පසු ඇය මා සොයා පැමිණියේ උද්දාමයකිනි.

'අයියට සෙනසුරාදා හැන්දෑවට ගෙදර එන්න කිව්වා'

සෙනසුරාදා ඇගේ නිවසට ගොස් ඇගේ තාත්තාට මම අවශ්‍ය දේ කිව්වෙමි.

'බොහොම අමාරු වැඩක්. අපේ දෙපාර්තමේන්තුවේ කටයුතු රහස්‍යයි. ඒත් තරුණ ළමයකුගේ අනාගතයට බලපාන නිසා උදව්වක් කරන්න මම බලන්නම්' ඔහු බොහෝම බැරෑරුම් ලෙස කීවේය.

ඊළඟ සෙනසුරාදා ද එවැනිම කැඳවීමක් ඔහුගෙන් ලැබිණ.

'ගාමිණි ෆොන්සේකා ඔයාගේ මිත්‍රයෙක්ද?'

'ඔව්. දැනුත් එහෙ ඉඳලයි ආවේ'

'ඒක තමයි එයා ගැන ඔයා පොතක් ලිව්වද?'

'ඔව්. ඒත් පොතේ මගේ නම නැහැනේ'

'ඒ පොත පබ්ලිෂ් කරලා තියෙන එඩ්රස් එක කොහේද?'

'අපේ ගෙදර'

ගාමිණී ෆොන්සේකා

දමයන්ති

'ඒක තමයි. ඒ ඇඩ්රස් එක අනුව ඔයා ගාමිණීගේ හොඳ මිත්‍රයෙක් කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මට කනගාටුයි, මේ රිපෝට් එක අපි ගාව තියන කල් ඔයාට ආණ්ඩුවේ රැකියාවක් ලැබෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මම මේ ටික හරි කිව්වේ ඔයා අනාගතයක් තියෙන ළමයෙක් නිසා. ඔයා ලේක්හවුස් එකේම ඉන්න බලන්න'

මම බස් රියේ නැග බොහෝ දේ සිතන්නට වීමි. මා කෙතරම් බලගතු කෙනෙක්ද? මට රජයක් බිඳ දැමිය හැකිද? ගාමිණීගේ මිත්‍රත්වයෙන් මා රජය පෙරළන්නද? චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ (එල්. පියසේන මහතා) දියණිය විවාහ වී සිටින්නේ විපක්ෂයේ (එ. ජා. පක්ෂයේ) නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී දිසානායක මහතා සමඟය. එසේ නම් මාමණ්ඩිය හා බෑණා සමඟ ඇත්තේ මට වඩා සමීප සම්බන්ධයක් නේද? මා වැනි අසරණ තරුණයකු ඒ අතින් බිමට පෑගෙන දූවිල්ලක් පමණි. මම හිත හදා ගතිමි.

ගාමිණිත් මාත්, අතර කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් නොමැති බව කියා එකල රජයේ ප්‍රබල නියෝජ්‍ය ඇමැතිවරුන් වූ රත්න දේශප්‍රිය සේනානායක, වී. ටී. ජී. කරුණාරත්න මහතුන්ද, අමාත්‍යවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් අමාත්‍යවරයා ද අගමැතිනියට ඉල්ලීම් කර තිබුණි. කරුණාරත්න සපුතන්ත්‍රි, කිංස්ලි දිසානායක හා යසරත්න තෙන්නකෝන් යන මිතුරන් මේ සඳහා උනන්දු වූ බව මා සඳහන් කරන්නේ ඔවුන් අද ජීවතුන් අතර නැති නිසා ඔවුන් ආදරයෙන් අනුස්මරණය කරමිනි. 'නිම්වළල්ල' චිත්‍රපටයේ අධ්‍යක්ෂ රංජිත් ලාල්ගේ මව වයලට් සිල්වා මැතිනිය අගමැතිනියගේ ළඟම මිතුරියකි. ඇයට ද මගේ රැකියාව ලබාදීමට නොහැකි විය.

මේ සියලු තොරතුරු අසා ගාමිණී මට අනාවැකියක් කීවේ මගේ අත බලමිනි. ඔහු ජ්‍යෝතිෂයේ ප්‍රවීණයෙකි.

'තමුන් හිත හදා ගන්න. ඔය ආණ්ඩුවේ රස්සාවලට ගියොත් ෆයිල්වලට යට වෙලා ඉන්න වෙන්නෙ. මම අනාවැකියක් කියන්නම්. තමුන් කවදා හරි දැන් කරන රස්සාවෙන් ඉහළටම යනවා. නමත් ප්‍රසිද්ධ වෙයි. බලනවා බොරු ද කියලා.'

මට ගාමිණී අයියාගේ වචන ශක්තියක් විය.

අර යුවතිය කෙරෙහි මගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි. 'ළමා පිටියේ' මගේ සමීපතම හිතවතුන් වූයේ නිරංජලා සරෝජිනි, රෝහණ සිරිවර්ධන හා ශ්‍යාමලී ලිවේරාය. ඔවුහු අප දෙදෙනා එක් කිරීමට හැම උපකාරයක්ම කළහ.

එකල ගුවන් විදුලියේ ළමා වැඩසටහන් (සංගීත සන්ධ්‍යාව), (දිමුතු කැකුළු), '(ළමා රංග පීඨය) වලට සහභාගි වූ පිරිසගේ අසම්පූර්ණ නාමාවලියක් මගේ මතකයට එයි. ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, ලලිත් සිරිවර්ධන, ගාමිණී පෙරේරා, සමන් අතාවුදහෙට්ටිි, පරාක්‍රම පෙරෙරා, රෝහිණී ජයසිංහ, පුෂ්පමාලා සුබසිංහ, චිත්‍රා කුමාරි කළුබෝවිල, චිත්‍රලතා කළුබෝවිල, ලංකා රාජනී ගුණසේකර, එල්සි රුද්‍රිගු, සන්ධ්‍යා සරත්සේකර, බණ්ඩාර දිසානායක, ඒ. එස්. පී. ලියනගේ ඒ අතර සිටියහ. මේ අතර සිටි අර යුවතිය දමයන්ති ජයසූරියයි.

ඇය ගැයූ ළමා ගීත කිහිපයක්ම එකල පටිගත වී ගුවනින් ප්‍රචාරය විය. ඒවා ගුවන් විදුලියෙන් ද ප්‍රචාරය විය. ගාමිණී විජේතුංග ලියූ 'හොර පූසි ඤාව් ඤාව්' (සංගීත නිර්මාණය සරත් දසනායක), මහින්ද අල්ගම ලියූ 'හුණු සාස්තර කාරයෝ' (සංගීතය ඩී. ආර්. පීරිස්), චන්ද්‍රසිරි සෙනෙවිරත්න ලියූ 'තැපැල් පියුම් මාමේ' (සංගීතය නන්දා මාලිනී), මහින්ද අල්ගම ලියු 'හිනාවෙන්න පොල් කිච්චෝ' (සංගීතය ඩී. ආර්. පීරිස්), චින්තන ජයසේන ලියූ 'පිණි කුමාරි සළු වියා' (සංගීතය සරත් දසනායක), සුනිල් ආරියරත්න ලියූ 'බෙලෙක්ක පෙර ටින්' (සංගීතය නන්දා මාලිනී), මෛත්‍රී පනාගෙඩ ලියූ 'හොට කරකවලා' (සංගිතය ඩී. ආර් පීරිස්), අජන්තා රණසිංහ ලියූ 'අතුරු මිතුරු වට වට කුරු' (සංගීතය ඩී. ආර්. පීරිස්) සුනිල් සරත් පෙරේරා ලියූ 'තුඬින් තුඩඟ ගී' (සංගීතය නන්දා මාලිනී), 'තාරංගා නංගී' බණ්ඩාර දිසානායක සමඟ (සංගීතය සරත් දසනායක), දේදුන්නට පාට හතයි (නිරංජලා සරෝජනී සමඟ - සංගීතය ඩී. ආර්. පීරිස්), සපුමල් ලන්දේ සපුමල් එතනා - (ලංකා රාජිනී ගුණසේකර සමඟ - සංගීතය ඩී. ආර්. පීරිස්).

දිනක් දමයන්ති සමඟ මා වෙත පැමිණි නිරංජලා මට මෙසේ කීවාය.

'අයියේ දමයන්තිට ගීතයක් ලියලා දෙන්නකෝ' කීවාය.

'මම ගීත ලියලා නෑ'

'මේක විශේෂ අවස්ථාවක්. අයියා ගීතයක් ලියලා දෙන්න ඕනෑ' නිරංජලා බලකොට සිටියාය.

'හෙට ලියාගෙන එන්න' දමයන්ති කීවාය.

මම දස අතේ කල්පනා කළෙමි. මට පිහිටට හිටියේ කුලරත්න ආරියවංශ මිතුරාය. මම ගීතයක් කුරුටු ගෑවේය. මම කුලේට එය පෙන්නුවෙමි.

'දිය සායම් තවරලා' මගේ ගීතය කුලේ සකස් කළේය. ගීතය සම්පූර්ණ කළේ ඔහුය.මම වීරයා මෙන් ඒ ගීතය දමයන්ති අතට දුන්නෙමි.

'හරි ලස්සන සින්දුව' ඇය සිනාසුණාය.

මම ගීතයේ පේළියක් දෙකක් ලිව්ව ද ගීයේ සැබෑ හිමිකරු කුලරත්න ආරියවංශ නම් මගේ මිතුරාය. එය ඔහුගේ මුල් ගීත රචනය ද විය.