වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඊළඟ ඉඩියට්

ඊළඟ ඉඩියට්

නිශාන්ත කහවිට කියන්නේ සාමාන්‍යයෙන් එක තැන ඉන්නෙ නැති කෙනෙක්. සැරිසර වැඩසටහන හින්දා රට වටේ යන ඔහු ඉඳහිට විදෙස් ගත වෙන්නෙත් ඒ හින්දා. මේ ළඟදී දවසක නිශාන්ත ගියා ඉන්දියාවේ. මුම්බායි ගුවන් තොටුපළෙන් එළියට එන්න හදද්දී පුරුදු මුහුණක් දුටුවලු. නිශාන්ත අවධානයෙන් බැලුවලු මේ කවුද කියලා.

'අප්පද බොල මේ බෝර්මන් හිරානි නේද' ඔහුට එහෙම කියවිලා.

බෝර්මන් හිරානි කියන්නේ සුප්‍රසිද්ධ නළුවෙක්නෙ. ත්‍රී ඉඩියට්, හැපි නිව් ඉයර්, පී. කේ. ආදී චිත්‍රපටයන්හි ඔහු විවිධ චරිත මැව්වා ඔබට මතක ඇති.

ඉතින් එහෙම කෙනෙක්ව දුටුවම නිකම් ඉන්න බැහැනෙ. නිශාන්ත දුවලා දුවලා ගිහින් බෝර්මන්ට තමන්ව හඳුන්වා දුන්නලු. ඊට පසසේ ඔහු එක්ක සෙල්ෆියක් ගන්න නිශාන්ත අමතක කළේ නැහැ. ඔන්න ඔය තියෙන්නේ ඒ ඡායාරූපය.

බොහෝ වෙලාවක් නිශාන්ත බෝර්මන් හා කුලුපඟ වුණාලු. මේ ආරංචිය දැනගත්තම නිශාන්තගේ යාළුවෝ මොකද දන්නවද කියලා තියෙන්නේ.

ත්‍රී ඉඩියට් වගේ චිත්‍රපටයක් ආයෙත් හැදුණොත් ඉන් එක ඉඩියට් කෙනෙක්ගෙ චරිතයක් ඉල්ල ගන්නලු නිශාන්ත බෝර්මන් එක්ක මෙච්චර හිතවත් වෙලා ඇත්තේ. අපි නෙවෙයි යාළුවෝ තමයි එහෙම කියන්නේ.


ඕලු නෙළුම් නෙරිය රඟාලා

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ අනූ හත් වැනි ජන්ම දිනය පසුගිය පස් වැනිදාට යෙදී තිබුණා. එදින එතුමාණන්ගේ නිවසෙහි පුංචි සාදයක් ද පැවැත් වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අජිත් ගලප්පත්ති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් රචනා කරන ලද ග්‍රන්ථය එදින එළිදැක්වුණා. රේඛාවට සබැඳි මේ වන විට ජීවතුන් අතර සිටින ශිල්පීන් රැසක් එදින ඇවිත් සිටියා. ඒ අතර ආනන්ද වීරකෝන් විශේෂයි. ඔහු තමයි ඕළු නෙළුම් නෙරිය රඟාලා ගීතයට රංගනයෙන් දායක වුණේ.

ඔහු ඔරුවක නැඟ කළ ඒ රැඟුම සිනමාලෝලී ඔබ සැමට ආයේ ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනෑ නැහනෙ. ඒතරම්ම එය අමරණීයයි.

ලෙස්ටර් මතාගේ නිවෙස්දී ආනන්ද ගාවට ආවලු තරුණයෙක්. ඔහු ආනන්දට තමන්ව හඳුන්වා දුන්නලු.

මම රොෂාන් පිලපිටිය.

පිලපිටිය කියන නාමය ඇසෙද්දී ආනන්දට මතක් වුණාලු රේඛාවේ තමන්ගේ පෙම්වතියට රඟපෑ නිළිය. ඇය මල්ලිකා පිලපිටිය. රේඛාව තිරගත වී මේ වන විට අවුරුදු හැටයි. එවන් වූ කාලයක් සමරද්දී මල්ලිකාගේ පුතණුවන් වූ ජනපි‍්‍රය නළු රොෂාන් මුල්වරට හමු වූ අවස්ථාවේදී ආනන්ද බෙහෙවින් සතුටු වුණාලු. එමෙන්ම අතීත කතා රැසක් ද ඔහු රොෂාන්ට පැවසුවාලු.


ඔබට කියන වග නම

සඳුන් විජේසිරි අපිට පොඩි ලියුමක් එවලා තිබුණා. අපි හිතුවා ඒක එලෙසින්ම පළ කරන්න. සඳුන්ට වෙච්ච සිදුවිමක් පිළිබඳයි ඔහු එහෙම ලියලා තිබුණේ. අපේ වචනයෙන් නොලියා ඔහුගේ වචනයෙන්ම ඒ කතාව ඔබට ගෙන එන්නට ඕන නිසයි ඔහුගේ ලිපියෙහි වචනයක්වත් එහා මෙහා නොකොට මෙහෙම පළ කළේ.

සංවේදී කලාකරුවෙකු වශයෙන් මම මහත් සේ කම්පනයට පත් වන්නේ යම් අයකු විසින් අපේ හැදියාව, අනන්‍යතාවය හා සාරධර්ම ලඝුකොට සලකන නිසාවෙනි.

අපගේ උත්තම නූර්ති ගීත විකෘති කොට රැප් කිරීමෙන් යම් ගායකයෙකු රසය මකමින් 'කොල්ල කන්නේ' නම් ඊට වඩා නිගාවක් තවත් නොමැත.

'දන්මෝ බුදුන්ගේ', 'අඹ දඹ නාරං', ' දන්න වංහුං', 'සිරි සංඝබෝධි' නැමැති ගීත හිතුමනාපයට 'කොල්ලකෑම' එම ගීත නිර්මාණ කළවුන්ට සහ රචනා කළ සුදනන්ට කරන්නේ අති මහත් අවමානයකි. ලංකාවේ ෂේක්ස්පියර් යන විරුදාවලිය ලත් ජෝන් ද සිල්වා වැන්නවුන් මෙසේ අව තක්සේරු කිරීම නොහොබිනා ක්‍රියාවකි.

ඇන්ජලින් ගුණතිලක මහත්මිය තම ගී අන් අය ගායනා කිරීම ගැන ඇයගේ අසතුට ප්‍රසිද්ධියේ පල කොට ඇත. එය සද් ක්‍රියාවකි.

'ගෝවේ ගෑනු පරාදයි' ගීතය විවිධ කණ්ඩායම් විසින් විකෘති කොට ගායනා කිරීම කිසිසේත් අනුමත කළ නෙහැක.

ගීත කොල්ල කෑමෙන් සිදු වන්නේ පාපයකි. අන් සතු දේ පැහැර ගැනීම 'අදත්තාදානය' (සොරකම් කිරීම) පාපයකි. කොල්ල කන ගිහියන්ට අනතුරු අන් භවයේදී බලු, කපුටු වැනි ආත්ම ලැබීමට හේතු වන බව සෙල් ලිපි'වල පවා සඳහන් වේ.

අපගේ අනන්‍යතාවය හෑල්ලු කොට, අපගේ නූර්ති ගීත 'බටහිරකරණය' කරන්නවුන් ඔසවා තබා ඒවා අගය නොකරන්නන් 'ලිං මැඩියන්' බවට පත් කරන්නෝ 'ප්‍රබුද්ධ ලේබලය' තම තමන් විසින්ම අලවා ගනිති.

මේ දුෂ්ඨ කියමන් මහ පොලව නුහුලන දූෂිත ප්‍රකාශ බව නොකියාම බැරිය. අපගේ විදෂ්ට නාට්‍යකරුවන් අද ජීවත්ව සිටියා නම් මෙවැනි පුද්ගගලයන් 'බඩගෝස්තරවාදීන්' යැයි හඳුන්වනවා නොඅනුමානය.

ආචාර්ය, කලා භූෂණ,

සාහිත්‍ය කලා විභූෂණ, දේශබන්දු, ලංකා පුත්‍ර

සඳුන් විජේසිරි


ඔබ කොහිද?

බියංකා ෆොන්සේකා ගැන ටික කාලෙක ඉඳලා කිසිම තොරතුරක් නැහැ කියලා ඇගේ යාළුවෝ කියනවා. ඇයගේ දුරකථන අංක දෙකම ක්‍රියා විරහිත කරලලු. මේ වන විට නිර්මාණකරුවන් කිහිප දෙනෙකු බියංකා ගැන අපෙන් විමසුවා. අපිත් හොයලා බැලුවා. කතාව ඇත්ත. ඇය නොකියම විදෙස් ගත වුණාවත්ද දන්නේ නැහැ. කොහොම හරි කියන්න තියෙන්නේ බියංකා දිගු කලකින් කිසිම මාධ්‍යයකින් අප දුටුවේ නැහැ කියන කාරණය.