වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




නිරන්ජන් ඔයාගේ හැමදේම දන්නවා
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

නිරන්ජන් ඔයාගේ හැමදේම දන්නවා

නිර්මලා මානවීගේ අතින් අල්ලාගෙන කුඩා ගෙය පිරික්සුවාය. එය මහල් නිවාසයක ගෙයකි. එයට තිබුණේ කාමර දෙකකි. කුඩා සාලයකි. කුස්සියකි. එක පඩි පෙලෙන් තවත් නිවසකටය. ඉහළ මාලයේ තවත් නිවසකි.

උන් තැනින් ඉවත්ව දියණියගේ නවාතැනට එන්නට සිදුවීම වාසනාවක්දැයි සිතා බලන්නට නිර්මලා උත්සාහ ගත්තාය.

අලුත් නවාතැනට යන්නට කාමරයේ වූ ඇඳුම් කැබලි සහිත බෑග් වෑන් රථයේ දමද්දී ශ්‍යාමා බලා සිටියේ කඳුළු පිරි දෑසිනි. නිර්මලා හා මානවී නවාතැනේ සියල්ලන්ගෙන් සමුගත්හ.

මේතරම් ඉක්මනට මානවීගේ ජීවිතයට යහපතක් උදාවෙතැයි නිර්මලා සිතුවේ නැත.

'වෙලාවක අම්මාත්, අප්පච්චිත් එක්ක එනවා'

නිර්මලා සිතා ගත්තාය. මානවී අලුත් නිවහනේ පඩි පෙළ නැග ගත්තාය. එහි සිට බලන විට පෙනුණේ හතර වට ගොඩ නැගෙමින් තිබුණු මන්දිර සමූහයකි. ඒ මන්දිර මැද අලුත් නිවහන අඟුටුමිට්ටකු වැනි වුවත් එයින් සෑහීමකට පත් වන්නට නිර්මලා හිත හදා ගත්තාය.

'අම්මා මෙතන හොඳයි නේද?'

නිර්මලා හිස වැනුවාය. දියණියගේ සිතෙහි උපන් සතුට එකවරම නැති කරන්නට ඇයට සිත ගෙන දුන්නේ නැත.

'කොහෙන්ද මෙච්චර සල්ලි?'

'මගේ නෙවේ අම්මා. නිරන්ජන් සර් ඉන්ඩ දුන්නා . එච්චරයි'

'ඇයි නිරන්ජන් සර්ගේ එච්චර කරුණාවක්'

මානවී තිගැස්සුණාය. එලෙස පැනයක් නැගෙතැයි ඇය හිතුවේ නැත.

'එයාගේ අලුත් ටෙලි නාට්‍යයට ඕනෑ නිසා'

'එතකොට අපිට ආපහු යන්න වෙයි නේද?'

නිර්මලා යළිත් විමසුවාය. මානවී එයට උත්තරයක් නොදී ගේ ඇතුළට ගියාය. එහි වූ පුටු සියල්ල අලුත්ය.

'ඔයගොල්ලන්ට ඕන ඔක්කොම තියෙනවා. ෂූටිංවලට නුවරඑළියට යන්ඩ වෙනවා'

සුජිත් පැවසුවේය. සුජිත් ආවේ හැන්දෑවේය. විදුලි පහනේ එලියෙන් මානවීගේ මුහුණ දිලිසෙනු ඔහුට පෙනිණ. නිර්මලා උන්නේ තරමක් එහාට වන්නටය. කලකට ඉහත ඇය මානවීටත් වඩා ඇහැට කනට පෙනෙන්නට ඉන්නට ඇතැයි සුජිත්ට සිතිණි.

'සුජිත් පුතා අද කෑම ටිකක් කාලම යන්න'

නිර්මලා ගෙතුළට යමින් පැවසුවේ මානවී හා සුජිත් අතර කතාබහකට ඉඩ සපුරාලමිනි. අම්මා කුස්සියට යනු දටු මානවී සුජිත්ට ළං වූවාය. ඇය ඔහුගේ සුරත ගෙන තදින් මිරිකුවාය.

'ඇයි මට මෙහෙම සලකන්නේ?'

ඒ ප්‍රශ්නයෙන් සුජිත් නිරුත්තර වූවාසේය. ඔහු ඇය දෙස නොබලා ඉවත බලා ගන්නට උත්සාහ කළේය. අහල පහළින් මියුරු සංගීත රාවයක් පැතිර ගියේය. හතර වට පුරා නිහඬ බවකි. මුළු නගරයම විදුලි පහන් එළියෙන් ආලෝකමත් වූ හැටි කදිමය. වෙනදා නොදුටුවාක් මෙන් එදෙස බලා සිටින්නට සුජිත් උත්සාහ කළේය.

'ඇයි ඔයා එහෙම ඇහැව්වේ?'

අනතුරුව සුජිත් හෙමිහිට ඇසුවේය. ඔහු සිටියේ නිවසේ ඉදිරිපස බැල්කනියට ඔහු උර දෙමිනි.

'නෑ සුජිත් අයියේ එකපාරටම මෙහෙම ගෙයක් නිකං ඉන්න කියල දුන්නම. මං කවුද කියලා හරිහැටි දන්නෙවත් නැතුව'

'ඔයා දන්නේ නැති වුණාට නිරන්ජන්කාරයා ඔයාගේ අල ගිය වැල ගිය මුල ගිය හැම දේම දන්නවා ඇතිනේ'

'ඉතින් මට මෙහෙම සැලකුවේ'

'මිනිහා එහෙම තමයි. කාව හරි හිතට ඇල්ලුවොත් එහෙම්මම තමයි. හැබැයි එපා වුණදාට ඒත් එහෙම්මම තමා'

තවදුරටත් ප්‍රශ්න කර සුජිත් වෙහෙසිය යුතු නැතැයි මානවීගේ ගැහැනු මොළයට වැටහුනා වැන්න. ඇය කතාව වෙනතකට හැරලුවාය.

'ඔයා ගාව හරි සුවඳයි'

'අලුත් සෙන්ට් එකක් හම්බ වුණා. නිරන්ජන් දුන්නේ. මිනිහා රට ඉඳන් එන කොට ගෙනත් තිබුණා. මං අර සල්ලි වගයක් බලන්න ගියාම මේකත් දුන්නා.'

නිරන්ජන් - නිරන්ජන් හැම පැත්තෙන්ම නිරන්ජන් යැයි මානවීට සිතිණ.

'ගමේ ගිහින් එන්න ඕනෑ, අත්තම්මාව බලන්න'

'අපි යං. මට ප්‍රඩක්ෂන් එකකින් වෑන් එකක් දාගන්න බැරි වෙන එකක් නෑ'

නිර්මලා එදෙසට ආවාය. මානවී සුජිත්ගෙන් මඳකට ඈත් වූවාය.

සුජිත් ආපසු ගියේ තවත් රෑ කාලයක් කතාබස් කිරීමෙන් අනතුරුවය. මානවී නුවරඑළියට ගියේ එයින් තවත් සතියක් ගත වූ තැනය. ඒ වන විට නිර්මලා දිනපතා වැඩ රාජකාරියට ගියේ මානවී ගෙදර තනිකර දමාය. වෙනදාට වඩා උදෑසනින් ඈ වැඩට යා යුතු විය. කවර දුකක් හෝ වින්ද ද මුල් නවාතැන ඇයට පහසුය. හැන්දෑවේ ආපසු එන විට ද, උදෑසන රාජකාරියට යන විට ද ඇය දැන් බස් රථ දෙකක යා යුතුය. ඒ හැම බස් රථයක්ම සැමන් ඇහුරුවා ගාණය. ඒ මදිවාට හෝල්ට් එකෙන් හෝල්ට් එකට රථය නවතන රියදුරෝ ඒවා බස් ස්ටෑන්ඩ් ලෙස සිතා සිටිති.

මානවී දර්ශන තලයේ රූ ගැන්වීමට යා යුතු වූයේ හිමිදිරි පාන්දරය. අධීක සීතල ඇයට කැස්සක් ඇති කළේය. කොහෙන්දෝ උණු වතුර වීදුරුවකින් එය සමනයකට පත් කර ගත්තේය.

'ටිකක් මහන්සි වෙලා ෂූට් කළොත් අද සීන් තොගයක් ගත හැකි'

කැමරාවට ඇස තබමින් සිටි රාජිත පැවසුවේය.

'උඹලට මොකද, මරවල හරි ගහපල්ලකෝ'

කව්දෝ කිව්වේය.

'වැඩි සීන්, ඊළඟ එකත් ෂුවර්'

රාජිතට පැවසුවේය.

උදේ රූ ගන්වද්දී ආහාර ද ගෙනවිත් දෙනු ලැබිණ. නුවරඑළියේ රූ ගැන්වීමට දවස් හතරකි. ඊළඟට කොළඹ කිට්ටුවය. මානවී රූ ගැන්වීමේදී බොහෝ අය හඳුනා ගත්තේ නුවරඑළි ගමනත් සමඟය. තුන්වැනි දවසේ රූ ගැන්වීම් නිමාවද්දී සවස කුඩා සාදයකි. සුජිත් මානවී තුරුල් කර ගත්තේ මධුවිතත් සමඟය. ඔහු ඇයගේ මුව ළඟට මධුවිත ළං කළාය.

'අපොයි මට බෑ'

ඈ එය ඉවතට තල්ලු කළාය.

'බොන්ඩ ළමයෝ බය වෙන්ඩ එපා'

ඔහු හීන්සීරුවේ වීදුරුව ඇය දෙතොලඟ තැබුවේය. ඇය එය තොල ගෑවාය. පපු කුහරය පුලුස්සාගෙන යනු මානවීට දැනිණි.

'අම්මෝ මේ ජරාව කොහොම බොනවද මන්දා'

ඈ කෑගෑවාය.

'එහෙමනේ ඔයගොල්ලෝ හිතන් ඉන්නේ. අපි මේවා සන්තෝසෙන් බොනවා කියලා. පේනව නේද අමාරුව'

ජිතේන්ද්‍ර සියල්ල සිනහ ගස්වමින් පැවසුවේය. එක් උගුර වුව මොකක්දෝ වෙනසක් වෙමින් පවතින වග මානවීට වැටහිණ. තවත් වරෙක එහි රසය විඳින්නට ඇයගේ සිතට පෙලඹවීමක් ඇති විණ.

නවාතැන්පළ ඉදිරිපිට නතර වූයේ වාහනයකි. ඒ වාහනය හඳුනාගත් සෙයින් ධර්මලාල් එළියට බැස්සේය. රථයෙන් බැසගෙන ආවේ නිරන්ජන් සමඟ තවත් අමුත්තෙකි. ඔහුගේ දේහ විලාසය, හැසිරීම කාට හෝ අමුත්තක් වූයේ නැත.

'කොහොමද කට්ටිය, වැඩේ හොඳට ගියාද? මොනවද අඩුපාඩු?'

'වැඩ ඉවරයි. අපි හෙට උදේ යනවා. කට්ටියත් කලින් ගියා'

මානවීට ලැජ්ජාවක් ඉපදුණේ නිරන්ජන් දැකීමත් සමඟය. මේ මොහොතේ ඔහු මෙතැනට එනු අතැයි ඇය කිසි විටෙකත් නොසිතුවාය. නිරන්ජන් සුජිත්ගෙන් යමක් කනට ළං කොට විමසුවේය.

'කෝ නුරාෂා'

ඇය මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නීය. නුරාෂා මානවී දුටුවේ හොඳ යෙහෙළියක හැටියටය. විටෙක මිතුරුව සිට හොඳින් කතාබහට එක්වන ඇය හිටි ගමන් ගුප්ත චරිතයක් වන්නීය. නුරාෂා මේ මොහොත් උන්නේ කාමරයේය. නිරන්ජන් සමඟ පැමිණි අමුත්තා වයෝවෘද්ධය. ඔහු බොහෝ විට ටෙලිවිෂනයේ අර්ථයෙන් ධර්මයෙන් කතා කරන දේශපාලකයකු බැව් සියල්ලෝම දැන සිටියහ. ඔහුගේ කතා විලාසය ඉතා සිත්ගන්නා සුලුය. නුරාෂා කාමරයෙන් එළියට ආවාය. කවුදෝ ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් දී තිබුණිි.

'මේ අලුත් ළමයා මානවී, සර් අඳුනාගත්තා නම් හොඳයි. මානවී සර්ව දන්නවා නේද'

ඒ අතරවාරයේ නිරන්ජන් අමුත්තාට මානවී අඳුනා දුන්නාය. මානවී දන්නා පරිද්දෙන් සිනහසුනාය. අමුත්තාගේ හිස කෙස් කළු පැහැ වනතුරු හොඳින් ඩයි කර තිබිණ.

'හැබෑටම බොහොම අපූරු ළමයෙක් නෙව. නිරන්ජන් මහත්යත් එක කාලෙකට අලුත් ළමයෙක් ගේනවානේ'

නුරාෂා එතැනට ආවාය. ඇග් මුහුණ ලේ සිඳී ගියාක් වැන්න යැයි මානවීට සිතිණ.

'මේ ළමයා එක්කන් යන්න අවේ. අපේ ගම් පළාතෙනේ. මගේ පුංචි අම්මාගේ දුව'

අමුත්තා මානවීට පැවසූ ආකාරය යමක් වසාලන්නට තැත් කරලන්නට බව කාට වුවත් හැඟෙන්නකි. නුරාෂා රථයට නැංගාය. අමුත්තා ද රථයේ නැග ගත්තේය.

'ඔයගොල්ලෝ හෙට යනවානේ. නුරාෂා එහාට එයි'

නිරන්ජන් පැවසුවේ ධර්මලාල්ටය. මානවීගේ කරට අත දමා සිටි සුජිත් තවත් වඩියක් දමා ගත්තේය.

'අරකි පුංචි අම්මාගේ දුව කිව්වානේද? අනේ අපි නොදන්න පුංචි අම්මා'

රාජිත මහ හඬින් කීවේය. වීදුරුවක් බිඳ වැටෙන අයුරු ඊළඟට ඇසිණ. කවුදෝ ඔහු වත්තම් කර ගත්තේය. නිරන්ජන් සුජිත් හා මානවී කැටුව උන් තැනින් එළියට ගියේය.

හාත්පස කඳු වැටි පුරා ගිය විදුලි එළි එකිනෙක නිවෙන අයුරු මානවී දුටුවාය.