වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




‘සෝලා එක්ලිප්ස්’ චිත්‍රපටයෙන් ලංකාවට විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙනවා

‘සෝලා එක්ලිප්ස්’ චිත්‍රපටයෙන් ලංකාවට විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබෙනවා

ඕලන්ද සිනමාකරු කරීම් ට්‍රයිඩියා

ශ්‍රී ලංකාවේ දර්ශනීය පසුතල රැසක මේ දිනවල රූගත වෙමින් පවතින 'දැවැන්ත' හොලිවුඩ් චිත්‍රපටය පිළිබඳව මෙරට පමණක් නොව විදේශයන්හි ද වාසය කරන බොහෝ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ දැඩි කුතුහලයට හා අවධානයකට ලක් වී තිබෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් හා ඉන්දියානු නිදහස් සටන් අරගලයේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරීමේ සිදුවීම් පසුපස ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ පසුබිම කර ගනිමිනුයි. එමෙන්ම මෙම හොලිවුඩ් චිත්‍රපටයේ සියලුම රූගත කිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුළම සිදු කිරීමටත් එහි නිෂ්පාදකවරුන් තීරණය කර තිබෙනවා. මෙම චිත්‍රපටයට අවශ්‍ය වන ඇමරිකානු හා ඉන්දියානු දර්ශන පසුතල රන්මිහිතැන්න සිනමා ගම්මානයේ සහ දිවයිනේ වෙනත් ස්ථානවල අති විශාල පිරිවැයක් දරමින් මේ වන විටත් ඉදි කර අවසන්ව තිබෙනවා. 'සූර්ය ග්‍රහණය' Solar Eclipse the Depth of Darkness නම් තබා ඇති මේ චිත්‍රපටය ලබන වසර තුළදී මුව ලොව පුරා ප්‍රදර්ශනය කරවීමට ද නියමිතයි. මෙම ජාත්‍යන්තර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන 'කරීම් ට්‍රයිඩියා' මුණ ගැසීමේ ඉතා විරල අවස්ථාව පසුගිය දිනෙක උදා කර ගත් අප පාඨක ඔබ වෙනුවෙන් ඔහු සමඟින් පුවත්පත් පිළිසඳරක නිරත වුණා. ඕලන්ද චිත්‍රපට අධ්‍යක්ෂ කරීම් ට්‍රයිඩියා සමඟින් ඉංග්‍රීසි බසින් පවත්වන ලද මෙම පුවත්පත් පිළිසඳර පාඨක ඔබ වෙනුවෙන් සිංහල බසට පරිවර්ථනය කර ඉදිරිපත් කර ඇති බව ද සලකන්න.

* මුලින්ම ඔබ පිළිබඳව හා ඔබගේ සිනමා ප්‍රවිෂ්ටය පිළිබඳව හැඳින්විමක් කළහොත්?

ඔව්, මගේ නම 'කරීම් බෂියර් ට්‍රයිඩියා Karim Bachir Traudia, මා ඉපදුණේ ඇල්ජීරියාවේදියි. මුලින්ම රැකියාවක නිරත වුණේ ප්‍රංශ භාෂාව උගන්වන ගුරුවරයෙකු වශයෙනුයි. ඉන් අනතුරුව මා එරට යුද හමුදාවට බැඳී එහි නිලධාරියෙකු වශයෙන් අවුරුදු 02 ක කාලයක් සේවය කළා. මේ අතරතුර සමාජ විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට ද මට හැකි වුණා. මේ කාලයේදීම ඕලන්දයට සංක්‍රමණය වීමට මට අවස්ථාව උදා වුණා. චිත්‍රපට හා සිනමා කර්මාන්තය පිළිබඳව මා තුළ වූ දැඩි ඇල්ම හා උනන්දුව නිසාම ඕලන්දයේ ඇති Dutch National Film School නමැති සිනමා පාසලකින් සිනමාව පිළිබඳ විධිමත් දැනුම් සම්භාරයක් ලබා ගැනීමටත් මට හැකි වුණා. එම චිත්‍රපට ඇකඩමියෙන් මා පිට වූ පසු මේ දක්වා චිත්‍රපට 06 ක් අධ්‍යක්ෂණය කර තිබුණා. නමුත් ඒ සෑම චිත්‍රපටයක්ම ඕලන්ද චිත්‍රපටයි. 'සෝලා එක්ලිප්ස්' චිත්‍රපටය මවිසින් අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය ද වෙනවා.

* ඔබගේ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටය වෙනුවෙන් මෙවන් කථා තේමාවක් තෝරා ගැනීමටත් එහි රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවම තෝරා ගැනිමටත් ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ශ්‍රී ලංකාව තුළ සිදු කිරීම පිළිබඳ මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. මා කිසිවිටක එවැනි යෝජනාවක් හෝ එහි නිෂ්පාදකවරුන්ට කර තිබුණේ නැහැ. මෙම චිත්‍රපටයට පාදක වී ඇති කථා තේමාව, තිර පිටපත මෙන්ම එහි දර්ශනයන් රූගත කළ යුතු ස්ථාන ආදිය පිළිබඳ සියලුම තීරණ ගෙන ඇත්තේ මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් විසිනුයි. ඒ අයුරින්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් එහි නිෂ්පාදකවරුන් මා තෝරා ගෙන තිබුණා. ඩුබායි රාජ්‍යයේදී 'කැමරාව වෙනුවෙන් රඟපෑම' Acting For the Camera නම් වූ සිනමා රංගන වැඩමුළුවක් මෙහෙයීම වෙනුවෙන් මා එහි පැමිණ සිටි අවස්ථාවකදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් මට ඒ සඳහා අවස්ථාව හිමි කර දුන්නා. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් බ්‍රිතාන්‍ය, ඉන්දියාව හා ඩුබායි රාජ්‍යය යන රටවල සිදු කිරීමට මෙහි නිෂ්පාදකවරුන් කලින් තීරණය කර තිබුණත් පසුව එම අදහස පසෙකලා මෙහි සියලුම රූගත කිරීම් ශ්‍රී ලංකාව තුළම සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

* ඓතිහාසික කථා පුවතක් තේමා වුණ මෙම චිත්‍රපටය වෙනුවෙන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් 21 ක නළු නිළියන් රංගනයෙන් දායක වන බබව දැනගැනීමට ලැබුණා. අදාළ චරිතයන් වෙනුවෙන් මෙම නළු නිළියන් තෝරා ගනු ලැබුවේ කවර පදනමක් මතද?

එය සිදු වුණේ මෙලෙසයි. සාමාන්‍යයෙන් අප යම්කිසි රටක චිත්‍රපටයක් රූගත කිරීමේදී එම චිත්‍රපටයේ ඇතැම් 'චරිතයන්' වෙනුවෙන් එකී රටෙන්ම නළු නිළියන් තෝරා ගනු ලබන අවස්ථා තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන්ට අමතරව චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේම සිටින පුද්ගලයන්ටත් අතැම් විටක එම චිත්‍රපටයේ විවිධ චරිතයන් නිරූපණය කිරීමට අවස්ථාව ලැබීම සාමාන්‍ය දෙයක්. එමෙන්ම චිත්‍රපටය රූගත කරන රටෙන්ම නළු නිළියන් තෝරා ගන්නා අවස්්ථාවල ඔවුන්ව තිර පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදු කරනු ලබනවා. එම තිර පරික්ෂණයේදී අදාළ නළුවාගේ හෝ නිළියගේ රංගන හැකියාව පිලිබඳව චිත්‍රපට නිෂ්පාදකවරු සෑහීමකට පත් වන්නේ නම් බොහෝ දුරට එම චිත්‍රපටයේ චරිත වෙනුවෙන් රංගනයෙන් දායකවීමට ඔවුන්ට අවස්ථාව උදා වෙනවා. දැන් ඔය ආකාරයට මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවීම වෙනුවෙන් යශෝධා විමලධර්ම, බිමල් ජයකොඩි ඇතුළු ශ්‍රී ලාංකීය නළු නිළියන් කිහිප දෙනෙකුටම අවස්ථාව උදා වෙලා තිබෙනවා. තිර පරීක්ෂණයක් තුළින් අප සෑම විටම බලනුයේ අදාළ චරිතය වෙනුවෙන් එහි නළුවාගේ හෝ නිළියගේ කටහඬ, බාහිර ස්වරූපය මෙන්ම එම චරිතයට ප්‍රවේශවීමට ඇති හැකියාව ආදිය පිළිබඳවයි. මේ අනුව මෙම චිත්‍රපටයේ ඇති ඉන්දීය චරිතයන් රඟ දැක්වීමට එම ශ්‍රී ලාංකීය නළු නිළියන්ට අවස්්ථාව හිමි වෙනවා. මෙම චරිත 'දෙබස්' සහිත චරිතයන් බැවින් අදාළ නළුවා හෝ නිළිය ගේ ඉංග්‍රීසි හා හින්දි භාෂාව උසුරුවීමේ හැකියාව පිළිබඳවද අප බොහෝ සෙයින් සැලකිලිමත් වුණා.

* මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා ඇතුළු ශ්‍රී ලාකීය නළු නිළි පිරිස පිළිබඳව ඔබගේ හැඟීම කෙසේද?

ඇත්තෙන්ම චන්ද්‍රන් රත්නම් මහතා පිළිබඳව ඉතා විශාල ප්‍රසාදයක් මසිත තුළ තිබෙනවා. මට ඔහු මුලින්ම මුණගැසුණ අස්ථාවේදීත් 'ලාංකික සිනමා කලාව' පිළිබඳව මට ඇතිව තිබූ ගැටලු රැසක් ඔහු සමඟින් සාකච්ඡා කරනු ලැබුවා. එමෙන්ම ලොව ප්‍රකට සම්මානනීය සිනමාකරුවකු වන හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් පවා වරෙක චන්ද්‍රන් රත්නම් මහතාව හඳුන්වා දෙනු ලැබුවේ 'දකුණු ආසියාවෙන්ම සිටින අපගේ වටිනාම මිතුරකු' ලෙසටයි. එමෙන්ම චන්ද්‍ර රත්නම් මහතා හැර හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය සමඟ සමීප සබඳතා ඇති වෙනත් කිසිදු ශ්‍රී ලාංකීය සිනමාකරුවෙකු ඇතැයි මා සිතන්නේ නැහැ. 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටයේ සිට මේ දක්වා ඔහු ලත් සිනමා අත්දැකීම් සමුදාය මිළ කළ නොහැකියි. එමෙන්ම සමස්තයක් වශයෙන් ගත් කළ මෙම චිත්‍රපටය හා සම්බන්ධ වී ඇති අනෙකුත් ශ්‍රී ලාංකීය නළු නිළියන් හා කාර්මික ශිල්පීන් පිළිබඳව මා ඉන්නේ දැඩි කැමැත්තකින්. එවන් පිරිසක් සමඟ වැඩ කිරීමට ලැබීම දැඩි සතුටක්.

* ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දැනට ලොව සිටින ඉතා පරිණත මෙන්ම ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවෙක්. හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔබ ඔහුගේ 'සිනමා භාවිතාව' පිළිබඳව දරන්නේ කුමන මතයක්ද?

ඔව්, මා දන්නා තරමින් ඔහු 'අග්නිදිග ආසියාවෙන්ම දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම සිනමාකරුවක්. ඔහු ගම්පෙරළිය, රේඛාව මෙන්ම නිධානය ආදී විශිෂ්ට ගණයේ චිත්‍රපට රැසක් ලොවට දායාද කර ඇති බව මා දන්නවා. නමුත් අවාසනාවකට මෙන් මගේ දැඩි කාර්යබහුලත්වය නිසා ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ එම චිත්‍රපට නැරඹීමට මට අවස්ථාව උදා වුණේ නැහැ. අවස්ථාවක් ලදහොත් එම චිත්‍රපට නැරඹීමට මා කැමැතියි. කෙසේ වුවත් තවත් ශ්‍රී ලාංකික සිනමාකරුවකු වන විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' නැමැති චිත්‍රපටය නැරඹීමට මට අවස්ථාව උදා වුණා. එම චිත්‍රපටය 'කෑන්ස්' චිත්‍රපට සම්මාන උළෙලේදී 'ගෝල්ඩන් කැමරා' නැමැති සම්මානය දිනා ගනු ලැබුවා. තරුණ සිනමාකරුවෙකු වශයෙන් විමුක්ති ජයසුන්දරට චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉතා දිගු ගමනක් යා හැකි බවට එම චිත්‍රපටය තුළින් මැනවින් විදහා දක්වා තිබෙනවා. එම චිත්‍රපටයත් විමුක්ති එය අධ්‍යක්ෂණය කර තිබූ ආකාරයත් ඉතා ප්‍රශංසනීයයි.

* හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් 'සෝලා එක්ලිප්ස්' චිත්‍රපටයෙන් ඔබ ප්‍රේක්ෂක ප්‍රජාවට ලබා දෙන යම්කිසි පණිවිඩයක් තිබේද?

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම තුළින් මා සිදු කරන්නේ කිසියම් නිර්මාණයක් සිදු කිරීම පමණයි. ඉන් ලබාදෙන පණිවිඩය කුමක්දැයි තේරුම් ගැනීම ප්‍රේක්ෂකයන්ට හා සිනමා විචාරකයන්ට භාරයි. එනිසා ඉන් ලබා දෙන පණිවිඩය පිළිබඳව සිනමා අධ්‍යක්ෂවරයකු වශයෙන් මා කතා කිරීම එතරම් සුදුසු නැහැ. මෙම චිත්‍රපටය විවේචනයට ලක් කිරීමට එහි ඇති අඩුපාඩු පෙන්වා දීමට හෝ ප්‍රශංසාත්මකව ඇගයීමට ප්‍රේක්ෂකයන්ට හා චිත්‍රපට විචාරකයන්ට මෙන්ම සිනමාව පිළිබඳව තම පෑන හසුරුවන මාධ්‍යවේදීන්ට ද සම්පූර්ණ අයිතියක් තිබෙනවා.

* ශ්‍රී ලංකාවේ දර්ශනීය පසුතල යොදා වෙනත් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය කිරීමට විදේශීය චිත්‍රපට නිෂ්පාදකවරුන් මෙරටට පැමිණීමට මෙම චිත්‍රපටය හේතුවක් වේ යැයි ඔබ සිතනවාද?

ඔව්, ඇත්ත වශයෙන්ම එය එයාකාරයෙන්ම සිදු වේවි. මෙම චිත්‍රපටය 'දැවැන්ත' හොලිවුඩ් නිෂ්පාදනයක් ලෙසින් ලබන වසර තුළ මුළු ලොව පුරා ප්‍රදර්ශනය කරවීමට අප කටයුතු සුදානම් කර තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රසිද්ධිය ද අති විශාලයි. මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූගත කළ ලංකාවේ දර්ශන පසුතල සොයා විදේශීය සංචාරකයින් මෙරටට පැමිණේවි. එපමණක් නොවෙයි, මෙම චිත්‍රපටය ලබන සාර්ථකත්වය මත වෙනත් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරුන් ද ශ්‍රී ලංකාව තුළ තම චිත්‍රපට රූගත කිරීමට කැමැත්ත පල කිරීමට ඉඩ ඇති නිසා ලාංකික නළු නිළියන්ට මෙන්ම කාර්මික ශිල්පීන්ටත් එම විදෙස් චිත්‍රපට හා සම්බන්ධ වී කටයුතු කිරීමට බොහෝ සෙයින් අවස්ථාව උදාවනවා.