වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




සොමි සබඳ සෝමේ

සොමි සබඳ සෝමේ

සොඳුරු රසවතකුගේ නික්ම යාම

මුලින්ම අයි. පී. බී. මුද්‍රණාලයට එන සේවා දායකයාගේ ස්වභාවය අනුව ඔහුට ළෙන්ගතුව 'මිස්ටර්' හෝ 'ඔහේ' යනුවෙන් ආමන්ත්‍රණය කරන සෝමේට දෙතුන් වරක් පැමිණි හුරුපුරුදු වන තැනැත්තා 'මචං' වෙයි. කුසගිනි තදින් දැනෙන්දදී යමක් ගිල දමන සෝමේ ඊට පෙර එහි සිටින කිසියම් සේවාදායකයකු වේ නම් ඔහු අමතන්නේ 'මචෝ' උඹ කාලද?' යනුවෙන් අසමිනි.

පසුගිය සතියේ අප අතරින් සදහටම සමුගත් සෝමපාල හේවාකපුගේ මහතා හෙවත් අප නිරන්තරයෙන් ඔහු හැඳින් වූ අයුරින් කිවහොත් අයි. පී. බී. සෝමේ පිළිබඳ අපගේ දීර්ඝ මතකය 70 දශකයේ මුල් භාගය දක්වා දිව යන්නකි.

1971 වසරේදී අප සයිමන් නවගත්තේගමයන්ගේ මඟ පෙන්වීමෙන් ධම්ම ජාගොඩ ගුරු දේවයන් සෙවණේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේදී නාට්‍ය සහ රංග කලා ඩිප්ලෝමාව හදාරා නිම කළ නමුත් එම ශිල්ප ශාලිකාවේ සෙසු සමකාලිනයන් නිෂ්පාදනයෙන්, රංගනයෙන් නාට්‍ය රචනයෙන් හෝ වෙනත් අනුශාංගික අංශයකින් නාට්‍ය කලාවට දායක වෙද්දී මා'තින් සිදු වූයේ සෘජු ලෙස නිර්මාණයකට දායක නොවී නාට්‍ය සංවිධානය කෙරෙහි යොමුවීමයි.

නාට්‍ය සංවිධාන ක්ෂේත්‍රය තුළ මගේ කාර්යභාරය ක්‍රමිකව පුළුල් වෙද්දී නාට්‍ය ප්‍රවේශ පත්‍ර, රංග පත්‍රිකා, පෝස්ටර් සහ සමරු කලඹ යන නාට්‍යයේ ප්‍රමුඛ මුද්‍රණ අවශ්‍යතා නාට්‍ය කලාවට අනන්‍ය වූ සුවිශේෂී රටාවකින් නිම කර ගැනීම සඳහා අප නිරායාසයෙන්ම යොමු වූයේ කොළඹ මරදානේ එල්ෆින්ස්ටන් රඟහල පිටුපස කේ. ඩී. ඩේවිඩ් මාවත අවසන් වන තැන පිහිටි අයි. පී. බී. මුද්‍රණාලය වෙතය.

වෙනත් බොහෝ මුද්‍රණාලවල මෙන්ම ව්‍යාපාරික ස්ථානවල ද විවිධ ප්‍රමාණයන්ගෙන් තේමා රටාවන්ගෙන් යුතු ආකර්ෂණීය නාම පුවරු ප්‍රදර්ශනය කර තිබෙන නමුදු මගේ මතකයේ හැටියට නම් එවන් නාම පුවරුවක් අයි. පී. බී. මුද්‍රණාලය ඉදිරියේ නොවීය.

එල්ෆින්ස්ටන් සිනමාහල අයිනෙන් කේ. ඩී. ඩේවිඩ් මාවතට පිවිසෙද්දී මුලින්ම අප නෙත ගැටෙන්නේ ව්‍යාපාරික ස්ථාන කීපයකි. ඉන් පසු එම පටු මාර්ගය දෙපස වූයේ ගෙවල් පේළි දෙකකි.

අයි. පී. බී. මුද්‍රණාලය පිහිටි දකුණුපස වූ ගෙවල් පේළියත්, මුද්‍රණාලයත් අතර පිහිටියේ මරදාන සුප්‍රකට බුහාරි හෝටලයේ මුළුතැන්ගෙයයි. කේ. ඩි. ඩේවිඩ් මාවත නිමා වන්නේ මුද්‍රණාලයට යාබදව දිවෙන මහා කුණු කාණුවකිනි.

එසේම අක්‍රමත්ව ගොඩනැඟුණු රළු, විසල් බිත්තිවලින් යුත් අඳුරු මුද්‍රණාලය ද එහි වූ අබලන් පුටු, මේස, පොත් අල්මාරි, සේම එහි සේවය කළ පැරණි පන්නයේ සේවක මඬුල්ල ද මුද්‍රණලයට පිවිසෙන සේවාදායකයකුගේ සිත් අලවන දසුන් නොවේ. මේ සකලවිධ පසුගාමී තත්ත්වයන් මධ්‍යයේ මහා නාට්‍යකරුවන් ප්‍රධාන සමස්ත නාට්‍ය ක්ෂේත්‍රයේම නියමුවෝ ප්‍රකට ලේඛකයෝ, ප්‍රවිණ පුවත්පත් කලාවේදීන් වැනි අපගේ බුහුමනට පාත්‍ර වූ සුවිශේෂී පුද්ගලයෝ අයි. පී. බී. මුද්‍රණාලය වෙත රොද බැඳ ගැනීමේ රහස කුමක්දැයි විමසා බැලීම සුදුසුය.

එවන් නාගරික රළු පරිසරයක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි නාට්‍ය කලාවට අනන්‍ය වූ සොඳුරු නිමාවකින් යුත් මුද්‍රිත නිර්මාණ අයි. පී. බී. මුද්‍රණාලය තුළින් බිහිවීම ඒ සඳහා හේතුකාරක වූ ප්‍රධාන සාධකය වූයේ යැයි හැඟේ.

ඒ පිටුපස වූ අනෙක් ප්‍රබලතම සාධකය වූයේ එහි මුද්‍රණ කාර්යභාරය සියුම් උපක්‍රම හස්තයකින් මෙහෙය වූ සෝමපාල හේවාකපුගේ නම් වූ දැවැන්ත චරිතයයි. හේ දැවැන්ත චරිතයක් වූ බැව් ප්‍රකට වන්නේ ගාම්භිර, බැරෑරුම් ස්වභාවකින් වෙනුවට අතිශය සොඳුරු, තමන්ට උපත්පත්තියෙන්ම උරුම වූ සරල හැසිරීම් රටාවකින් අයි. පී. බී මුද්‍රණාලය තුළ ක්‍රියාක්මක වීමෙනි.

අයි. පී. බී. මුද්‍රණාලයේ හිමිකරු වූයේත්, එහි සභාපති, කළනාකරණ අධ්‍යක්ෂ ධූරය හෙබ වූයේ එක් කලෙක කොළඹ හිල් වීදියේ කුමාර විද්‍යාලයෙහි ගුරුවරයකු වූ එඩ්වින් හේවාකපුගේ මහතාය. හේ සුදු ජාතික ඇඳුමින් නිතර සැරසුණු, බැරෑරුම් පෙනුමක් මුහුණේ රැඳුණු නිහඬ පුද්ගලයෙකි. හේ ඩේවිඩ් මාවත දිගේ සුනාමි රළ පෙළක් නැග එනු දුටුවද නොසැලෙන චරිතයකි. මුද්‍රණාලයේ නිල නොලත් මෙහෙයුම් කළමනාකරු වූ සෝමේ තම දෙටුසොයුරු ඉස්කෝල මහතාට වඩා හාත්පසින්ම වෙනස්, කෙළිලොල් අපූර්ව පුද්ගලයෙකි.

හේ මුද්‍රණාලය තුළ දුව පැන ඇවිදිමින් එහි සේවකයන් හට විවිධ රාජකාරි පවරයි. සොදුපත් බලයි. මුද්‍රණාලය සඳහා අවශ්‍ය කඩදාසි, තින්ත වැනි දෑ පිටකොටුවට ගොස් රැගෙන එයි. පුංචි බොරැල්ලට ගොස් ඊයම් අකුරු රැගෙන මරදානෙන් ලී අකුරු නිම කර ගනියි.

ඒ අතර මුද්‍රණ දැන්වීම් රැගෙන පමිණෙන සේවා දායකයන්ගේ අවශ්‍යතා ඉටුකර දෙයි. ඔවුන් හා කවට වදනක් දොඩයි. ඒ අතර හිතවතකු වූයේ නම් කිසියම් යටි අරුතක් ගැබ්වුණු සිනා කතාවක් ඉඟිමරා කියා ඔහු සනසයි. උදෑසන මරදානට ළගා වූ වේලේ පටන් බිම් කරුවල වැටෙන තෙක් සෝමේගේ දවස ගෙවෙන්නේ එපරිද්දෙනි.

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේදී සිප්සතර හැදෑරූ එහෙයින්ම ඉංග්‍රීසි බස හොඳින් හැසිරවීමේ හැකියාවක් ඇති අයකු වුවද හේ තම ඉංග්‍රීසි දැනුම අභිමානයක්, සැරසිල්ලක් කර නොගත් අමුම අමු ගැමියකුගේ ස්වභාව නිරන්තරයෙන් පළ කළ අව්‍යාජ මිනිසෙකි. 'ඔහේ සරච්චන්ද්‍ර මහත්තයාව හම්බ වුණාද? හෙන්රි ජයසේන මහත්තයා ඔහේට දිනයක් දුන්නද? නාට්‍යය ඔහේලාගේ ගමට ගෙනියන්න දිනේ ස්ථිර කර ගත්තද? හේ මුද්‍රණ අවශ්‍යතා සඳහා තමා වෙත එන කොළඹින් බැහැර සංවිධායකවරු අමතා විමසමින් ඔහු සංවිධාන කටයුතු පිළිබඳ වැදගත් උපදෙස්, තොරතුරු ලබා දෙයි.

මුලින්ම අයි. පී. බී. මුද්‍රණාලයට එන සේවා දායකයාගේ ස්වභාවය අනුව ඔහුට ළෙන්ගතුව 'මිස්ටර්' හෝ 'ඔහේ' යනුවෙන් ආමන්ත්‍රණය කරන සෝමේට දෙතුන් වරක් පැමිණි හුරුපුරුදු වන තැනැත්තා 'මචං' වෙයි. කුසගිනි තදින් දැනෙන්දදී යමක් ගිල දමන සෝමේ ඊට පෙර එහි සිටින කිසියම් සේවාදායකයකු වේ නම් ඔහු අමතන්නේ 'මචෝ' උඹ කාලද?' යනුවෙන් අසමිනි. ඊට ලැබෙන ප්‍රතිචාර අනුව අනුභව කරන දෙයින් කොටසක් ඔහුට ද ලබා දෙමිනි. සෝමේ මේ සෑම දෙයක්ම කියන්නේ කරන්නේ හදවතින්මය. මූණඉච්ඡාවට තෙපලන ව්‍යාජ කියුම් කෙරුම් සෝමේ තුළ නොවීය.

ඉහ වහා ගිය මෙබඳු මිනිස් ගුණ දම්වලින් අනූන වූ මේ විරල මිනිසා සමීප වන්නට, එමෙන්ම නිරන්තරයෙන් ඔහුගේ චර්යාව නිරීක්ෂණය කරන්නට ඔහු හා සමීපව ඇසුරු කරන්නට ඔහු වෙතින් යහගුණ ද රැසක් ඉගෙන ගන්නට අපි අවකාශ ලැබුවෙමු. නාට්‍ය කළමනාකරණයට අදාළ අපගේ කාර්යාලයීය කටයුතු අයි. පී. බී. මුද්‍රණාලයේ රැඳී සිට කළේ එඩ්වින් හේවාකපුගේ මහතා විසින් 80 දශකයේ අග භාගයේදී කරන ලද ආරාධනයක් හේතුවෙනි.

එතැන් පටන් වසර ගණනාවක් පුරා සෝමේගේ ළෙන්ගතු ඇසුර ලබන්නට ඔහුගේ සරල ප්‍රියමනාප පැවැත්මේ පහස විඳින්නට ඔහුගෙන් බොහෝ දෑ හදාරන්නට අප භාග්‍යවන්ත වූ බැව් සිහිපත් කරන්නේ සොම්නසිනි.අප එහි ගත කළ වකවානුවේ කලා ලෝකයේ නමක් දිනූ තවත් අපූර්ව පුද්ගලයන් දෙදෙනෙකු ද වරින් වර අප මෙන්ම අයි. පී. බී. මුද්‍රණාලයේ රැඳී සිටියා මතකය.

ඉන් එක් අයකු වන්නේ අති දක්ෂ ඡායාරූප ශිල්පියකු සේම මුද්‍රණ සැලසුම් ශිල්පියකු ලෙස තම ප්‍රතිභාව ප්‍රකට කළ රැලෙක්ස් රණසිංහයන්ය. අනෙකා වූයේ පෙරළිකාර ලේඛකයකු වූ අජිත් තිලකසේනයන්ය.බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ වියතුන් මැද සෝමේගේ රසාලිප්ත පරිසරයේ අප ගෙවූ ජීවිතය රස ගුලාවක් වූයේය.

නාට්‍යකරුවන් හා නිතර හැසිරෙන ඒ නිසාම අයි පී. බී. මුද්‍රණාලය හා සෝමපාල හේවාකපුගේ මහතා ද දන්නා හඳුනන සරත් නමැති කලා ලෝලියකු දිනක් උදය වරුවේ ලේක්හවුසියට ගොස් එවක සරසවිය කර්තෘ ධූරය දැරූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් මුණ ගැසුණේය. හේ කුරුවිට බණ්ඩාරයන් හඳුනාගත්තේ ද නාට්‍යකරුවකු මඟිනි.

'මොකී සරත් අද තකහනියක් මේ පැත්තේ?' කුරුවිට බණ්ඩාර මහතා සරත්ගෙන් විමසුවේ පුළුල් සිනහවක් පාමිනි.

අපේ තාත්තා හදිසියේ මැරුණා තිලක් අයියේ' සරත් කීවේ හැගුම්බර ස්වරයෙනි.

'ඇත්තද . . .' කුරුවිට බණ්ඩාරයන් කම්පා වෙමින් විමසුවේ අයාගත් මුවෙනි. 'සරත් දැන් දුක් වෙලා පලක් නෑ. කොහොම හරි හිත හදාගන්ඩ බලන්ඩ. මට විස්තර ඔක්කොම දෙන්ඩ. මම මරණය ගැන 'සිළුමිණේ' නිව්ස් එකක් දාන්නං. එතකොට 'දිනමිණ'ටත් ඒ නිව්ස් එක දෙමු. කාට හරි මරණය ගැන දන්වන්න එහෙම ඕනේ නං අපි එකත් මෙහෙන් කරමු. දැන් කාට කාටද මරණෙ ගැන දැන්නුවේ' කුරුවිට බණ්ඩාරයන් කරුණාවෙන් විමසුවේ ඔහුට උපකාරීවීමේ අදහසිනි.

'මම එන ගමන් මරදානෙන් බැහැලා අයි. පී. බී. එකට ගිහින් සෝමේ අයියට මරණේ ගැන දැන්නුවා' සරත් කීවේය.

'හැබෑද , එහෙම නං ඒක පත්තරේ දාන්න ඕනෑ වෙන්නෙ නැහැ' කුරුවිට බණ්ඩාරයන් කීවේ මරණය මොහොතකට අමතකව නැගී ආ සිනාව ආයාසයෙන් වළක්වා ගනිමිනි.

2000 දශකයේ මැද භාගයේදී ඔත්පළ වූ සෝමේට කළගුණ දැක් වූ සත් පුරුෂයන්ගේ වටිනා ක්‍රියාකාරකම් ද්විත්වයක් මෙහිදී සිහිපත් කරනු වටී. ඉන් පළමුවැන්න 2007 වසරේ දිනෙක ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වුණු හරසර මංගල්‍යයයි. ඒ සඳහා මුලික වූ ප්‍රේම් දිසානායක, බණ්ඩාර ඇහැලියගොඩ, බුද්ධදාස ගලප්පත්ති වැනි කලාකරුවෝ අපගේ ගෞරවයට පාත්‍ර විය යුතුය.

එහි දෙවැන්න සෝමේ බොහෝ අබලන්ව සිටි මේ මෑත භාගයේදී ප්‍රකට ලේඛිකා කැත්ලින් ජයවර්ධන ලියා රනිල් ඇල්විටිගල නිකුත් කළ 'සොමි සබඳ සෝමේ' ග්‍රන්ථය දොරට වැඩීමයි. එය ද ඔහු වෙනුවෙන් කළ ඉතා අනගි උපහාරයකි. මේ දෙපාර්ශවයම අපගේ ගෞරවයට පාත්‍ර විය යුතු වන්නේ ඔවුන්ගේ ප්‍රතිචාරයන් විඳීමෙන්, ඒ සඳහා එකතු වූ කලා ලෝකයේ සහෘදයන් දැකීමෙන් සෝමේ ඒ අවස්ථාවන්හිදී ඉහළම තෘප්තියක් ලැබිමේ හේතුවෙනි.

'සොමි සබඳ සෝමේ' ග්‍රන්ථය නිකුත් වූදා සෝමේ රෝද පුටුවේ සිට කළේ අප හද සසල කරන කතාවකි.

'මේ හැමෝම අද මා වෙනුවෙන් මෙතැනට ආවට බොහොම ස්තූතියි. ඔහේලා හැමෝම මගේ මරණෙටත් එන බව මම දන්නවා. මම අද මේ හැමෝටම ස්තූති කරලා කතා කරන්නේ මගේ මරණය වුණාම මට ඔබව පේන්නේ නැති හින්දා. එදාට මට ඔබට කතා කරන්නට නොලැබෙන හින්දා. මේ නොබෝදා එළැඹුණු ඒ අවසන් ගමන සිහිපත් කරමින් සෝමේ එසේ කීවේ එහි සිට සැවොම හඬවමිනි. සදාදරණීය මිතුරු සෝමේ, ඔබට නිවන් සුව!