වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ෂාරුක්ගේ Fan ලාට සිංහලෙන්

ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වන ‘ෆෑන්’ චිත්‍රපටය පසුගිය 15 වැනිදා රිදී තිරයට පිවිසුනා. එය ගෞරව් චද්නා සහ රියලිටි තරුවක වන ආර්යන් ඛන්නා වටා ගෙතුණු කතාවක් ගෙන එනවා. මෙහිදී ගෞරව්ගේ චරිතයට මෙන්ම ආර්යන්ගේ චරිතයටත් පණ පොවන්නේ ෂාරුක් ඛාන් විසින්මයි.

ගෞරව් චද්නාගේ චරිතය ෂාරුක් මීට පෙර බොලිවුඩ් සිනාමව තුළ ගෙනහැර පෑ ‘බාසිගර්’, ‘ඩර්’, ‘අන්ජාම්’ වැනි චිත්‍රපටවල චරිතවලට සමාන බව බොහෝ දෙනා පවසනවා. ඒ විතරක් නෙවෙයි ආර්යන් ඛන්නාගේ චරිතය ඔහුගේ සැබෑ වර්තමාන ජීවිතයට සමානකම් දක්වනවාලු. ද්විත්ව චරිතවලට පණ පොවන්න ඔහුට තියෙන හැකියාව ගැනත් ඇසෙන්නේ පැසසුම්.

අහිංසක චරිත, දුෂ්ට චරිත විතරක් නොවෙයි ‘චක් දේ ඉන්දියා’, ‘ස්වදේශ්’, ‘පහේලි’, ‘මයි නේම් ඊස් ඛාන්’ වගේ චිත්‍රපට බැලුවාම විවිධත්වයෙන් යුතු චරිත කරන්නත් ඔහු සතු හැකියාව දැක්වෙන බව විචාරකයන් සඳහන් කරනවා. මේ නිසාම දැන් ‘ෆෑන්’ චිත්‍රපටය නරඹනවිට ෂාරුක්ට එරෙහිව ෂාරුක් පැමිණි ඇති බවට විචාරකයන් අදහස් දක්වනවා.

ඒ විතරක් නොවෙයි අපේ රටටත් ‘ෆෑන්’ චිත්‍රපටය විශේෂයි. එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් හින්දි, තෙළිඟු, පන්ජාබ්, මරාති, ගුජරාති, බෙන්ගාලි, දෙමළ ආදී වූ විවිධ භාෂාවලින් යතුව කළ ගීත නිර්මාණ අතරේ සිංහල ගීතයකුත් ඇතුළත්. එය ගායනා කරන්නේ යොවුන් ගායන ශිල්පී ඉන්ෆාස් නූර්දින්.

“මිතුරා ලොවෙත් ඔබේ හිතට දැනෙන Fan මම තමා මිතුරා මමයි ඔබේ ළඟින් ඉන්නලොකුම රසිකයා” ලෙසින් එම පද පෙළ ගැලපූයේ මනුරංග විජේසේකර.

දිලිප්ට දැන් සුවයි

බොලිවුඩයේ මහා නළුවාණන් ලෙස සළකන දිලිප් කුමාර්ට පසුගිය සතිය සුවදායි වුණේ නැහැ. දිලිප් කුමාර් නිසා බොලිවුඩය තරමක් නොසන්සුන් වුණා කිව්වොත් නිවැරදියි. අනූතුන් වැනි වියේ පසුවන දිලිප් කුමාර් අධික උණ සහ පපුවේ ආසාධන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළා.

පසුගිය සෙනසුරාදා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඔහු ලීලාවති රෝහලට ඇතුළත් කළ පසු මේ වනවිට තරමක සුවයක් ලබමින් සිටින බවට ආරංචි ගෙන එනවා. ඔහුගේ ළඟින් සිටිමින් සියලු ඕනෑ එපාකම් සොයා බලන්නේ ආදරණීය බිරිඳ සහිරා භානු.

‘අන්දාස්’, ‘අසාද්’, ‘දේව්දාස්’, ‘ගංගා ජමුනා’, ‘බාබුල්’, ‘මේලා දිදර්’ වැනි චිත්‍රපට රැසක් තම රංගනයෙන් ඔපවත් කළ දිලිප් කුමාර් අවසන්වරට දායක වුණේ 1998 වසරේ තිරගත වූ කීලා චිත්‍රපටයටයි. 2015 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙන් පිදුම් ලද ඔහු 1991 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන්ද 1994 වසරේදී දාදා සහබ් පාල්කේ සම්මානයෙන් පිදුම් ලැබුවා. 1954 වසරේදී ප්‍රථමවරට පැවැති ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙසින් පිදුම් ලැබූයේද ඔහුයි.

ෂහීඩ් ගැන කටකතා

ෂහීඩ් කපූර් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය ‘උඩ්තා පන්ජාබ්’ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළා. පන්ජාබයේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කියවෙන මෙම චිත්‍රපටයේදී ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකුගේ චරිතයකට පණ පොවනවා.

කටකතා පැතිර යන අතරේදී මේ අවස්ථාව සුබ ආරංචියක් දෙන්නත් ෂහීඩ් අමතක කළේ නැහැ. තමන් තාත්තා කෙනෙක් වෙන්න යන සැබෑ පුවත එහිදී ඔහු විසින්ම මාධ්‍යයට ඉදිරිපත් කළා. පසුගිය 2015 වසරේදී මීරා රාජ්පුත් සමඟින් ඔහු විවාහ දිවියට පත් වුණා.

හැංගි හැංගි වෙස් බැන්ඳා

මේ දවස්වල බොලිවුඩයේ පෙම් යුවළ බවට පත් වෙලා සිටින්නේ බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර්. මේ දෙදෙනා දැන් විවාහයට සූදානම් වෙමින් සිටින්නේ. බිපාෂා සහ කරන්ගේ පෙම් කතාව කටකතාවක් විදියට ආවේ මීට ටික කලකට පෙරදීයි. නමුත් දෙන්නම කිව්වේ මිතුරුකමක් ගැන විතරයි.

එදා කටකතා සත්‍යක් බවට පත්කරමින් ලබන 30 වැනිදා දෙදෙනා විවාහ ගිවිස ගන්න සූදානම්. වයස අවුරුදු තිස්හතක් වූ බිපාෂාට මෙය තම ප්‍රථම විවාහය වුණත් කරන් නම් විවාහ වෙන්නේ තුන්වැනි වතාවටයි. බිපාෂා සහ කරන් මේ දවස් තමන්ගේ තනිකඩ ජීවිතයේ අවසන් දින උත්සව වෙනුවෙන් වෙන් කරලා. කරන් තම මිතුරන් සමඟින් එය සමරන්න සුන්දර ගෝවට ගිහින්.

බිපාෂා බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් සමඟින් වූ වසර ගණනාවක ප්‍රේම කතාවට තිත තැබුවායින් පසුව හර්මා බවේජා සහ ඩිනූ මොරායා සමඟත් සබඳතා පැවැති බව බොලිවුඩයට රහසක් නොවෙයි. ඒ හැම කතාවක්ම අමතක කරලා බිපාෂා කරන් සමඟින් විවාහ වෙන්න තීරණය කළා.

මෙහෙන්දි උත්සවය පවත්වන්නේ ලබන 28 වැනිදා ජුහූහිදීයි. බෙංගාලි චාරිත්‍රානූකූලව විවාහය අප්‍රේල් 30 වැනිදා සිදු කරන්න අවශ්‍ය සියලු කටයුතු සූදානමින් පවතින බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

අමනාපෙට හිනාවෙලා

ප්‍රාචි දේසායි සහ ශ්‍රද්ධා කපූර් අතර හිත් අමනාපකමක් ඇති බවට වන කටකතාව පසුගිය කාලයේ බොලිවුඩය පුරා පැතිරුණා. ‘රොක් ඔන් 2’ චිත්‍රපටයේ රූගත කිරීමවලින් පසුව ප්‍රාචි පැවසුවේ මේ කටකතාව පිස්සු කතාවක් බවයි.

“ඒක අසත්‍ය කතාවක්. මමයි ශ්‍රද්ධයි අතර කිසිම තරහක් නැහැ. මේ හිත අමනාපය ගැන අහලා ඇයත් හොඳටම හිනා වෙන්න ඇති” ප්‍රාචි පවසනවා. “ඕනෑම කෙනෙකුම ඕනෑම දෙයක් කියන්න පුළුවන්. ඒ වගේම බොරු කියන්නත් පුළුවන්. හැබැයි ඔවුන්ට මට බලපෑම් කරන්න වගේම අපේ මිතුරුකමට හානි කරන්න බැහැ”. ප්‍රාචි දරන්නේ මෙවැනි මතයක්.

ලබන මැයි 13 වැනිදා තිරගත වීමට නියමිත ‘රොක් ඔන් 2’ චිත්‍රපටය මීට පෙර එහි පළමු චිත්‍රපටයට දායක වූ සැමට විශේෂිත බවත් ඇය පවසනවා. ඒ විතරක් නොවෙයි මෙය සාමාන්‍යයෙන් දකින චිත්‍රපටයක දෙවැනි කොටසක් වගේ නොව ඊට වඩා වෙනස් ශක්තිමත් කතාවක් බවත් ප්‍රාචි සඳහන් කරනවා.