වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




මට ලැබෙන හැම දේම අභියෝගයක්

මට ලැබෙන හැම දේම අභියෝගයක්

වේශ නිරූපණ ශිල්පී ඉන්දික උදාර ලංකා

කලා ක්ෂේත්‍රයට වේෂ නිරූපණ ශිල්පියෙක් ලෙසින් ඔහු සිදු කළ නිර්මාණශිලී කලා කටයුතු නිසාවෙන් ඉතා කෙටි කලක් තුළ ජනප්‍රිය මේකප් ආටිස් කෙනෙකු වීමේ විරල භාග්‍යය ඔහුට උදා වූයේ කිසිදා ඔහු ද අපේක්ෂා නොකළ මොහොතකය. වේශ නිරූපණය සඳහා සම්මානනීය ඇගැයුමට නිර්දේශිත නාමාවලියේ පවා ඔහුගේ නම සඳහන් වූයේ ඔහු කළ නිර්මාණයන්ගේ සාර්ථකත්වයට ඌණපූර්ණයන් ද එක් කරමිනි.

රටේ ප්‍රධාන පෙළේ පුරවැසියාගේ පටන් විවිධ සමාජ තලයේ ප්‍රභූන් පවා මේ වන විටත් ඔහුගේ නිර්මාණශීලී දායකත්වයන් තමන් වෙත නතු කරගෙන අවසානය. කලා ක්ෂේත්‍රයේ සිනමා තරු තාරකාවන් අද ඔහුව සොයා එන්නේ තම රූ සපුව තව තවත් අලංකාර කර ගැනීම සඳහාය. මංගල ගමනට එක්වන යුවතියක් මනාලියක් වන දිනයේ හැඩ වැඩ වී තව තවත් අලංකාර වන්නට අද මොහුව සොයා එන්නේ වේෂ නිරූපණයට ඔහු දක්වන සුවිශේෂී දක්ෂතාවය නිසාමය.

මේ වන විට කලා ක්ෂේත්‍රයේ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසින් නිබඳ ගෞරවාදරයට පත් වී සිටින මේ ආදරණීය ශිල්පියා අන් කවරකු නොව ඉන්දික උදාර ලංකාය.

ඉතා කෙටිකලක් තුළ කලා ක්ෂේත්‍රයේ දුර ගමනක් ගිය කලාකරුවන්ගේ නිබඳ ආදරයට පාත්‍ර වූ ඉන්දික සමඟ සුන්දර මතකයන් හා කතාබස් කරමු.

ඉතිං උදාර මේ වන විට කාර්යබහුල ශිල්පියෙක් වී සිටින ඔබේ අලුත්ම තොරතුරු කොහොමද?

මේ දවස්වල නම් බොහෝ විට වෙළෙඳ දැන්වීම්වලත්, මියුසික් වීඩියෝවලත් තමයි කලා නිර්මාණ පැත්තෙන් වැඩ කරගෙන යන්නේ. ඊට අමතරව මගේ ඇතුල් කෝට්ටේ තියෙන අයි ඇන්ඩ් අයි සැලුන් එකේ මනාලියන් ඇන්දවීමේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

ඔබ ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට ක්ෂේත්‍රයෙත් මේකප් ආටිස් කෙනෙක් හැටියට ජනප්‍රිය වෙන්නේ ඉතා කෙටි කාලයක් තුළ?

මගේ ආරම්භය සිද්ධ වෙන්නේ 2007 වසරේ සිට. සහාය කොණ්ඩ සැකසුම් ශිල්පියෙක් විදියට තමයි මගේ මේ කලා ජීවිතය පටන් ගත්තේ. සරත් රණවීර මහත්තයා ළඟ මම වසර හතකට ආසන්න කාලයක් සහාය ශිල්පියෙක් ලෙස වැඩ කළා. පුහුණුවක් ලැබුවා. ඔය අතරේ මට පුළුවන් කියන විශ්වාසය මා තුළ ගොඩ නැගුණා. මට මේ ක්ෂේත්‍රය ගැන ආශාවක් ඇති වුණා. ඒ වෙනුවෙන් මම උනන්දුවෙන් කැපවීමෙන් ඉදිරියට යන්න අධිෂ්ඨාන කළා. ඒ අධිෂ්ඨානය මට තනියෙන් නැඟී සිටින්න ලොකු ශක්තියක් ඇති කළා.

ඔබේ මුල්ම නිර්මාණ කටයුත්ත අදටත් මතකද?

මට මතක හැටියට අනුර චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක. දයා අල්විස්ට විග් එකක් දමා චරිතයට අවශ්‍ය ලෙස සැකසීම භාර වුණා. මම ඒ දේ එකපාරින් හරියට කළා. එදා මට සරත් රණවීර මහතාගෙන් පවා ප්‍රශංසා ලැබුණා.

පාසල් අවධියේ පටන් මේ කලා ක්ෂේත්‍රයේ ගමනකට ඔබ කැමැත්තෙන්ද හිටියේ?

නෑ. මගේ එහෙම ආශාවක් තිබුණේ නැහැ. මගේ ඥාතිවරයෙක් හරහා තමයි සරත් රණවීර මහතාව හඳුනාගන්න ලැබුණේ.

සහාය ශිල්පියෙකු ලෙස වැඩ කටයුතු සිදු කරන ඔබ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙසින් තනි ගමනක් යාමට මුල පුරන්නේ කොහොමද?

චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා මගේ හැකියාව ගැන පැහැදිලා මට ආරාධනය කළා ඔහුගේ රන්දිය දහර චිත්‍රපටයේ වැඩ කරන්න. මම ඒ ආරාධනාව සතුටින් භාර ගත්තා.

ඒ ආරාධනයත් සමඟ ඔබ වෙත තව නිර්මාණ රැසක්ම ගලාගෙන ආවා නේද?

පායා එන්න හිරු සේ, අංජලිකා, චැලෙන්ජර්, ආසයි මං පියාඹන්න, රෝස කැලේ, කිං හන්තර්, ප්‍රවේගය, සුපර් සික්ස්, පරාවර්ථන, වීර්යා, තැන්කියු බර්ටි, සිහින තෙර, ඊට්ස් අ මැටර් ඔෆ් ටයිම්, සුවඳ දැනුණා ජීවිතේ, හිරිපොද වැස්ස, දුවන මුවන්, නිනෝ ඉන් ලයිව් ආදී චිත්‍රපට වැලකම වැඩ කරන්න ලැබුණා.

චිත්‍රපට නිර්මාණ වගේම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය නිර්මාණවලටත් ඔබේ සහජ දක්ෂතා එක් වුණා?

සිදංගනා, රොසලිනා, සෙනෙහසේ ගීතය, සුබ ප්‍රාර්ථනා, රඟ සොබා, ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්,' තටු ඒ අතරින් කීපයක්.

වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ අද ඔබ ජනප්‍රිය මේකප් ආටිස් කෙනෙක්?

තිරය පිටුපස අපි කරන කාර්්‍යය සැබෑ ලෙසට සුළුපටු නැහැ. මේ වෘත්තියේදී ලැබෙන නිර්මාණ මම සතුටින් භාර ගන්නවා. දේශීය වශයෙන් කරන දැන්වීම් වගේම විදේශ රටවල වෙළෙඳ දැන්වීම්වලට පවා මේ වන විට මම දායක වෙලා ඉන්නවා.

ඔබේ හැකියාව තවම සම්මානනීය ඇගැයුමකට ලක් වුණේ නැද්ද?

2010 සරසවිය සම්මාන උළෙලේදී උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ආසයි මං පියාඹන්න, රෝස කැලේ චිත්‍රපට දෙක සඳහා වේශ නිරූපණය සඳහා මාව නිර්දේශ වුණා. ඒකත් මගේ මේ කෙටිකාලීන ගමන් මඟේ මම හිතන්නේ මට ලැබුණු සම්මානයක් කියලා.

ඔබ නිර්මාණ ඉල්ලාගෙන යන ශිල්පියෙක්ද?

නැහැ. මට නිර්මාණ ලැබෙනවා. මගේ පළපුරුද්ද හැකියාව ගැන දන්න කියන අය මාව හොයාගෙනම එනවා.

අද අපේ රටේ වැඩි නළු නිළි පිරිසක් වගේම රටේ ප්‍රභූ පිරිස් පවා ඉන්දිකගෙන් හැඩ වැඩ වෙන්න ලොකු උනන්දුවක් දක්වනවා?

ඒක ඇත්ත. මම දන්නේ නැහැ ඇයි කියලා. මම කරන වෘත්තීයට උපරිමයෙන් කැප වූ කෙනෙක්. මගේ හැකියාව මොන යම් හෝ විශේෂත්වයක් ඇති රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා නළු නිළියන් වාගේම මනාලියනුත් හැඩ වෙන්න.

අද වෙන කොට ඔබට මේ වෘත්තීය අභියෝගාත්මක බවක් ගෙන දීලා නැද්ද?

විවිධ නිර්මාණ, විවිධ වෙලාවට ලැබෙනවා නම් ආසයි. සාමාන්‍යයෙන් මට ලැබෙන දේ මම අභියෝගයක් කරගෙනම තමයි කටයුතු කරන්නේ. අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර මේකප් ටෙස්ට් එකක් පවා සිදු කරලා මම දෙයක් කරන්නේ. මගෙන් හැඩ වැඩ වෙන්න ආශ කරන දේශපාලනඥයොත් මේ අතර ඉන්නවා. අපේ රටේ සුවිශේෂ චරිත විවිධ අවස්ථාවල දී මට මේකප් කරන්න ලැබිලා තියෙනවා.

ඔබේ ගමනට අත්වැලක් වූ ශිල්පීන් සිහිපත් කළොත්?

ඩොනල් ජයන්ත, ජයනාත් ගුණවර්ධන, උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, රන්ජන් රාමනායක, අශෝක ආරියරත්න, සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, ගීතා කුමාරසිංහ, දිල්හානි අශෝකමාලා, පූජා උමා ශංකර්.

ඉන්දික අතින් අද හැඩ වෙන්න බලා ඉන්න මනාලියොත් වැඩියි නේද?

මගේ සැලුන් එකත් මේ වන විට ප්‍රසිද්ධයි. මම ව්‍යාපාරික වශයෙන් සිදු කරන්නේ මනාලියන් ඇන්දවීම. ඒ සඳහා මට මගේ බිරිය ඉරේකා නිෂාමනී ගොඩක් උදවු කරනවා. ඇය තමයි මනාලියන්ගේ ඇඳුම් නිර්මාණය කරන්නෙත්. අපි දෙන්නා සැලසුමක් ඇතිව සැලුන් එක කරගෙන යන නිසා අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මගේ මේකප් එකටත් ඉරේකාගේ ඇඳුම් නිර්මාණයන්ටත් අද වෙන කොට ගොඩක් යුවතියෝ ආශා කිරීම කියලයි මම හිතන්නේ.

ළඟදී අලුත් චිත්‍රපටයක වැඩ කළේ නැද්ද?

මම අන්තිමට කළේ සුනිල් අරුණ වීරසිරිගේ වීර්යා චිත්‍රපටය. තවම තිරගත වුණේ නැහැ. ලබන අගෝස්තු මාසයේදී උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටයේ වැඩ කරන්න මට දැනටමත් උදයකාන්ත මහතා ආරාධනා කරලයි තියෙන්නේ.

ටික කලක් ඔබ සිනමාවෙන් ඈත් වෙලා හිටියද?

ආදරයට මං ආදරෙයි චිත්‍රපටයේ වැඩ කරගෙන යන අතරේ ඇති වූ ප්‍රශ්නයක් නිසා මට හදිසියේ ඉවත් වෙන්න සිද්ධ වුණා.

ඔබේ දක්ෂතා උහුලගන්න බැරි පුද්ගලයෝ ඔබ ගැන ක්ෂේත්‍රයේ කතා හදනවා නේද?

එහෙම දේවල් නැතිවා නොවෙයි. අපි දෙයක් කරගෙන දක්ෂතා පෙන්වන කොට තව කෙනෙකුට බලන් ඉන්න බැරුව මොනවා හරි කරලා අපිව වට්ටන්න හදනවා. සමහරු යාළුවෝ වගේ ඉඳගෙන මේ දේවල් කරනවා. මම ආ ගමන් මඟේ මට එක සිතින් උදවු කළ යාළුවෝ වගේම යාළුවන් වගේ ඉදගෙන මට හිත් රිදීම් ඇති කළ අයත් ඉන්නවා. මට නානා ප්‍රකාර බොරු චෝදනා එල්ල කළා. මගේ වැඩ ගැන අවතක්සේරුවෙන් කතා කළා. මට සමච්චල් කළා. ඒත් මම ඒ එකකින්වත් සැලුණේ නැහැ. චිත්‍රපට නැති වුණත් මගේ හැකියාවෙන් ඒ හැම චෝදනාවක්ම පරාජය කළා. ඒ ගැන වගේම මම අද ඉන්න තත්ත්වය ගැන මම අදත් සතුටු වෙනවා.

මේකප් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙකුට ඔබ වගේ තරුණයෙක් මොන වගේ උපදෙසක්ද දෙන්නේ?

මුලින්ම කියන්න තියෙනේ හොඳ පුහුණුවක් තිබිය යුතුයි. මාස හයෙන් මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න බැහැ. උනන්දුව, කැපවීම වගේම දීර්ඝ කාලයක් ලබන පළපුරුද්ද විශේෂයෙන් වැදගත්. අපි දවසින් දවස අලුත් වෙන්න ඕනෑ. ලෝකය දියුණු වෙන කොට අපි ඒ කරන වෘත්තීයට ඕනෑ දේත් නිතර දියුණු කරගන්න ඕනෑ.

වර්තමාන සිනමා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?

අද අපේ සිනමා කර්මාන්තය තුළ එකිනෙකාට ගෞරව කරගන්නා වටිනාකමක් නැහැ. තමන් කරන වෘත්තීය මොකක්ද කියලවත් සමහරුන්ට වැටහීමක් නැහැ. කරන වෘත්තීයට සාධාරණයක් සිද්ධ කරන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයා හඳුනා නොගෙන අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකයා දැකපු හීන නිර්මාණයක් තුළින් එළිදක්වන්න යාම තුළ අපේ කර්මාන්තය කඩා වැටෙනවා කියලයි මට දැනෙන්නේ. මම හිතන්නේ අපි නිර්මාණකරුවන් විදියට ප්‍රේක්ෂකයා මූලික කොට ඔවුන්ට සිනමා කෘති බිහි කළහොත් කර්මාන්තයේ අනාගතය සුබ වෙයි කියලයි.

පවුලේ තොරතුරු කොහොමද?

බිරිය ඉරේකා. ඇය මට හමු වුණෙත් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන කොටයි. ඇය සැබෑ ලෙසට දිරිය මාතාවක්. මම මානසිකව වැටුන මොහොතක පවා එයා මට ශක්තියක් වුණා. පුතා ඉමෙත් ඉමන්දිව්, දුව ඉනුකි ඉහස්නා. පුතා ආනන්ද විද්‍යාලයේ. දුව ආනන්ද බාලිකාවේ ඉගෙනුම ලබනවා.

ඉන්දිකගේ ලිපිනය වගේම දුරකතන අංකයත් මතක් කළොත්?

90/21 ඒ, මහින්දාරාම පාර, ඇතුල් කෝට්ටේ. 0773059588.