|
එදා නවකයන් වූ අපට සරසවිය දුන් සවිය ඉමහත්- නදීකා ගුණසේකරඅද සරසවිය Road to Prestige වෙනුවෙන් අපි හමු වුණේ අපේ සිනමාවේ සුවිශේෂි චරිතයක්. ‘දං චූටි’ කිව්වම ඒ වෙන කවුරුත් නොවෙයි නදීකා ගුණසේකර කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. සරසවිය සම්මාන උලෙළේ ප්‍රථමවරට පිදුණු නැඟි එන නිළිය සම්මානය 1982 වසරේදී හිමි වුණේ ඇය වෙනුවෙන්. ා සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම නැඟි එන නිළිය සම්මානය ඔබ සතුයි? ප්‍රථමයෙන්ම පිදෙන සම්මානයක් ලබන්නත් කලාකරුවෙක් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි. ඒ වගේම අලුත් පිරිසක් ක්ෂේත්‍රයට පැම්ණීමේදී ඒ වගේ ඇගයීමකට ලක් කිරීමත් ලොකු දෙයක්. ඒ අවුරුද්දේ මගේ චිත්‍රපටත් කිහිපයක්ම තිරගත වෙලා තිබුණේ. ‘චංචල රේඛා’, ‘බැද්දේගම’ වගේ චිත්‍රපට කා අතරත් කතාබහට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි ජනප්‍රිය නිළිය කූපන් පත් අතරත් මගේ නම මාලිනි අක්කා ළඟින් තිබුණා. මගේ ප්‍රථම චිත්‍රපටයෙන් පසුව දෙවැනි තෙවැනි චිත්‍රපට සමඟින් ඒ වගේ තැනක ඉන්න ලැබීමත් සතුටක්. මාව ගොඩක් ජනප්‍රිය කළේ චංචල රේඛා චිත්‍රපටය. ඒ වගේම හොඳම නැඟි එන නිළිය සම්මානය ලැබීම මගේ ජීවිතයේ ලද ලොකු ජයග්‍රහණයක්. * ඔබ දුටු ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ විචිත්‍රත්වය? එදා සරසවිය සම්මාන උලෙළ ගැන සිහිපත් කළොත් විශේෂත්වයක් තියෙනවා. සිනමාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම කාර්මික ශිල්පීන් පවා අගයන්න සම්මාන උලෙළක් තිබුණා නම් ඒ සරසවිය සම්මාන උලෙළ පමණයි. ඒ වගේම ක්ෂේත්‍රයේ තරු කැළ එකතු වුණාම පුදුමාකාර විචිත්‍රත්වයක් තිබුණේ. අද අපි දකින ජාත්‍යන්තර සිනමා සම්මාන හා සමානවම එදා සරසවිය සම්මාන උලෙළ පැවැත් වුණා. සරසවිය පුවත් පත ඒ වෙනුවෙන් කළ කැපවීම පුදුමාකාරයි. සිනමාව ගැන කතා කරනකොට තරු සංකල්පය රැක ගත් සම්මාන උලෙළක් ලෙසත් සරසවිය සම්මාන උලෙළ විශේෂ වුණා. මම ඊට පෙර කිසි දිනෙක ඒ වගේ විචිත්‍රවත් අවස්ථාවකට මුහුණ දීලා තිබුණේ නැහැ. මගේ අම්මා නිළියක වුණත් මම පෙර සරසවිය සම්මාන උලෙළකට ඇවිත් තිබුණෙත් නැහැ. අම්මත් එක්ක තමයි එදා මම සම්මාන උලෙළට සහභාගි වුණේ. ප්‍රවීණයන් අතරේදී මේ වගේ සම්මානයක් ලැබීමත් භාග්‍යයක්. අලුතෙන්ම ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක් විදියට සම්මාන පිළිබඳ උද්දාමයක් නොතිබුණු කාලයක හොඳම නැඟි එන නිළිය සම්මානය ලැබීම මගේ වාසනාවක්. මට මතකයි එදා මාලිනි අක්කා පළමු පේළියේ අසුන්ගෙන සිටියේ. මාලිනි අක්කා එදා සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය වගේම හොඳම නිළිය ලෙසිනුත් සම්මාන ලැබීමත් විශේෂ වුණා. මම සම්මානය අරගෙන ෙවිදකාවෙන් බැහැලා එනවිට මා ඇය ළඟින් වාඩි කරවාගෙන සුබ පැතුවා. එදා ජනප්‍රිය වගේම දක්ෂම නිළිය මා ළඟට ගෙන සුබ පැතීමත් භාග්‍යයක් ලෙස මා සලකනවා. එකම ක්ෂේත්‍රයේ නවක නිළියකට සම්මානයක් ලැබෙන කොට ආදරයෙන් අගය කරන්න තරම් ඇය නිරහංකාර වුණා. ඒ විතරක් නොවෙයි. මා පාසල් යන කාලයේ පටන් මගේ ප්‍රියතම නිළිය ඇය වීමත් විශේෂයි. * සම්මාන උලෙළ වෙනුවෙන් ඔබේ සූදානමත් විශේෂ වෙන්න ඇති? අම්මා තමයි මට ඔසරිය ඇන්ඳුවේ. මට මතකයි ළා නිල් පාට ලස්සන බෝඩර් එකක් තියෙන ඔසරියකින් තමයි සැරසුනේ. අම්මා තමයි මාව හැඩ කළේ. මේ සම්මාන උලෙළ විතරක් නොවෙයි එයින් පසුව පැවැති සරසවිය සම්මාන උලෙළවලටත් අම්ම කැමැති විදියට තමයි ඇඳගෙන ගියේ. මට මතකයි එක් උලෙළකට ඇන්ඳ සාරියේ හැට්ටයේ පිට කැපිලා වැඩියි කියලා අම්මා කිව්ව නිසා උලෙළ පුරාවටම සාරි පොටෙන් පිට වහගෙන ඉන්න මට සිදු වුණා. අම්මා ජිවිතයෙන් සමු ගන්නා තෙක්ම මම සරසවිය සම්මාන උලෙළවලට ගියේ ඇයත් එක්ක. * රංගනයට පැමිණි මුල් කාලයේදීම සම්මානනීය වීම මොනවගේ හැඟීමක්ද ගෙන දුන්නේ? එදා මට ප්‍රථම නැඟි එන නිළිය ලෙසින් ලැබුණු සම්මානයේ වටිනාකම කියලා නිමා කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි. ඒ සම්මානයේ බරත් ගොඩක් වැඩියි. ඒ තරමටම සම්මානයේ අගයත් හරිම ඉහළයි. එදා මට ලැබුණු සරසවිය සම්මානය නිසා මගේ ජිවිතය ගොඩක් සුන්දර වුණා. ඒ වගේම වෘත්තිය නිළියක් ලෙසින් ඉදිරියට එන්න ඒ සම්මානය සමඟින් මට ලැබුණු ධෛර්යය කියා නිම කරන්න බැහැ. යහළු යෙහෙළි චිත්‍රපටය නරඹලා ඩී. බී නිහාල්සිංහයන් මට ලිපියක් එවලා තිබුණා. ‘රංගනයෙන් යම් තැනකට ගියා නම් එතැන පවත්වා ගැනීම ඉතාමත්ම අසීරුයි. ඒ ගැන හිතන්න’ යනුවෙන් එහි සටහන් කරලා තිබුණා. එදා මට මුල්ම සම්මානය හිමිවෙන කොට ඉදිරිය දක්වා ඒ තැන රැක ගන්න හැකි වූ බව මා විශ්වාස කරනවා. ඇත්තටම මා නැඟි එන නිළිය ලෙසින් ලැබූ සම්මානය සම්මානයක්ම පමණක් නොවෙයි. එදා නවකයින් ඉහළට ඔසවා තැබීම ගැන අදටත් මා සරසවියට ස්තූතිවන්ත වෙනවා. * ඔබට ඉහළ ජනප්‍රියත්වයක් ගෙන දුන් චරිත ගැනත් කතා කළොත්? චංචල රේඛා චිත්‍රපටයේ දං චූටිගේ චරිතය ගත්තොත් ඒක ජීවිත කාලයටම බලපාන චරිතයක් බවට පත් වුණා. සමහර අය අදටත් මට කතා කරන්නේ දං චූටි කියලයි. එයින් එහාට ගියොත් බැද්දේගම, යහළු යෙහෙළි, හොඳින් නැත්නම් නරකින්, ඡායා, යසෝමා වගේ චිත්‍රපට ගැන මිනිසුන්ගේ මතකය තවම තියෙනවා. අදටත් හමුවන එදා රසිකයන් අපරාදේ යසෝමා මැරුණේ කියලත් කියනවා. ඒ වගේම එදා සිනමාවට නව පරපුර ලෙසින් එක් වූ අප ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දුන්නේ සරසවිය කළ කැපවීමත් අගය කළ යුතුමයි. මගේ සිනමා ගමනේ ඉහළම ප්‍රසිද්ධිය ලැබුණෙත් සරසවිය සම්මාන උලෙළ වගේම සරසවිය පුවත්පත නිසා. * රංගන ක්ෂේත්‍රයට පැමිණි විට ප්‍රවීණයන් වගේම සමකාලීනයන් සමඟත් තිබුණු බැඳීම කෙහොම ද? අපි එදා ක්ෂේත්‍රයට එන විට ප්‍රවීණයන්ගෙන් නම් ලැබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි සහයෝගයක්. මම මුල්ම චිත්‍රපටයේ වැඩ කළේ ශ්‍රියාණි අක්කා එක්ක. එදා ඇති වූ ළෙංගතුකම අදටත් එහෙමම තියෙනවා. ඒ වගේමයි මාලිනි අක්කා සමඟ ඇති වූ මිතුරුකමත් බොහොම ආදරණීයව තියෙනවා. ගීතා කුමාරසිංහත් ඒ කාලයේ ඉහළම තලයේ සිටි නිළියක් වුණත් තිබුණේ පුදුම නිරහංකාරකමක්. අපි එනවිට මේ හැමෝම ජනප්‍රියත්වයේ ඉහළම තලයේ හිටියේ. ගාමිණි අයියා, විජය අයියා, ජෝ අයියා, ටෝනි අයියා වගේම අපේ සමකාලිනයන් වූ සනත්, ජීවන් සමඟිනුත් බොහොම සහයෝගයෙන් කටයුතු කරන්න ලැබුණා. ක්ෂේත්‍රයට එනවිට අම්මා දුන්නු උපදෙස වුණේ වැඩිහිටියන්ට ගෞරවයෙන් ඉන්න කියන එකයි. ඉතිං ඒක කවදාවත් මගෙන් බිඳුණේ නැහැ. මා සමඟින් නවකයන් වූ ගෝතමි, මැණික් අපි තුන්දෙනාටම හැමෝම කිව්වේ තුන්කට්ටුව කියලයි. කොහේ ගියත් අපි තුන්දෙනා එකටමයි. ඒ වගේම අපි නවකයන් කවුරුවත් අතරේ තරගයක් තිබුණේ නැහැ. සිනමාව තුළ මට තරගයක් තිබුණේ මා කළ චරිත අතරේ පමණයි. * සිනමාවේ පැමිණි ගමන දෙස යළි හැරී බැලුවොත් ? ඕනෑම කෙනෙකුට ජීවිතයේ බලාපොරොත්තු තියෙන්න ඕනෙ. එතකොට කවදාහරි ඒ තැනට යන්න බැරි වුණත් කිට්ටුවට හරි යන්න පුළුවන්. මම සිනමාව තුළත් ඒ විදියට මම යම් දුරකට ගියා. මම චිත්‍රපට රූගත කිරීම් වගේම දෙබස් කවලා මහ රෑ ගෙදර ගියත් පහුවෙනිදාට උදේම කැම්පස් ගිය දවසුත් තිබුණා. ජීවිතයේ බොහොමයක් අභියෝග මත අවසානයේ මට ජයග්‍රහණය හිමිකර ගන්න හැකිවීම ගැන තියෙන්නේ පුංචි ආඩම්බරයක්. 1982 වසරේදීම මම කැලණිය සරසවියේ උපාධිය ලබා ගත්තෙත් සරසවිය සම්මාන උලෙළේ ප්‍රථම නැඟි එන නිළිට හිමි සම්මානය ලබා ගත් බණ්ඩාරනායන අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඒ වේදිකාව මතදීම වීමත් විශේෂයි. යතේජා ඥානරත්න ඡායාරූපය – මාලන් කරුණාරත්න |