වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මුලින් උපදෙස් දී  පසුව මර්වින් සමාව ඉල්ලුවා

මුලින් උපදෙස් දී  පසුව මර්වින් සමාව ඉල්ලුවා

වසන්ත විට්ටච්චි

මෙවර ‘හැඩවැඩමැද’ ට සහභාගි වන්නේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චියි. සෝවියට් සංස්කෘතික මන්දිරයට රුසියන් භාෂාව හදාරන්න යන ඔහුට එතැනදියි නාට්‍ය රඟපාන්න සිත යොමු වන්නේ. එදා ඉබාගාතේ යන්න නැතිව නාට්‍ය හැදැරිය යුතුයි කියන අදහසේ සිටින මේ තරුණයා ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට බැඳීලා නාට්‍ය ගැන ඉගෙන ගන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර හා ධම්ම ජාගොඩ නාට්‍යකරුවන් යටතේයි. එහෙත් නාට්‍යයක් රඟපෑමට ගිහින් ඔහුගේ සිත වෙනස්ම පැත්තකට යොමු වන්නේ මේ අතරදියි. එදා පටන් අද දක්වාත් වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ආදී සියලු ම ක්ෂේත්‍රවල නිරන්තරයෙන් ම වේශ නිරූපණ ශිල්පයේ ක්‍රියාකාරීව සිටින සාමාජිකයකු වන ඔහු වෘත්තිය ජීවිතයේ අත්දැකීම් පිළිබඳ ‘සරසවිය’ සමඟ කතාබහක යෙදුණි.

ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ හඳුනා ගැනීම දිගු ගමනකට මුල පුරනවා ?

ඔව්. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පැණි සටන සමඟ ගොන් දෙන්නෙක්’ කියන නාට්‍යයේ මාත් රඟපෑවා. එහි අංග රචනය කළේ ලංකාවේ ප්‍රවීණ ම අංග රචනා ශිල්පියෙක් වුණු රංජිත් වික්‍රමසිංහයි. එතැනදි ඔහුත් සමඟ ඇති කරගන්න හැඳුනුම්කම මත, මමත් ඔහුත් සමඟ පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරනවා. මේ අතරදියි ඔහුගේ මාර්ගයෙන් මට ඒ වනවිට ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ම අංග රචනා ශිල්පියා වන ශේෂා පලිහක්කාර හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ කියන්නේ ශේෂා පලිහක්කාර කියන ගුරුතුමා යටතේයි මා සිනමා අංග රචනා සහය ශිල්පියෙක් ලෙස පළමුව ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ.

ඒ කුමන චිත්‍රපටයක් සඳහා ද?

චන්ද්‍රන් රත්නම්ගේ ‘ආදර කතාව’ චිත්‍රපටයේ.

එහිදි ඔබ මුලින් ම සිදුකළ කටයුත්ත මතක ද?

අංග රචනය ගැන ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ ඔහුත් සමඟ වැඩකරගෙන ඉන්න අවස්ථාවෙමයි. පළමු පාඩම විදියට මට පලිහක්කාර ගුරුතුමාගෙන් ලැබුණේ කලින් දවසේ අංග රචනා කළ ශිල්පියා ඊළඟ දවසේ අංග රචනා කරන විට ඒ බඩු සියල්ල පිළිවෙළින් ඔහුගේ අතට ලබාදීමයි.

ඒ කටයුත්ත නිවැරැදිව කරන්න ඔබට පුළුවන් වුණා ද?

ඔහු කරන කටයුත්ත බලාගෙන සිටිය නිසා මට නියම විදියට ඒ අවශ්‍ය බඩුටික ලබා දෙන්නට පුළුවන් වුණා. කුමන හෝ වෙලාවක ඒ අවස්ථාවට ලබාදිය යුතු නියම භාණ්ඩය මා නොදුන්නොත් හෙමින් මාව ඉවත් කරලා ඔහු තනියෙන් ම ඒ කටයුත්තේ නියැළෙනවා.

වසන්ත අතින් රූගැන්වුණු
බුද්ධදාස විතානාරච්චි

එහෙම කරන්නේ ඇයි?

එවිට මා තවත් ඉගෙන ගත යුතු බවයි ඒ ඔහු ඉඟි කරන්නේ. මේ නිසා හරි උනන්දුවකින්, ඇල්මකින්, භක්තියකින් තමයි අපි මේවා ඉගෙන ගත්තේ.

ඔබටත් එවැනි ඉඟි ලැබුණු අවස්ථා තිබුණ ද?

සමහර වෙලාවට මුල් කාලයේ එහෙම අවස්ථා තිබුණා. පසුව එතුමා මේ ශිල්පය පිළිබඳ ටිකෙන් ටික අපව දැනුවත් කළා. සිනමා කැමරාව හඳුනාගත යුත්තේ කෙසේ ද? මේ ආදී වශයෙන්. ඒ නිසා ඕනෑම වෘත්තියක් හැදෑරීමෙන් ඊට එළැඹිය යුතු බවයි මගේ හැඟීම වන්නේ. නව පරපුරටත් ඒක හොඳ පාඩමක් වේවි.

මුලින් ම ඔබට තනිවම වේශ නිරූපණ කටයුත්තක යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ කොතැනදී ද?

මම සුමිත්‍රා පීරිස් එක්වරක් ජාතක කතා ඇසුරෙන් නිර්මාණය කළ නිර්මාණ පෙළ ගැස්මක් කළා. එතැනදි මුළු නිර්මාණයට ම සම්බන්ධ වෙලා සිටියේ සිනමාවේ සිටිය දැවැන්තයන්. එහි දිගටම විලීබ්ලේක් මහත්තයායි කැමරා අධ්‍යක්ෂ විදියට සිටියේ. එලර් කෙලී නමැති කලා අධ්‍යක්ෂවරයා සිටියා. මේ නිර්මාණ කටයුත්තේ දී එක් දවසක් ශේෂා පලිහක්කාර සර්ට කොළඹ යන්නට සිදුවන්නේ හදිසි වැඩ කටයුත්තක් සඳහායි. ඒ ගිය දවසට පසුවදා එහි ලොකු ම වෙනසක් තිබුණු චරිතය රඟපාන්නට තිබුණේ ටෝනි රණසිංහ මහත්තයාටයි. එහෙත් ඒ අවස්ථාවට සර් එනතුරු බලාගෙන සිටියා. ඔහු රාත්‍රියේ නොපැමිණි නිසාත්, නිර්මාණය කරන්න තිබුණු හදිසිය නිසාත් උදේට මට ඒ කාර්යයේ නියැළෙන්න යැයි ටෝනි රණසිංහයන් පැවසුවේ මා කෙරෙහි දැඩි විශ්වාසයෙන්. ඔහු වැනි ප්‍රවීණ ශිල්පියෙක් ඒ කටයුත්තට එකඟවීම ගැන මගේ සිතේ ඔහු පිළිබඳ තියෙන්නේ ලොකු ගෞරවයක්.

රවීන්ද්‍ර රූගන්වමින්

එතැනින් පස්සේ ශේෂා පලිහක්කාර ගුරුතුමා ඔබට වේශ නිරූපණ කටයුතු භාර දුන්නා ද?

ඇත්තටම ඔව්. ඔහු දැන ගත්තා මට ඒකට ඇල්මක්, ආදරයක් සහ යම් හැකියාවක් තියෙනවා කියලා. ඔහුට අනුව මම තනියෙන් ම පළමුවරට වැඩ කරන්නේ මගේ ගුරුතුමා නිෂ්පාදනය කළ ‘සත්‍යග්‍රහණය ’ චිත්‍රපටයේදියි.

මේ නිර්මාණ කටයුතුවලදී ඔබට තනිවම වේශ නිරූපණ කටයුතුවල යෙදෙන්න ආරාධනා ලැබිලා තිබෙනවා ද?

මේ වගේ ආරාධනාවක් ලැබෙන්නේ මට ‘ආදාර කතාව” කියන චිත්‍රපටයේ දීමයි. එහි සිටිය නිෂ්පාදන කළමනාකරුවෙක් ඔවුන් චිත්‍රපටයක් කරන්න යන බවත්, ඒ සඳහා මා මේකප් කළ යුතු බවත් පැවසුවා. එහිදි මා ඒ අදහස එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඒ මට අවශ්‍ය මේ ශිල්පය තව තවත් ඉගෙන ගන්නට උවමනා බව පවසමින්. එදා මම ඒ කටයුත්ත භාර ගත්ත නම් මේ තරම් දුරක් එන්න පුළුවන් වේ යැයි අද මට සිතෙන්නේ නැහැ.

නමුත් වර්තමානය නම් මීට වඩා වෙනස් ?

අද එකක, දෙකක වැඩ කළ පමණින් ඊළඟ නිර්මාණය තනිව ම කරන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා මම හැම තිස්සේ ම පවසන්නේ හැදෑරීම වැදගත් බවයි.

ඔබ මෙතෙක් වේශ නිරූපණ කටයුතුවල යෙදීමේ දී බොහොම කැමැත්තෙන් ඒ කටයුත්තේ නියැළුණේ කුමන නිළියකගේ හා නළුවෙකුගේ ද?

විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, ප්‍රෙඩී සිල්වා, ඔස්වල්ඩ් ජයසිංහ, ඩොමී ජයවර්ධන වගේ ප්‍රවීණ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න මට අවස්ථා හිමිවී තිබුණා. ඒ නිසා ඒ එක්කෙනෙක් පිළිබඳව පමණක් විශේෂ කරන්නට මට කළ නොහැකි දෙයක්. එය වෘත්තිය පැත්තෙන් කරන වැරැද්දක් ලෙසයි මා දකින්නේ.

සබීතා රූගන්වමින්

විශේෂයෙන් ම ඔබ සතුටෙන් කටයුතු කළ චිත්‍රපටයක් ගැන සඳහන් කළ හැකි ද?

‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය නම් කරන්න මම කැමැතියි. එහි එක් අවස්ථාවකදි මතකයේ කවදාවත් නොමැකෙන සිදුවීමක් වුණා. ඒ මර්වින් ජයතුංග නළුවා සම්බන්ධයෙන්. මේ නිර්මාණ කටයුත්ත භාරගෙන කටයුතු කළේ ශේෂා පලිහක්කාර ගුරුතුමායි. ඒ නිසා මමත් සමඟ තවත් කිහිපදෙනෙක් ඒ කටයුත්තට සම්බන්ධ වුණා. ඔහු මේකප් දාන්න එනවිට ඒ වෙලාවේ මමයි මේකප් රූම් එකේ සිටියේ. මේකප් එක දාන්න පටන් ගත්ත වෙලාවේ ඉඳගෙන ඔහු මට මේ විදියට කළ යුතුයැයි කියමින් එකින්එක උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒ අතර එතැනට පැමිණියේ මම මීට පෙර මේකප් කළ රෝයි ද සිල්වායි. ඔහු මර්වින් සමඟ කතා කළත් හඳුනා ගන්නට නොහැකි වූ නිසා තමාගේ නම කියලාම කතා කරන්නට රෝයිට සිදුවුණා. එහිදි මේකප් එක නිසා රෝයිව හඳුනාගත නොහැකි වූ බවත්, ඒ මේකප් එක දැම්මේත් කවුදැයි විමසන්නටත් ඔහු අමතක කළේ නැහැ. ඒ මේකප් එක දැම්මේ මම කියලා දැනගත් විගසම ‘ඇයි මල්ලි මට බැන්නේ නැත්තේ’ කියලා ඔහු මගෙන් විමසුවා විතරක් නොවෙයි මට සමාවෙන්න කියලත් පවසන්න ඔහු මැළි වුණේ නැහැ.

සමහර නළු නිළියන් ඔබට කරදරයක් වූ අවස්ථා තිබුණේ නැද්ද?

ඔබ ඔය කියන විදියේ කරදර කාර නිළියන් සිටින වග මට අසන්නට ලැබුණත් මම එවැනි නිළියන් සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනස් ම ක්‍රමයක්. එක්තරා අවස්ථාවකදි ඔය වගේ මේකප් මකා ගන්න, කොණ්ඩය සුදු කරලා තියන විට මකලා දමන, නිළියක් සමඟ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එතැනදි මම අධ්‍යක්ෂවරයාට කලින් ම මේකප් ටෙස්ට් එකක් කරමු කියලා කිව්වා. එතැනදි මට ඕකේ වුණොත් විතරයි මම මේකප් එක භාර ගන්නේ කියලත් ඔහුට මා පැවසුවා. ඒ අවස්ථාවේදි මම ඇයට මේ චරිතය පිළිබඳ, එහි වටිනාකම පිළිබඳ කියලා දීලා මේකප් එක දැම්මා. හැබැයි ඇය කිසිම වෙලාවක වෙනදා වගේ මේකප් එක මේ නිර්මාණයේදී මකාගෙන තිබුණේ නැහැ. ඒ නිසා අංග රචනා ශිල්පියා මේ කටයුත්ත කිරීමට දක්ෂ හා උපක්‍රමශීලී විය යුතු බවයි මා පවසන්නේ.

තමා රඟපාන චරිතය වෙනුවෙන් බොහොම කැප කිරීම් කළ නළු නිළියන් ඔබට මුණ ගැසී තිබෙනවද?

විජය කියන්නේ එවැනි නළුවෙක්. ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ දී ඔහු ඒ චරිතයට මේකප් එක දමලා, කොණ්ඩය දමලා, ඒ නියමිත ඇඳුම් ඇන්දට පස්සේ වැඩකටයුතු කළේ බොහොම ගෞරවයෙන්. අනෙක් අයත් සමඟ සම සේ වාඩි වුණේ නැහැ. වාඩි වෙන්න බැරි නම් නැඟිටලා සිටියා. එදා ඔහු කෑම කෑවෙත් නැහැ. බීම වගේ දෙයක් තමයි බිව්වේ. ‘විරාගය’ චිත්‍රපටයේ දී සනත් කළ කැපකිරීමත් මට මෙහිදි මතකයට නැගෙනවා. එහි අන්තිම අවස්ථාවකදි ඔහුගේ කොණ්ඩය තැනින් තැන කපන්නට සිදුවුණා. ඒ වනවිට සිනමාවේ වීරයෙක් වී සිටිය ඔහු ඒ අපේ අදහසට එකඟ වුණේ බොහොම කැමැත්තෙන්. එහෙත් මේ කටයුත්ත කරන අවස්ථාවේදි මේ රූගත කිරීම් නරඹන්න පැමිණි සිටි ගමේ යුවතියක් මට හොඳටම බැන්නා. ඒ “මොකද ඔහේට ඔය වෙලා තියෙන්නේ. අත තියාගෙන නිකම් ඉන්නම බැරිද? ලස්සනට තිබුණු අර කොණ්ඩය විනාශ කරන්නේ” කියලා.

ඔබ මේ සියලු මාධ්‍යවලම සැරිසරන වේශ නිරූපණ ශිල්පියා නිසා වේදිකාවේදිත් මේ වගේ හදිසි අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවද?

මේ දේ සිද්ධ වෙන්නේ ‘පුන්තිලා නාට්‍යයේදී. නිහාල් සිල්වා සම්පූර්ණයෙන්ම තට්ටය ගාන්නෙත් ‘පුන්තිලා’ නාට්‍යය සඳහායි. මෙහි මේකප් දැම්මේ මමයි. එහි රඟපෑ නිහාල් සිල්වා මේකප් දමන්න ආවට පස්සේ ඔහු නියැළෙන කටයුතු නිසා ඇතිවන තෙහෙට්ටුවට, ඔහුට ඉබේම නින්ද යනවා. මේ චරිතයේ දි ඔහුගේ තට්ටය වටේට කෙස් ඇති නිසා ඒ විදියටයි මේකප් කළ යුත්තේ. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වෙනවා. එක දවසක් ඔහුව මේකප් කරල අවසන් වෙලා මා ඔහුව අවදි කළා. එක්වරම ඔහු අවදි වුණේ ඔළුවේ වගේ ම මුහුණේ තිබුණු මේකප් එකත් අතෙන් පිහදමින්. ඉතිං නැවතත් ඔහුට නිදා ගන්න කියලා මම මේකප් එක දැම්මා.