වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පොත් කඩේ වැඩට එන්න පුළුවන්ද?

නම හෙළි නොකරන ආදරණීය තාරකාවකගේ ජීවිතය අළලා ලියන සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

මගේ පොත් කඩේ වැඩට එන්න පුළුවන්ද?

'මානවී හොයාගෙන මං දවල් ගෙදරට ආවා'

සුමිත් පැවසුවේය. හතර වටින් ගලා ආ බිම් කළුවර ගෙයි එළිපත්ත තරණය කොට තිබිණ. මානවී සමඟ කතා කරන්නේ කවුරුදැයි බලන්නට ගෙයින් එළියට පැමිණි අත්තම්මා ඒ සුමිත් යැයි බව දැන ආපසු ගියාය.

'මං කිව්ව ළමයෝ, දවාලෙත් ඇවිත් ගියා කියලා'

ඈ යන ගමන් පැවසුවාය.

'ඇයි සුමිත් අයියේ?'

මානවී අසල පුටුවකට බර දුන්නාය. සුමිත් වාඩි වී සිටියේ අනිත් පුටුවේය.

'මානවී ජොබ් එකක් හොයලා දෙන්න කිව්වා නේද. මම අර හන්දියේ පොත් සාප්පුවක් පටන් ගන්නවා කිව්වේ. එන්න පුළුවන් ද කියලා අහන්න'

සුමිත් මානවීට නෑකමට බාප්පාය. වයසින් නම් අවුරුදු අටක් පමණ ඇයට වඩා සුමිත් වැඩිමල්ය. කුඩා කල ගමෙන් ගිය සුමිත් පිරිවෙනක උගත්තේය. ඔහු නගරයේ කුඩා සිංහල පන්තියක් පවත්වාගෙන ගියේය. එයට බොහෝ ළමෝ ආහ. සුමිත් දක්ෂ සිංහල ගුරුවරයකු යැයි පතළව සිටි බැවින් දිනෙන් දින ශිෂ්‍යයන් ද වැඩි විය. මානවී ද සුමිත් ළඟ ඉගෙන ගත්තාය.

'පන්තියට ළමයි ආවාට මානවී මේ පළාත්වල ලොකු ගාණක් ගන්න බෑනේ. වැඩි දෙනෙක් දන්න කියන අයමනේ'

සුමිත් කොළඹ සිංහල පන්ති සමඟ තම පන්තිය සසඳන්නට තැත් කළේය. උදේ පාන්දර බස් රියෙන් කොළඹ ගොස් සිංහල පන්තිවලට සහභාගි වී ආපසු එන යමක් කමක් ඇත්තෝ ද ගමේ සිටිති.

'ඒ හින්දයි මම පොත් සාප්පුවක් දාන්න හැදුවේ. ටිකක් හරි ආදායමක් එනවනේ'

ඔහු පැවසුවේය. මානවී කිසිත් පැවසුවේ නැත. සුමිත්ගේ යෝජනාව හිතේ හැටියට කදිමය.

'මට මුලින් නම් ලොකු පඩියක් ගෙවන්න බෑ. මානවී මට කියන්නකෝ'

අත්තම්මා එළියට ආවේ තේ කෝප්පයක් රැගෙනය.

'සුමිත් මහත්තයට තේ එකක් හැදුවා'

ඔහු සිනාසී තේ කෝප්පය අතට ගත්තේය.

'මම අර හන්දියේ පොත් කඩයක් දාන්න ලෑස්ති කළා. මානවීගෙන් ඇහැව්වේ ටික දවසකට එන්න බැරිද කියලා'

'කවදා විතරද පටන් ගන්නේ'

අත්තම්මා ඇසුවාය.

'ලබන පහළොස් වැනිදා. මොකද මොනව උණත් විශ්වාසවන්ත එක් කෙනෙක් ඉන්න ඕනෑ. සුනීතාත් ඉන්නවා. එයාට ඉතින් ළමයාව ඉස්කෝලෙට දාන්න ඕනැනේ. හැමදාම ඉන්නත් බෑ, මේ වෙලාවේ උදව්වක් හැටියට හිතලා ආවත් කමක් නෑ'

සුමිත් බලාපොරොත්තු සහගතව පැවසුවේය.

'මං එන්නං'

මානවී පැවසුවාය. අත්තම්මා කිසිත් පැවසුවේ නැත.

හැන්දෑවේ කුඹුරට ගිය අත්තා උදැල්ල බිම තබන ශබ්ද ඇසිණ. ඔහු එන්නට ඇත්තේ පිළිකන්න දෙසිනි. ගේ ඇතුළේ දොරකඩින් ඔහුගේ රුව මෑත් විය. මානවී හා සුමිත් වැඩිහිටියට ගරු කරමින් උන් තැනින් නැගිට්ටහ. අත්තාගේ දෙපය පුරා මඩ තැවරී තිබිණ.

'මහත්තයා!'

මානවී ඒ ඇසිල්ලේ ගෙට ගියාය. අත්තා හා සුමිත් ගේ කතාබහ කෙටියෙන් කෙළවර වන්නක් නොවේ. දෙන්නා වයසින් ලොකු පරතරයකි. එහෙත් අත්තා සුමිත්ට සලකනුයේ මිතුරකුගේ ගානටය. කවදාවත් ඇය අසා නැති ශ්ලෝක ගාථා මෙන්ම බණ කථා ද මේ කතාබහට එක් කර ගනී. සියල්ලන්ටම වඩා සුමිත් කැමති පැරැණි ඇත්තන් ගැන තොරතුරු දැනගන්නටය.

'සුමිත් මහත්තයා වගේ එක් කෙනෙක් ඇර දැන් කවුරුවත් මේ ගැන දන්නේවත් නෑ'

අත්තා පැවසුවේ එබඳු කතාවක කෙලවරකදීය. ගම් පළාත ගැන නා තොරතුරු පෙළක් අත්තාගේ මතකයේ ඇත.

'ඔය සුමිත් මහත්තයලෑගේ ගේ ගාවින් තමා අපි පුංචි දවස්වල පාර වැටිලා තිබුණේ. ඔතැන එදා තිබුණා ගොඩ කප්පර ගහක්. හැන්දෑවේ හයෙන් පස්සේ කව්රුවත් ඔතනින් යන්නේ නෑ ඔය හරියේ හොල්මන් තියෙනවා කියලා'

දවසක් අත්තා අතීත කතාවක් කියූ අසා මානවී බිය වූවාය.

'දැන් එව්වා ඔක්කොම එළිවෙලා. ඉස්සර ඉතින් ඔය ඉස්කෝලේ මහත්තයලෑ ගෙදර ළඟටම අලි ආවා. ටවුමේ ඉස්සෙල්ලාම කඩයක් දැම්මේ වැලිගම මුදලාලි'

අත්තාගේ කතාව දිගින් දිගටම එබඳු කතාවන්ය. ඒ කතා අසා සිටින්නට කදිමය. එදා රාත්‍රියේ සුමිත් ගියේ කීයටදැයි මනාවී දැන සිටියේ නැත. ඒ වන විට ඇයට කාමරයේ ඇඳ මත නින්ද ගොස් තිබිණ.

සුමිත් ගේ කුඩා පොත්හල ආරම්භ කළ දවසේ මානවී අලුත්ම ගවුමක් ඇන්දාය. එය අන්තිම වතාවට අම්මා ගමට ආ දවසේ අරන් දුන් ඇඳුමය. මානවී පොත් කඩයේ රස්සාවට ගියේ එය ආරම්භ කරන්නට කලින් දවසේය. ඇගේ තීරණයට වැඩිහිටියන් කිසිවක් හෝ පැවසුවේ නැත. සුමිත් ගැන විශ්වාසය ලොකු එකකි.

සාප්පුව පටන් ගන්නට කලින් දවසේ සුමිත්ගේ බිරිය සුනීතාත් මානවීත් රෑ වනතුරු එහි වැඩ කළහ. ඉස්සර ද එතැන පොඩි කඩයක් තිබිණ. සුමිත් එය මිළයට ගත්තේය. මුලින් අයිතිව තිබූ අප්පුහාමි අත්තා ලොකු නඩුවක් නිසා ඉතුරුව තිබූ එකම ඉඩම් කැබැල්ල මෙය විය. සුමිත්ට තිබූ නෑදෑකම කොයි හැටි වෙතත් සුනීතාට මානවී ඇමතුවේ අක්කා යනුවෙනි. ඇය මේ ගම් පළාතේ එකියක නොවීය.

'නංගියේ අපි මහන්සිය නොබලා මේ ඔක්කොම හෝදලා දාමු'

සුනීතා පැවසුවාය. වැඩ කරන්නට නම් ඇය රුසියකු බැව් මානවී මේ වන විට වටහාගෙන අවසන්ය. සුමිත් මෙන් එක තැන නතර වී කතා වෙවී ඉන්නට ඇයට වේලාවක් නැත. මේ වැඩ අස්සේ කුඩා දරු දෙදෙනාගේ රාජකාරිය ද අමතක කරන්නට ඇයට නොහැකිය. සුමිත් තවමත් පාර අයිනේ කිසිවකු සමග කතාබහකය.

පොත් සාප්පුව විවෘත කරන දවසේ මානවී ද උදේම එතැනට පැමිණියාය. විවෘත කිරීමට සුමිත් ගමේ කොයි කාටත් පාහේ කතා කර තිබුණි. ලොකු හාමුදුරුවෝත් තවත් හිමි නමකුත් උදේ වැඩම කළේ නැකත් වෙලාවට පිරිත් කියන්නටය. ඒ වෙලාවට අත්තාත් අත්තම්මාත්, ලොකු ඉස්කෝලේ මහත්තයාත්, සුමිත්ගේ මාපියන් හා සොහොයුරා හා භාර්යාවත් පැමිණ සිටි'යහ. උත්සවයේ වැඩ මානවී කරට ගත්තාය. අට පිරිකරක් පූජා කළ සුමිත් දොහොත් මුදුන් දී ලොකු හාමුදුරුවන්ට වැන්දේය. සුනීතා වැන්දේ කර මත සිටි පොඩි' එකා වඳුරු පැටියකු මෙන් දවටාගෙනය. අනතුරුව ඈ අසල සිටගෙන සිටි වැඩිමහල් දරුවා භික්ෂූන් වහන්සේ ළඟට තල්ලු කළේ බලෙන් දණ ගස්වමිනි. කොලු පැටියා අම්මාගේ ඇඟේ එල්ලී සිටියේය. අනතුරුව නොකමැත්තෙන් මෙන් වන්දනා කළේය.

ලොකු මහත්තයාත්, අත්තාත් අනතුරුව භික්ෂූවට වැන්දාහ.

'මානවී තමයි එතකොට මැනේජර්'

ලොකු හාමුදුුරුවෝ තමන්ට වැඳ නැගිටි මානවී අමතා සිනාසෙමින් පැවසුවේය.

'විශ්වාසා පරමා ඥාති කියනවනේ හාමුදුරුවනේ'

අත්තා ලොකු හාමුදුරුවන්ගේ කතාවට අගුල්පත් තැබුවේය. මානවී පසුපසට යමින් පෙරළා සිනාසුණාය.

සාප්පුව විවෘත කරන්නට පැමිණි ආරාධිතයන් ආපසු ගියේ කිරිබත් කෑමෙන් පසුවය. සුමිත්ගේ අම්මා හැදූ කට්ට සම්බෝලය ඉහ මොල රත් කරන්නක් විය. ආරාධිතයන් නික්ම ගිය පසු මානවී සුමිත් හා සුනීතා සමඟ නතර විය. කඩයට උදෑසනින්ම ගනුදෙනු කළේ ලොකු මහත්තයාය.

අලුතින් ගෑ තීන්ත මානවීගේ නාස් පුඩු හරහා ගියේය. ඈ අලුතින්ම හුස්ම ගත්තේ ඒ සුවඳ විඳින්නට කැමැත්තෙන් මෙනි. අනතුරුව ඈ එහි රාක්ක මත අතුරා ඇති පොත් එකින් එක අත ගා බැලුවාය.

සුනීතා සිටියේ දරුවාට කිරි පොවමිනි. කුඩා දරුවකු කඩයට ආවේය.

'පිටු අසූවේ එක්සයිස් පොත් තියෙනවාද?'

දරුවා ඇසුවේය.

'ඔව්, තියෙනවා'

මනාවී වහා උත්තර දුන්නාය. සුමිත්ට සිනහ ගියේ ඇගේ උනන්දුව නිසාය. මානවී පොතක් අතට ගෙන එහි මිළ සුමිත්ට පැවසුවේය.

පොත් කඩයට අද්දරින් තිබුණේ අනුරාධපුරයට යන මහ පාරය. කොළඹ සිට එන බස් හන්දියේ නොනවත්වා වේගයෙන් ඉදිරියට ගියේය.

පොත් කඩය ළඟින් ගිය වෑන් රථයක් හිටි අඩියේ බ්‍රේක් ගසා නතර කරනු මානවීට පෙනිණ. ඒ සැනින්ම රථය ආපසු ආවේය.

'නංගී රී-ලෝඩ් එකක් දාන්න පුළුවන්ද?'

රථයේ කවුළුවෙන් එබුණ එකෙකු මානවීගෙන් ඇසුවේය. මානවී තිගැස්සුණේ රියෙහි සිටි තැනැත්තා දුටුවිටය.