වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




උලෙළේ සමාරම්භක චිත්‍රපටය

උලෙළේ සමාරම්භක චිත්‍රපටය

දීපන්

ප්‍රංශයට පලා ගිය දෙමළ තරුණයකු පිළිබඳ පුවතක්

මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ සමාරම්භය සනිටුහන් කරන්නේ ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ශාක් ඔඩියා (Jacques Audiard)  විසින් අධ්‍යක්ෂණය කළ ‘දීපන්’ චිත්‍රපටයයි. 68 වැනි කාන් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි ගෝල්ඩන් පාම් සම්මාන හිමි වූයේද ‘දීපන්’ චිත්‍රපටයටයි. එල්.ටී.ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකුගේ ජීවන අත්දැකීමක් සමඟින් දිගහැරෙන මෙහි දීපන් නම් වන එම ශ්‍රී ලාංකික දෙමළ තරුණයා ප්‍රංශයට පලා ගොස් නව ජීවිතයක් ආරම්භ කිරීමට ගන්නා උත්සාහය දැක්වෙයි.

දීපන් ප්‍රංශයට සංක්‍රමණය වන්නේ ඔහුගේ බිරිඳ සහ දියණිය ලෙසින් පෙනී සිටින තවත් දෙදෙනෙකුද සමඟිනි. එහිදී දීපන් සිය බිරිඳ ලෙස සම්බන්ධකර ගන්නේ යාලිනීය. ඇය නීති ශිෂ්‍යාවකි. ඇයගේ දෙමාපියන් මිය ගොස්ය. මේ යුවළගේ දියණිය ලෙස තෝරා ගන්නේ යුද්ධය නිසා අසරණ වූ කුඩා ඉලයියාල් ය. ප්‍රංශ බලධාරින් හමුවේ තම පවුල් ජීවිතය ගැන විශ්වාස කළ හැකි අන්දමේ කතාවක් ගොතා පවසන දීපන් සහ යාලිනිහට සහයට එන්නේ දෙමළ ජාතික භාෂා පරිවර්තකයෙකි.

කෙසේ වුවද එකම සිදුවීමක් නිසා ජීවිතයේ බරපතල ඛේදවාචයන්ට මුහුණදී සිටියද එකිනෙකා නොහඳුනන මේ තිදෙනාහට සරණාගතයන් ලෙසින් ප්‍රංශයට පැමිණ ජීවත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. එහිදී එකිනෙකා වටහා ගැනීමේ ගැටළුව දරුණු වන විටදී දැඩී පීඩනට පත් වන්නේ කුඩා ඉලයියාල් ය. ඇය පැරීසියේ විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වෙනුවෙන් වූ පාසලකට ඇතුළත් කිරීමට අවස්ථාව උදාවේ. යාලිනි සාත්තු සේවිකාවක ලෙසත් දීපන් නිවාස පාලකවරයෙකු ලෙසත් රැකියාව ලබයි. ඔවුන්ගේ නවාතැන අසළට පැමිණෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පීඩනවලට ලක්වන්නට සිදුවීම නිසා නැවතත් බ්‍රිතාන්‍යයට පලා යෑමට දීපන් සහ යාලිනී තීරණය කරයි. මේ පවුලේ සැබෑ බැඳිමක පෙර නිමිති පෙනෙන්නේ මේ ගමනේදීය.

මෙහි දීපන්ගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන ඇන්තනිදාසන් ජේසුදාසන්ය. පැරීසියේ පදිංචි 47 හැවිරිදි ජේසුදාසන් ලේඛකයෙකු ලෙසින් රැකියාවේ නිරතව සිටියි. යාලිනි ලෙස රඟන්නේ ඉන්දීය නිළියක වන කලීස්වරී ශ්‍රීනිවාසන්ය. ඇය නාට්‍ය කලා ගුරිවරියක ලෙසද සේවය කරන්නීය. කුඩා ඉලයියාල්ගේ චරිතයට පණ දෙන්නේ දස හැවිරිදි ක්ලෝඩීන් විනසිතම්බිය. ඇයගේ දෙමාපියන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ය. ‘දීපන්’ අධ්‍යක්ෂ ශාක් ඔඩ්යාඩ් ප්‍රංශයේ සිටින දක්ෂතම සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහු සිය සිනමා දිවිය ආරම්භ කළේ තිරරචකයෙකු ලෙසිනි. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූයේ 1994 වසරේ තිරගත වූ See How They Fall චිත්‍රපටය යි. දීපන් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කර තිබෙන්නේ ප්‍රංශයේ දී වන අතර අදහස් ප්‍රකාශ කිරීම දෙමළ බසින් වීම මෙන්ම රංගනය සඳහා ශ්‍රී ලංකා - ඉන්දියා සම්භවයක් ඇති නළු නිළියන් යොදා ගෙන තිබීම විශේෂත්වයකි. උලෙළේ අවසාන චිත්‍රපටය වන්නේ මෙවර උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානනීය වන චිත්‍රපටය යි.