වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




වැලි මත ඇඳෙන බොලිවුඩ් සිතුවම්

වැලි මත ඇඳෙන බොලිවුඩ් සිතුවම්

සිතුවම් කිරීම ඈති අතීතයේ ගල් යුගයේ සිටම පැවැත එන්නකි. ගල්වල සිතුවම් කිරීමෙන් ඇරඹි සිතුවම් කලාව වැලි පිල්ල දක්වා පැමිණියේය. අතීතයේ ගුරු ගෙදර ඉගැන්වීම් කටයුතුවල ප්‍රධාන මෙවලම වූයේද වැලි පිල්ලයි. එදා දරුවන් අකුරු කළේ සිහින් වැලි මතය. අද කිසිවෙකුත් වැලිමත අකුරු නොලීවද සිහින් වැලි මත අපූරු සිතුවම් මවන්නා වූ සිත්තරෙකු ගැන නම් අසන්න ලැබේ. එසේම ඔහු විසින් වැලිමත කරන ලද අපූරු සිතුවම් අද කාගේත් කතාබහට ලක්වී තිබේ.

රාහුල් ආර්යා වැලි මත චමත්කාරජනක රූප මවන්නා වූ කලාකරුවෙකි. මෙවර ඔහුගේ වැලි නිර්මාණ එකතුවට එක් වූයේ වෙනස් තේමාවකි. එනම් සියවසක ඉන්දීය සිනමා ඉතිහාසය වැලි මතින් සිතුවම් කිරීමයි. ඔහු එය නම් කළේ “වසර 100ක ඉන්දීය සිනමාව තත්පර 200කින්” ලෙසයි. එක් අවස්ථාවක දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ චිත්‍රපටයේ ශාරුක් ඛාන් රාජ් ලෙසින් රඟන රැවක් මැවී තවත් තත්පර කිහිපයකින් ඒ රූපය බජ්රන්ගී භයිජාන් චිත්‍රපටයේ මුන්නිගේ අත අල්ලාගෙන සිටින දර්ශනයක් මැවෙනවා.

දක්ෂකමට සීමා නැහැ. රාහුල් මේ නිර්මාණයෙන් පෙන්වන්නේ එයයි. 1913 වසරේදී දාදාසහබ් පාල්කේ විසින් ඉන්දීය සිනමාව වෙනුවෙන් ප්‍රථම නිහඬ චිත්‍රපටය ලෙස ‘රාජා හරිශ්වන්ද්‍ර’ හඳුන්වා දෙනවිටදී සිනමා කර්මාන්තයක් ලෙස ඉන්දීය සිනමාව ලොවම ආකර්ශනය කරගන්නා කර්මාන්තයක් වේවියැයි සිතුවා දැයි නොදන්නෙමු. නමුත් එදා සිට අද දක්වා එම ගමන අපූරු වැලි සිතුවම් නිර්මාණයක් ලෙසින් එළිදක්වා දක්වා ඇත.

රාහුල් නිර්මාණය කළ මෙම සිතුවම් එකතුවට 1913 වසරේදී ඉන්දියාවේ නිර්මාණය වූ ප්‍රථම නිහඬ චිත්‍රපටය වන ‘රාජා හරිශ්වන්ද්‍ර’, 1931 වසරේ තිරගත වූ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ‘අලාම් ආරා’ ඇතුළුව වර්තමානයේ ආදායම් වාර්තා තැබූ ‘ත්‍රී ඉඩියට්ස්’, ‘බජ්රන්ගී බයිජාන්’ ඇතුළුව චිත්‍රපට විසි දෙකක සිතුවම් ඇතුළත්. ‘ශ්‍රී 420’ (1955), ‘මදර් ඉන්දියා’ (1957), ‘මූගල් ඊ – අසාම්’ (1960), ‘ගයිඩ්’ (1965), ‘ආනන්ද්’ (1971), ‘ෂෝලේ’ (1975), ‘ශරාබ්’ (1984), ‘මිස්ටර් ඉන්දියා’ (1987), ‘අන්දාස් අප්නා අප්නා’ (1994), ‘දිල්වාලේ දුල්හානියා ලේජායේන්ගේ’ (1995), ‘හේ රාම්’ (2000), ‘හීරා පේරි’ (2000), ‘මුන්නාබායි එම්බීබීඑස්’ (2007), ‘ක්‍රිෂ්’ (2006), ‘ත්‍රී ඉඩියට්ස්’ (2009), ‘රොබෝ’ (2010), ‘ගැන්ග් ඔෆ් වෙසපූර්’ (2012),’ද ලන්ච් බොක්ස්’ (2013), ‘බාහුබාලි’ (2015) සහ ‘බජ්රන්ගී භයිජාන්’ (2015) චිත්‍රපටවල සිතුවම් එයට ඇතුළත් වේ. රාහුල් විසින් සිහින් වැලි වලින් කළ මේ විශ්මයජනක නිර්මාණය වීඩියෝවක් ලෙසින් එළිදක්වා තිබෙන්නේ වචන සහ පසුතල සංගීතයක් සමඟින්.

රාහුල් ආර්යා විසිපස් හැවිරිදි තරුණයෙක්. ඔහු වසර කිහිපයක සිට විවිධ පරීක්ෂණ කරමින් මෙම වැලි නිර්මාණ කලාවේ අපූරු නිර්මාණ මවන්නේය. “වැලි, ජීවිතයක මොහොතක් වගේ. අපේ ජීවිතවලත් කාලය වේගයෙන් ගෙවිලා යනවා. එයත් හරියට වැලි රූප කලාව වගේමයි” රාහුල් පවසයි.

“වැලි මත සිතුවම් කර තිබෙන චිත්‍ර කෙතරම් සුන්දර වුනත් ඒවා කිසිවෙකුට ස්පර්ශ කළ නොහැකියි. ඒවා ක්ෂණිකව වෙනස් වෙනවා. මුදල්වලින් ඒවා අල්ලා තබා ගන්න බැහැ” මේ විශ්මයජනක වැලි නිර්මාණකරුගේ අදහසයි. රාහුල් තදබල ලෙස සිනමාවට ඇබ්බැහි වූවෙක්. ඉන්දීය සිනමාවේ අභිමානය චමත්කාරජනක ලෙසින් දැක්වීමට රාහුල් පෙළඹවූයේ එම තදබල ආසාවයි. දහස් ගණනක් චිත්‍රපට අතුරෙන් චිත්‍රපට විසිදෙකක් තෝරා ගත්තේ දැඩි අසීරුවෙන් බව ඔහු පවසයි. ඒ අතරින් ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ‘මිස්ටර් ඉන්දියා’ චිත්‍රපටයටයි.

වැලි නිර්මාණ කලාව හරහා සිතුවම් අඳිනා රාහුල් ගැන අද ජාත්‍යන්තරයේද කතාබහට ලක් වී ඇත. තත්පර 10ත් 20ත් අතර නිර්මාණ කාර්යයක් වෙනුවෙන් ඔහු ඉන්දීය රුපියල් එක්ලක්ෂ විසිපන්දහසත් දෙලක්ෂ පනස්දහසත් අතර මුදලක් අය කරයි.