වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන් ඇගැයීමට ලක්කිරීම මට විශාල සතුටක්

කලාකරුවන් ඇගැයීමට ලක්කිරීම මට විශාල සතුටක්

සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියයි

කැලණිය නුංගමුගොඩ ප්‍රදේශයට පසුගිය දිනක අප පිවිසියේ ප්‍රවීණ රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ නිවහනට යන අදහසිනි. නුංගමුගොඩ යන පුවරුව ආසන්නයේ පිහිටි නිවෙස් කිහිපයක් එහායින් පිහිටි ඔහුගේ නිවෙසේ ගේට්ටුව විවෘත කර ඇති වග අප දුටුවේ ඈතදීම ය. විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළ් වූ අප ඉදිරිපසට පැමිණියේ සතිස්චන්ද්‍රගේ ආදරණීය බිරිය ශ්‍රියා එදිරිසිංහ ය.

“ එන්න...... එන්න.......”

ඇයගේ සිනහ මුසු උවන අපව පිළි ගත්තේ ය. ඔබ ආදරය කරන ඒ රංගන ශිල්පියා පැමිණෙනතුරු අප අසලට වී කතාබහේ යෙදුණේ ද ඇයයි.

“ මහත්තයා මේ ෂූටින් අවසන් වෙලා ආව විතරයි. ඔයාලා ආ වග මම කියන්නම්.”

එසේ පවසමින් ඈ නිවෙස ඇතුළතට පිවිසියේ ලැසි ගමනෙනි.

“ ඔයාලා එනවා කිව්ව නිසා ම මම ආවා.”

ඈ ගිය විගසම ඔහු පැමිණියේ එලෙස පවසමිනි.

“ මොන නාට්‍යයේ ද මේ දවස්වල රූගත කිරීම්”

අප අසල ම අසුන්ගත් ඔහුගෙන් මම විමසුවෙමි.

‘ මංජුල මොරගහ කරන ටෙලි නාට්‍යයක ලොකු අප්පච්චිගේ චරිතයටයි මා මේ දවස්වල පණ පොවන්නේ. ජැක්සන්ගේ නිර්මාණයකටත් මට ආරාධනා ලැබිලා තිබෙනවා. ගිරිරාජ්ගේ ‘සුහද කොකා’ චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. ඒ කටයුතුවලට අමතරව මේ දවස්වල මගේ සභාපතිත්වයෙන් තිබෙන මිහිඳු සංස්කෘතික පදනමට වසර හයක්. එහි සංවත්සරය සමරන්නට හා සුවඳ පද්ම හතරවන උපහාර සම්මාන උලෙළෙ පවත්වන්නටත් අවශ්‍ය සියලු කටයුතු ඉක්මනින් ම සූදානම් වෙනවා. මේ කටයුතු පැවැත් වෙන්නේ මේ මාසයේ 07 වැනිදා සවස 3.00ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී.”

අධ්‍යක්ෂණය, රංගනය ඇතුළු භූමිකා රැසක ම සැරිසරන සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමාජ සේවය කියන භූමිකාවටත් පිළිපන් අයෙකි.

“ මෙවර මේ පදනමෙන් ඔබ කරන්නට යන්නේ මොනවගේ කටයුත්තක් ද?”

අනිද්දා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන කටයුත්ත පිළිබඳ යමක් නොවිමසුවහොත් අඩුවකි.

“ මිහිඳු සංස්කෘතික පදනමේ හයවන සංවත්සරය වෙනුවෙන් මා රචිත ‘තණ්හාව දුකට හේතු වේ’, ‘සුමේධ පොඩි හාමුදුරුවෝ’ කියන ළමා කෘති ද්විත්වයත්, ‘ගුරු භූමිකා නිරූපණය’, ‘උතුම් කියුම්’ යන කෘති ද්විත්වයත් එළිදකිනවා. එහිදි මහාචාර්ය ජේ.බී. දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවන මේ කටයුත්තේ දී කලාකීර්තී, ආචාර්ය එඩ්වින් ආරියදාස හා ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ පැමිණීමෙන් මෙහි සුවිශේෂී සහභාගිත්වයක් සිදුවීමට නියමිතයි. මෙහිදි පුස්තක හඳුන්වාදීම සිදු කරන්නේ මහාචාර්ය කමල් වලේබොඩ සහ මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන යන මහත්වරු විසින්. ආරාධිත දේශනය කරන්නේ මහාචාර්ය දර්ශන රත්නායකයි. ගීත ගායනයෙන් ආචාර්ය වික්ටර් රත්නායකත්, විශාරද ජගත් වික්‍රමසිංහත් සහභාගි වෙනවා. සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජයන්ත රත්නායකයි. නර්තන කටයුතුවලට සහය වන්නේ චන්දන වික්‍රමසිංහයි. උත්සව සභාව මෙහෙයවීමෙන් සහය වන්නේ හරේන්ද්‍ර ජයලාල්, නදීක කරුණානායක, දිනූෂා රාජපතිරණ, සාරංග දිසාසේකර, ධනුෂ්ක ලක්මාල්, නාලක ඉල්ලවතුර කියන ශිල්පීන්. ඒ වගේ ම මෙවර සුවඳ පද්ම උපහාරයෙන් දී.ග සෝමපාල, චන්ද්‍රා කළුආරච්චි, තිස්ස ලියනසූරිය, සුමනා ජයතිලක, එච්.ඩී. ප්‍රේමසිරි, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජයලත් මනෝරත්න, හේම නලින් කරුණාරත්න, තෝමස් තිලකරත්න, ලූෂන් බුලත්සිංහල කියන ඒ ඒ විෂයයන්ට ප්‍රවීණ ශිල්පීන් පිදුම් ලබනවා. ඊට අමතරව සරණපාල ජයසූරිය, සැනට් දික්කුඹුර, ප්‍රේමදාස විතානගේ, විමල් කුමාර ද කොස්තා, ඉන්ද්‍රජිත් නාවින්න, කේ.ඒ. මිල්ටන් පෙරේරා, ඩෙරික් ප්‍රනාන්දු, චන්ද්‍රලාල් පුනාන්දු, හැරිස් නන්දසිර්, හෙන්රි ප්‍රියශාන්ත, රමණී ෆොන්සේකා, නන්දා රණතුංග, සුසිලා කූරගම, දයා වයමන්, ප්‍රසන්න ෆොන්සේකා, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, රූපා ඉන්දුමතී, රංජිත් යාපා, අනුර විජේවර්ධන, ආර්.ජී. සිරිවර්ධන යන ශිල්පීනුත් මුල්‍යමය තිළිණ හා උපහාර ලබනවා. මේ සියල්ල කෙරෙන්නේ ක්ෂේත්‍රයේ අනෙක් ශිල්පීන්ගෙන් වගේ ම තරුණ ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සුරතින් වීමත් විශේෂත්වයක්.”

සතිස්චන්ද්‍ර රංගන ශිල්පියා එදින සිදුකෙරෙන කාර්යභාරය පිළිබඳ කරන ලද්දේ අපූරු විස්තරයකි. බොහෝදෙනෙකුගේ මුදල් ආධාරයේ එකමුතුවෙන් ගොඩනැඟුණු මිහිඳු පදනම ආරම්භ කරන්නේ සතිස්චන්ද්‍රයන්ගේ ම අදහසක් අනුව ය.

“මිහිඳු පදනම ගොඩනැඟෙන මූලික අරමුණු මොනවාද ?”

“ මේ පදනම ගොඩනැඟිලා තිබෙන්නේ මුලික කරුණු තුනක් ඔස්සේ. එහි පළමු වැන්න වන්නේ සාරධර්ම අධ්‍යාපනයයි. දෙවැන්න නම් පරිසරය සුරැකීමයි. තුන්වැන්න කෘතවේදිත්වයයි. පළමු කාරණය අප සම්පූර්ණ කරන්නේ විවිධ සමිති සමාගම්වල, පාසල්වල, විවිධ ස්ථානවල දේශන පැවැත්වීම මගින්. ඒ සාර්ථක ජීවිතයක් ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳයි. ඊට අමතරව පොත් ලියා එළිදැක්වීම එහි අනෙක් කටයුත්තයි. කෘතවේදිත්වය කියන කාරණයේ දී අපි ජාතික තලයේ චිත්‍ර, සංගීතය, සිනමාව, රූපවහිනිය, සිනමාව කියන ක්ෂේත්‍රවල සිටින අයට උපහාර පුදකරනු ලබනවා. මේ වගේ යහපත් කටයුතුයි මේ පදනම ඔස්සේ කෙරෙන්නේ.”

මේ තරම් සත්කාර්යයක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අද මුදල කියන මාධ්‍යයත් අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙයි.

“ මේ සියලු දේ කරන්නට මුදල් සොයා ගැනීම සඳහා ඔබට වෙහෙසක් දරන්න සිදු වන්නට ඇති නේද?”

“මගේ හිතවත් මිත්‍රයන් රැසක් මීට උදව් කරන්නට සහභාගි වුණා. ප්‍රංශයේ ඉන්න ලක්ෂ්මන් හා රාණි හෙට්ටිආරච්චි කියන අයගේ මුදල් පරිත්‍යාගයත් මෙහිදි අප සිහිපත් කළ යුතුයි. ගිය වසරේ වගේ ම ඔවුන් මෙවරත් අපට මුදල්වලින් පදනමේ අරමුදලට උදව් කළා. මගේ ‘සොක්කානෝ රජාණෝ’ කියන වේදිකා නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑ අජිත් රූපසේන කියන මගේ ශිෂ්‍යයාට එහි ප්‍රධාන චරිතය වුණු නිල් නරියාගේ චරිතය රඟපාන්න තිබුණු ආශාව පසුගිය දිනවල ඉෂ්ට කර ගත්තා. ඔහු අපේ මේ කටයුත්තට මුදල් පරිත්‍යාග කළා. ඔහුත් එදාට මේ වැඩේට සහභාගි වෙනවා.”

සතිස්චන්ද්‍රයන්ට මෙවැනි කටයුත්තක් කිරීමේ මූලික අදහස පහල වුණේ ඔහුගේ පියාණන් නිසා ය. එකල පියාණන් මේ නුංගමුගොඩ අන්‍යෝන්‍යාධාර සමිතියේ සභාපතියි. ඔහු ඉන් කළ බොහෝ දේ පුංචි සතිස්ගේ සිත් ගත්තේ ය. සිංහල අවුරුදු සමයේ දී ධනවත් අය එකතු කරගෙන ගමේ ළමයින්, වැඩිහිටියන්ට සිය පියාණන් තෑගි බෙදාදුන් අයුරෙන් ම දිනෙක තමා ද මිනිසුන්ට යමක් කළ යුතු බව සතිස් සිතුවේ එදින ම ය. ඔහු මෙදා එය ක්‍රියාවට නැඟුවේ මෙලෙසිනි.

“ ඔබ මේ තරමට ම මෙවැනි කාර්යයකට මූලික වන්න සිතුවේ ඇයි ?”

“ මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන විට මට දැනුණ යම් යම් දේ තිබුණා. අප නොදැක්ක අසරණ වූ කලාකරුවන් සිටින වග මට හැඟී ගියා. ඇගයීමට ලක්විය යුතු අයත් ඒ අය අතර සිටියා. ඔවුන් කවදාවත් ඇගයීමට ලක්වුණේ නැහැ. එවැනි සමහර අවස්ථා මගේ නෙත් දෙකෙන් ම දකින්නට තරම් හා එවැනි දේ සඳහා මුහුණ දෙන්නට තරම් වුණු අවස්ථා තිබුණා. සිරිල් ධර්මවර්ධන ඒකට හොඳ උදාහරණයක්. මේ නිසා මේ අය වෙනුවෙන් යමක් කළ යුතුයැයි මා සිතා ගත්තා. ඒ අනුවයි මා මේ කටයුත්ත ආරම්භ කරන්නේ. මා අදහන අනෙක් කාරණය නම් අප යමක් කළ යුත්තේ මිනිසුන් වෙනුවෙන් බවයි. ජීවත්වන කාලසීමාවට වඩා වැදගත් වන්නේ ඒ කාලයේ කළ සේවයයි. කොයිතරම් දේවල් ඇතිව ජීවත් වුවත් අප ඒ කිසිවක් අරගෙන නොයන වග මට බෞද්ධ දර්ශනය අනුව විශ්වාසයි. ඒ බව අවබෝධ කරගත්ත පිරිසක් මා වටා එක්වෙලා ඉන්නවා.”

සතිස්චන්ද්‍රයන් පවසන්නේ සැබෑ ම සතුටක් හදවත පුරවාගෙනි. ඔහු අධිෂ්ඨානයෙන් යුතුව සිය අභිප්‍රාය දිගට ම කරගෙන යන්නේ ය. සරල බව ඔහු සතු ආභරණයයි.

“ මේ කටයුතු සමඟ අනෙක් වැඩවලට වෙලාව වෙන්කර ගන්නේ කොහොම ද?”

“සරල සාමාන්‍ය ජීවිතයක් ගෙවන නිසා සෑම වැඩක් ම සැලසුම් කරගන්න පහසුයි. ධාර්මික ජීවිතයකට හුරුවීමෙන් මේ සියල්ල සරල දෙයක් බවට පත්වෙනවා. ඇඟේ හා හිතේ හයිය තියෙනතුරු මේ කටයුතු මා කරගෙන යනවා. ඒ වගේ ම ඔබටත් හැකියාවක් තිබෙනවා නම් මේ කටයුතුවලට සහභාගි වෙන්න කියලා මා ආරාධනා කරනවා. ”

කතාබහ අවසානයේ අප අසලට පැමිණිය සතිස්චන්ද්‍රගේ බිරිය ශ්‍රියාණිගේ ආදර සංග්‍රය සෙනෙහසින් අපි පිළිගත්තෙමු. ඒ අතර ම ඔහු සමඟ දරු, මුනුපුරු මිනිබිරියන් පිළිබඳ කතාබහ සඳහා කාලය ගතවූයෙන් කාලය ගෙවී ගියේ නොදැනීම ය. ඒ අවසානයේ මේ සියලු කටයුතු සාර්ථකව කරගැනීමට ඔවුන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අපි මේ සොඳුරු කැදැල්ලෙන් සමුගතිමු.