වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිබිල්ට දැන් 88 යි

සිබිල්ට දැන් 88 යි

ළමා ලෝකයේ පමණක් නොව වැඩහිටියන්ගේ ද සිත්ගත් සිබිල් වෙත්තසිංහට අසූඅට වසරක් සපිරිණි. එය නිමිති කරගනිමින් ඈ ලියූ ‘සුදු සිනිඳු තුවාය’,‘නාන්න ගිය යාළුවෝ’, ‘අමුතු සද්දයක්’, ‘අච්චාරු මුට්ටිය’, ‘පිදුරු පාල’ යන කෘතිපහක් පසුගියදා එළිදැක්විණි. ලේක්හවුස් ආයතනයේ දිගුකලක් සේවය කළ ඇය වසර හයක් සරසවිය පුවත්පතේ ද ලිපි ලිව්වා ය. මේ ලිපිය සැකසෙන්නේ ඇගේ නිර්මාණ දිවිය පිළිබඳත්, තවමත් සුවසේ ඉඳීමින් ලියන සුන්දර කතන්දර පිළිබඳවත් ය.

“ සිදාදියට එන දවසේ
හදවත මගෙ නැති වුණා
සෙව්වට මට සොයාගන්න
කොහොමටවත් බැරිවුණා
අපේ වත්තේ පොල් මුලේ ද
ලොකු අම්මාමගෙ පන් වෙලේ ද
අත්තම්මගෙ කුස්සියේ ද
වෙරළු ගහේ අතු අතරෙ ද
කොහොම වුණත් ගමේ ගොඩේ
මගේ හදවත හැංගිලා
මා නම් නෑ මෙහෙ ගෙනාවෙ ඒක හොඳීන් දන්නවා. ”

මීට වසර කිහිපයකට ඉහත මා කියවන ලද සිබිල් වෙත්තසිංහගේ ‘වැනියං කළු වැනීයං’ කෘතියේ එන ඈ ලියූ මේ සුන්දර කවිය මගේ මතකයේ ලියැවුණේ ඉබේම.

“ මේ වගේ පොත් මම ලිව්වේ කිහිපයක් විතරයි. අනෙක් සියලු ම පොත් ලියලා තියෙන්නේ පොඩි ළමයින්ටයි. ”

ඒ මතකය යළිත් මා සිහිපත් කළ අවස්ථාවේ ඇය පැවසුවේ සිනහමුසු මුහුණෙන්. ඉහළ මාලයේ එක් පසෙක ඇති හාන්සි පුටුවට බර වී සිටිය ඇගේ සිත තිබුණේ බොහොම ඈතක. සමහර වෙලාවට ඈ මෙතන ඉඳගෙන පොත් කියෙව්වා. පුංචි අයට කතා ගෙතුවා. ඒ සිතට ආව කතාවට සිබිල් සිත්තම් ඇන්දේ වෙනම කාමරයක. ලිව්වෙත් ඒ කාමරයෙමයි. මේ කටයුතු නිසා සිබිල් හිටියේ බොහොම කාර්යබහුල බවෙන්. ඇයට නිකං ඉන්න වෙලාවක් නොමැති තරම්. ඉඳලා හිටලා මේ ලැබෙන විවේකයත් ඈ ගත කරන්නේ ළමයින් වෙනුවෙන්.

“මම මේ කතා ටික ලියන්න හිතාගෙන ඉන්න කොට දවසක් ගුණසේන එකෙන් කතා කරලා මගේ අසූ අටවැනි වියට පා තබන මොහොතේ පොත් කිහිපයක් ලියමු කියලා කිව්වා. ඒ අනුව මගේ සිතෙත් පොත් කිහිපයක් ලියන්න හිතාගෙන සිටිය නිසා මා ඒ කටයුත්තට කැමැත්ත පළ කළා. ගුණසේන සමාගමෙන් තමයි මගේ අලුත් ම පොත් ටික එළිදැක්කේ. ඔවුන්ට ඒ පිළිබඳ ස්තූතිය හිමිවිය යුතුයි. ළමයින්ගේ නිර්මාණ කටයුතුවල නියැළෙන විට දවස් ගත වෙනවා දැනෙන්නේ නැහැ. ළමයෙක් වගේ සිතන නිසාදෝ මට වයස යන්නෙත් නැහැ. ”

ළමයෙක් වගේ සිතන නිසාදෝ තවමත් සිබිල් තරුණ හදවතක් තිබෙන කාන්තාවක්. ඇය දවස ආරම්භ කරන්නේ පහමාරට පමණ. බුදුන් වැඳලා බුදුරදුන්ගෙන් අවසර අරන් නිර්මාණවලට අත්පොත් තියන ඕ පවසන්නේ ලංකාවේ ඉන්න වගකිව යුත්තන්ට ළමා සාහිත්‍ය ගැන කිසිම උවමනාවක් නැති වගක්.

“අද ළමයින් ගැන ලියන කිසිම දෙයකට සම්මානයක් වත් දෙන්නේ නැහැ. ඒ අයව අගය කිරීමට ලක් කරන්නේ නැහැ. ඔවුන්ට ළමා සාහිත්‍යයක් තිබුණත් එකයි. නැතත් එකයි. මෙහෙම වුණාම කොහොම ද ලංකාවේ ළමා සාහිත්‍යයක් තියෙන්නේ.

එහෙම වුණත් මේ තත්ත්වය විදේශ රටවල්වල නම් වෙනස් විදියටයි කෙරෙන්නේ. ඔවුන් ළමයින් කැමැති පොත් තෝරන්න අනුගමනය කරන්නේ වෙනස් ම ක්‍රමයක්. ජපානය වගේ රටක ඒ පොත් කියවන පුස්තකාලවල ළමයින්ට තමා කියවන්න කැමැති පොත මොකක් ද කියලා ලියලා අදහස් ප්‍රකාශ කරන්න වෙන ම පෙට්ටියක් තියෙනවා. ඒ පොතට ඒ තරම්ම කැමැති ඇයි කියලත් ඔවුන් සඳහන් කළ යුතුයි. අවුරුද්ද අවසානයේ ඒ සියල්ල විමසලා බලලා තමයි ජනප්‍රිය පොත මොකක් ද කියලා තෝරන්නේ.”

ළමා සාහිත්‍යයේ මෙතෙක් වැඩිපුර ම ප්‍රමාණයක් විදේශ භාෂාවලට පරිවර්තනය වී තිබේ නම් ඒ සිබිල් වෙත්තසිංහගේ පොතක්. මේ වනවිට ඇගේ පොත් අටක් ම ජපන් බසට පරිවර්තනය වෙලා. ළඟදී ම ඒ බසට පරිවර්තනය වුණේ ‘ලබු ගෙඩියේ තොවිලේ’ කියන ළමා කෘතිය. ජපානය වගේ ම ඩෙන්මාර්ක්, ස්වීඩන්, නෝර්වේ, කොරියාව, ඕලන්ද ඇතුළු තවත් රටවල් බොහොමයක ඇගේ කෘති පරිවර්තනය වෙනවා. එවැනි ලේඛිකාවක් අපට ආඩම්බරයක්.

“ එහෙම වුණත් මම ඉන්නවාද කියලා මේ අයට මතක් වෙන්න ළමා දිනයක් එන්න ම ඕනෑ. ඊට පස්සේ ඉතිං වොයිස් කට් ගන්නවා. සම්මුඛ සාකච්ඡා තියනවා. විවිධ උත්සවවලට ආරාධනා කරනවා. බලන්න ඕනෑ.”

සිබිල් පවසන්නේ චෝදනාත්මකව. මේ වනතෙක් කිසිම සම්මාන උලෙළකින් ඇගේ පොතකට සම්මානයක් ලැබිලා නැතිවගත් ඇය සිහිපත් කළා. ලෝකයේ ම සම්මානයට පාත්‍රවුණු ඇයව ලංකාවට වටින්නේ නැත් ද කියලත් මේ නිසා ම අපට සිතුණා. මේ කොහොම වුණත් සිබිල් කියන්නේ ගමෙන් නගරයට ආව කෙනෙක්. මේ වනවිට ඇය ජීවත් වෙන්නේ නගරයේ වුණත් තවමත් සිතින් ඉන්නේ ගම් පියසේ.

“ මගේ ගමයි මගේ පොත්වල පසුබිම. එහි සිටිය අවුරුදු අටක කාලය ගැනයි ‘වැනියං කළු වැනීයං’ කියන පොත ලිව්වේ. ඒක ලෝක ප්‍රසිද්ධ පොතක්. මේ පොතට 2012 දි ජපානයෙන් නෙකියෝ වෝඩ් කියන සම්මානයත් මට ලැබුණා. ඒ ආසියානු කලාපයෙන් ම ගමේ සංස්කෘතිය එළිදරව් කළ එක ම පොත විදියටයි එය සම්මානයට පාත්‍රවුණේ. මම තවමත් ගම අමතක කරලා නැහැ. නිතර ම වගේ මගේ ගමට යනවා. වෙනදාට වඩා නම් ගම වෙනස් වෙලා. ඒත් අපේ ගෙදර තවම තියෙනවා. අපේ ගේ අවට ගෙවල් එහෙමමයි. නෑදෑයන් එහෙමත් තවම ඉන්නවා. ඒ කාලයේ මගේ යහළුවා තවමත් ජීවතුන් අතරයි. ඇයව බලන්න යන්නත් මම අමතක කරන්නේ නැහැ. ගමේ මොන දේ වෙනස් වුණත් ඒ මිනිස්සුන්ගේ ආකල්ප නම් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ ගම හොඳ ගමක්. ”

මුල අමතක නොකළ සිබිල් මෙලෙස නිර්මාණකරණයේ යෙදෙන්නේ සම්මාන බලාගෙන නොවෙයි. ඈ ලියන්නේ, අඳීන්නේ පළමුවෙන් ම ඇගේ සතුටට. ඊට පස්සේ ඒ නිර්මාණ අගේ කරන ළමයි වෙනුවෙන්. ප්‍රසිද්ධ පොතකට සිබිල් චිත්‍ර අඳීන්නේ අවුරුදු පහළොවේ දී. ඒ රෝයල් ප්‍රාථමික විද්‍යාලයේ හෙඩ් මාස්ටර් සුගතපාල මහත්තයා කළ පොතකට.

“කිසිම කලා අධ්‍යාපනයක් නැතිව ඇන්ද මේ චිත්‍ර දකින විට අද පුදුමත් සිතෙනවා. සුගතපාල මහත්තයා තමයි කිව්වේ පෙර භවයෙන් ගේන පුරුද්දකටයි මේ නම් සිබිල් අඳීන්නේ කියලා. ඇත්තට ම මම ඒ කතාව දැන් විශ්වාස කරනවා. මොකද ඒ වනවිට මට චිත්‍ර අඳීන්න කිසිම කෙනෙක් කියලා දීලවත්, ඉගෙන ගෙනවත් නොවෙයි. එතැනදියි මගේ චිත්‍ර මුලින් ම ඇගයීමට ලක්වුණේ. ”

සාහිත්‍ය අතිරේක කියැවීම් පොතක් වුණු එය ඇය මගේ අතේ තියන්නේ මේ කතාබහ අතර. කිසිම කෙනෙක්ගේ මග පෙන්වීමක් නැතිව මේ වයසේ දී මේ තරම් ලස්සනට බොහොම අපූරුවට චිත්‍ර ඇන්ද සිබිල් දියණියගේ රුව මගේ සිතේ ඇඳුණා. සිබිල්ට ගෙදර හැමෝම කතා කළේ කළු දූ කියලා. කළු දූට කලින් අත්තම්මා ඇගේ අක්කාව කොළඹ ගෙනාවා. කළු දූට වැඩි කාලයක් ගමේ අසිරිය නරඹන්න පුළුවන් වුණේ මේ නිසා. කළු දූ කොළඹ එනවිට අවුරුදු අටයි. ඈව ගෙනැත් දැම්ම හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ කතා කළේ ඉංග්‍රීසියෙන්. සිංහල විතරක් දන්න කළු දූට මුලින් ම සිද්ධ වුණේ ඒ ළමයි දිහා ම බලාගෙන ඉන්න. ඒ අතර ඒ ළමයි එක්ක ඈ ගොළු භාෂාවෙන් කතා කළා. කාලය ගෙවිලා ගියා. සිබිල් හතරේ පන්තියට පාස් වුණා. දඟකාර ළමයෙක් වුණු සිබිල්ට ගණන් පාඩම වහකඳුරු වගේ.

“ මම ගණන් පාඩමට වැඩි අවධානයක් යොමුකළේ නැහැ. ඒ නිසා මාව ගුරුතුමිය මේසය උඩ නැග්ගුවා. ඒ අතර කාලයේ මම කළේ ගුරුතුමියගේ මුහුණ සිත්තමට නැඟීමයි. උත්තර කොපි කරනවා කියලා සිතුව ගුරුතුමිය මට නැවතත් බහින්න කියලා මගේ අතේ තිබුණ දේ අරගෙන බැලුවා. ඇගේ රූපය දැක්ක ගමන් ගුරුතුමීට සතුටු සිතිලා හැමෝටම පෙන්නලා සිනහ වුණා. අපේ පාසලේ සිටිය මදර් කෙනෙක්. එයා සුදු නෝනා කෙනෙක්. එයාගේ මුහුණේ හිනාවක් අපි කිසිම දවසක දැකලා නැහැ. එයාගේ මුහුණත් අඳීන්න කියලා මට අපේ පන්තියේ ළමයි කිව්වා. මම ඇගේ මුහුණ ඇන්ඳා. අන්තිමට කොහොම හරි මේ සිත්තම ඇගේ අතට ගියා. සිත්තමත් අරගෙන ඇය දැක්ක මගේ සිතේ ඇතිවුණේ බියක්. ඒත් මට ළංවෙලා කිව්ව කතාව ඇහුව මට පුදුම සිතුණා. ‘මගේ මූණ දැක්කේ කාලයකට පස්සේ. ඒ ඔය ළමයා ඇන්ඳ චිත්‍රයෙන්. බොහොම ස්තූතියි මම මේක තියාගන්න ද කියලා ඈ යන්න ගියා. එතැන ඉඳලා මාව ඇගයීමට ලක්වුණා.”

එහෙම වුණත් සිබිල්ගේ මේ සිත්තර හැකියාව ගෙදරදි නම් ඇගයීමට ලක්වුණේ නැහැ. වරක් බිත්තියේ ඇන්ඳ සිත්තම නිසා අම්මා වින්ඳ දුක දැක්ක ඈ බිත්තියේ අඳීන එක නවත්තලා දැම්මා. අද වගේ ම එදාත් සමහර වැඩිහිටියන්ට ළමයි ගැන දැනීමක් තිබුණේ නැහැ.

“ හැදෙන ළමයගේ සිතට දෙන්න ඕන මේ එයාගේ ගෙදර. එයාගේ ගෙදර නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. තහනම් කළාම ළමයින්ට හිතෙන්නේ මේ එයාගේ ගෙදර නෙවෙයි කියලා. ඒ නිසා ළමයි එක්ක කටයුතු කරන විට කරන්න ඕන බොහොම පරිස්සමෙන්. ගෙදර ගැන නොවෙයි ළමයා ගැනයි සිතන්න ඕනෑ. එයාගේ නිර්මාණාත්මක හැකියාව ගැනයි වැඩිහිටියන් සිතන්න ඕනෑ.”

ඒ වගේම යම් දෙයක් වුණාට පස්සේ මම පුංචි කාලයේ ඒ අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද කියලා මතක් කරනවා. මගේ සිතුවිලි තුළින්මයි මම ළමා මනෝවිද්‍යාව ප්‍රගුණ කළේ. ඒ කාරණය සම්බන්ධයෙන් ළමයාගේ ප්‍රතිචාරයත් කුමක්දැයි බලන්නත් මම මහන්සි ගන්නවා. ඒ අනුවයි මගේ පොත් ලියැවෙන්නේ. ළමයාගේ මනස ගැන දැනගෙනයි ළමා නිර්මාණ කළ යුත්තේ. මගේ සිතට පිවිසෙන විවිධ සිතුවිලි අනුව මා නිර්මාණ කරණයේ යෙදනවා. සමහර විට කතාවක් සිතට එන්නේ නිදා ගන්නට ගිය අවස්ථාවේ. සමහර විට ළමයි සමඟ කතා කරමින් සිටින අවස්ථාවක. මේ සිතට ආව සිතුවිල්ල පිළිබඳ ළමයින් සමඟ කතා කරලයි පොතක් කරන්න මා තීරණය කරන්නේ. සිතුවම් සඳහා පාට තෝරා ගැනීමේදීත් ළමයි කැමැති පාටයි ඒ නිර්මාණවලට යොදන්නේ.”

ඇය නිතර ම සිය නිර්මාණ කටයුතුවල යෙදෙන්නේ ළමයි සමඟ කතා කරමින් පර්යේෂණවල යෙදෙමින්. මේ පර්යේෂණවලට ඇය යොදා ගත්තේ කුඩා කාලයේ ඇගේ ම ළමයින්. ඊට පස්සේ මුනුපුරු, මිනිබිරියන්. නැත්නම් ඇයට නිතර කතා කරන, දුකසැප සොයන්න එන, වඩාත් ආදරය කරන ළමයින්. එක්වරක් ඈ ලිව්ව ‘පොඩි ආච්චිගේ පුළුන්’ පොතේ කතාව ගැන සිබිල්ගේ ලොකු පුතාට කිව්වා. ඔහු පුංචි කාලයේ මේ කතාව විශ්වාස කළා. මේ කතාව ම සිබිල් ඇගේ දුවටත් කිව්වා. ඒක අහගෙන සිටිය නවයක් වයසැති ලොකුපුතා කිව්වේ අපූරු කතාවක්.

“ අපේ ටිචර් නම් කිව්වේ වලාකුළු හැදෙන්නේ වතුර උඩට ගිහින් වාෂ්ප වුණා කියලා. කතාව ලස්සනයි. ඕක ලියන්න ඕන පොඩි ආච්චිගේ පුළුන් උඩට ගිහින් වලාකුළු එක්ක කලවම් වුණා කියලා. ”

ඒ පුතාගේ උපදෙස් අනුව යළිත් පොත සැකසුණා.

“ ළමයින්ට බොරු කියන්න බැහැ. ඒ අය සියල්ල ම දන්නවා. ළමයින්ට පොත් තෝරාදිය යුත්තේ මව්පියන් නොවෙයි. ඔවුන්ට තමන් කියවන්න කැමැති පොත තෝරා ගැනීමට ඉඩදිය යුතුයි. ”

සිබිල් කිව්වේ ඒ අතීතය සිහිපත් කරමින් ඈ ලැබුව අත්දැකීම් බොහොමයක් අපට සිහිපත් කළ අවසානයේ, අප ඇගෙන් සමු ගත්තේ සිබිල්ට තවත් බොහෝ නිර්මාණ කරන්නට දීර්ඝායුෂ පතමින්.