වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය – හින්දි තිරයේ පැරැණි ජනපි‍්‍රයම නළුවකු වූ දිලිප් කුමාර් විවාහ වී සිටි ජනපි‍්‍රය නිළිය කවුද?

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

තටාකය පාර, කෑගල්ල

අර්ජුන් - සයිරාබානු සමඟ.

ප්‍රශ්නය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ දුරකථන අංකය හා ලිපිනය පළ කරන්න.

විශාඛා සිරිවර්ධන

අර්ජුන් -68/ ඒ, 116, ඉසුරු මාවත, ගම්පහ පාර, යක්කල

ප්‍රශ්නය – මා කුඩා කල නැරඹූ චිත්‍රපටයකි. රාජේශ් ඛන්නා හෝ රාජේන්ද්‍ර කුමාර් රඟපෑ ද්විත්ව චරිත ඇතුළත්ය. අන්ධ චරිතයක් සහ දුෂ්ට චරිතයක් ඇතුළත් මෙම චිත්‍රපටයේ අවසානයේ උසාවියකදී හොඳ කෙනා සොයා ගැනීමට බටනලාවෙන් ගීතයක් වාදනය කරන අතර සුරතල් බල්ලෙකු අන්ධයා හඳුනා ගනී. මෙම චිත්‍රපටය සහ ගීතය කුමක්ද?

ආර්. ඒ. එම්. රණසිංහ, පොල්ගස්ඕවිට

අර්ජුන් – ඔබ කතාව පටලවා ගෙන රණසිංහ. රාජේශ් ඛන්නා ද්විත්ව චරිත රඟපෑ චිත්‍රපටය නම් ‘සච්චා ජූතා’.

ප්‍රශ්නය - එදා සිංහල චිත්‍රපට නිපද වූ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවලින් දැනට ඉතිරිව තිබෙන චිත්‍රාගාර මොනවාද? එහි සිංහල චිත්‍රපටවල පිටපත් නැතිද?

සරත් රණසිංහ, කපුගොඩ, මාළිඳ

අර්ජුන් – ඒ. වී. එම්. චිත්‍රාගාරය පමණයි දැනට ඉතිරිව ඇත්තේ. ඔවුන් ‘දොස්තර’ චිත්‍රපටය නිපදවුවත් එහි පිටපතක් නම් නෑ.

ප්‍රශ්නය - ලේක්හවුස් ආයතනය අයත් වන්නේ කොළඹ, මරදාන ප්‍රදේශයට ද කොළඹ, කොටුව ප්‍රදේශයට ද?

විමල් රණසිංහ, ග්‍රෑන්ඩ් පාස්, කොළඹ 14

අර්ජුන් - ලේක්හවුස් ආයතනය අයත් වන්නේ කොළඹ, මරදාන ප්‍රදේශයටයි.

ප්‍රශ්නය – ‘අනුහස’ චිත්‍රපටයේ රඟපෑ සෙබස්තියන් ජයසිංහ දැන් කෝ?

එච්. ඉන්ද්‍රපාල, සංඝමිත්තා මාවත, මුංහේන

අර්ජුන් - සෙබස්තියන් ජයසිංහ මිය ගියා.

ප්‍රශ්නය - මේ දවස්වල ‘හිට්ලර් සහ චැප්ලින්’ ගැන පෝස්ටරයක් නිර්මාණය වෙලා. ‘හිට්ලර් සහ චැප්ලින්’ ගේ සිනමාවට ඇති සම්බන්ධය පැහැදිලි කරන්න?

නෝබර්ට් පෙරේරා, වඩුවේගම, යටිහේන

අර්ජුන් – හිට්ලර් දේශපාලකයෙක් වගේම ඒකාධිපති පාලකයෙක් ලෙසයි ප්‍රසිද්ධ. හැබැයි ලෝකයේ විශිෂ්ට සිනමා උළෙලක් වන බර්ලින් සිනමා උළෙලේ නිර්මාතෘවරයා වන්නේ ඔහු. ඒ වගේම ලෝකයේ වැඩිම චිත්‍රපට ගණනක් කැමරාගත කළ ‘ඇරීෆ්ලෙක්ස්’ කැමැරාව නිර්මාණය වන්නෙත් හිට්ලර් ගේ අනුග්‍රහයෙන්. චැප්ලින් යනු සිනමාලෝකයේ ඉන්ග්මාර් බර්ග්මාන්, අන්ද්‍රේ තර්කොවුස්කි වැනිම වූ මුනිවරයෙක් බඳු සිනමාකරුවෙක්.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10