|
|
ජාත්‍යන්තර සිනමා උලෙළක් නරඹන්නට සූදානම් ප්‍රේක්ෂක පිරිසක් අපට ඉන්නවා
ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම
සියලු පහසුකම් සහිත සිනමාහලක, සුවපහසු අසුනකට වී මේ අපූර්ව අත්දැකීම විඳගන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ මෙරට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ අප්‍රතිහත ධෛර්්‍යයේ සහ ළබැඳි එකමුතුවේ බල මහිමයෙන් බව ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. මේ දැවැන්ත, අභියෝගාත්මක කාර්යභාරය පිටුපස සිටි එක් සුවිශේෂී චරිතයක් වන්නේ ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමය. ඔහු මෙම ජාත්‍යන්තර සිනමා උලෙළේ අධ්‍යක්ෂවරයා (Festival Director) ලෙස කටයුතු කරයි. අශෝක අප හා මෙම පිළිසඳරට එක්වන්නේ එකී ගෞරවයට අර්ථවත් වටිනාකමක් එක් කළ සම්පත් දායකයකු, හා සංකල්පධාරියකු ලෙසිනි.
ප්‍රථම සිනමා උලෙළට වඩා විධිමත්ව, නැවුම් වි ගිය අවුරුද්දේ ලංකාවේ අපට එහෙම උලෙළක් කරලා ඇත්දැකීමක් තිබුණේ නෑ. ජාත්‍යන්තර සිනමා උලෙළවලට අප සහභාගි වෙලා දැකපු රූපයක් තමයි අපේ ඔළුවේ තිබුණේ. ඒ රූපේ තමයි අපි මෙහේ යථාර්ථයක් බවට පත් කර ගන්න උත්සාහ කළේ. ඉතින් එතකොට අපිට තිබිච්ච සම්පත්වලින් තමයි අපි ඒක සංවිධානය කළේ. හැබැයි ඒ තිබුණ සම්පත්වලින් වුණත් ගිය අවුරුද්දේ අපි කළ සම්මාන උලෙළේ පරිමාණය ගත්තොත් එහෙම ඒක ලෝකයේ සාමාන්‍යයෙන් කෙරෙන ඉතා ඉහළ පෙළේ සම්මාන උලෙළක තිබෙන අංගෝගපාංගවලින් සමන්විත වූ එකක්. ඒ කියන්නේ අංග සම්පූරණ ජාත්‍යන්තර සිනමා උලෙළක්? ඔව්, ඇත්තෙන්ම ඒ නිසාම මෙවර සිනමා උලෙළ සංවිධානය කරන කොට අපිට අභියෝගයක් ආවා. දැන් ගිය අවුරුද්දේ අපට එහෙම අපේ සම්මාන උලෙළක පූර්වාදර්ශයක් තිබුණේ නෑනේ. අපි පටන් ගත්තේ බිංදුවෙන්. බිංදුවෙන් පල්ලෙහාට වැටෙන්න දෙයක් නෑනේ. අපි කරන දේ තමයි ප්‍රමිතිය වෙන්නේ. නැත්නම් විමර්ෂණය වෙන්නේ. එතකොට මේ වසරේ අපට තියෙනවා අපිත් එක්කම සංසන්දනය කර ගන්නා විදිහේ අභියෝගයක්. ඒ නිසා ඒ අභියෝගය තමයි අපි මේ අවුරුද්දේ මුහුණ දුන් ප්‍රධාන දේ. ගිය අවුරුද්දේ අපට ලැබුණු දිරිගන්වන සුළු ප්‍රේක්ෂක ප්‍රතිචාරය නිසා අපට පුළුවන් වුණා වඩාත් ගැඹුරු, වඩාත් පැතිරුණු වැඩ සටහනක් උලෙළ සඳහා හදාගන්න. ඒ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළොත්? උදාහරණයක් හැටියට අපි මෙවර තෝරා ගත් චිත්‍රපට විවිධයි. ලෝකයේ ඉහළ ජාත්‍යන්තර සිනමා උලෙළවල සම්භාවනාවට පාත්‍ර වෙච්ච චිත්‍රපට තමයි අප වැඩි වශයෙන් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව තිබෙන ලොකුම අංගය තමයි තරගකාරී අංශය. ‘ඔබ ඇවිත් පිරෙන්න’ කියන ආදරණිය, ආකර්ෂණීය ආරාධනාව සමඟයි ඔබ සංසදය මෙවර අපේ ප්‍රේක්ෂකයෝ පිළිගනු ලබන්නේ? ගිය අවුරුද්දේ ඔබට මතක ඇති ‘ඔබටත් අසුනක් ඇත’ කියන එක තමයි අපේ තේමාව වුණේ. ඒකට හේතුවක් තිබුණා. ඒ හේතුව තමයි අපි මින් පෙර දැක්කේ අපේ ලංකාවේ අත්දැකීම වුණේ හිස් සිනමා ශාලා, හිස් වූ ප්‍රේක්ෂකාගාර. එතකොට ඒ හිස් වෙච්ච ප්‍රේක්ෂකාගාරයකට තමයි අපි ආමන්ත්‍රණය කළේ ගිය අවුරුද්දේ. අපි මුදල් අය කළේ නෑනේ කොහොමටවත්. සල්ලි නම් චිත්‍රපට බලන්න තියෙන ප්‍රශ්නය අපි ඒක විසඳලා තියෙනවා හරි. සල්ලි නැතත් ඔබටත් ආසනයක් තියෙනවා. ඒක තමයි ඒකේ පිටුපස්සේ තිබූ පණිවිඩය. ඒ සහෘද ආරාධනය එක හෙලාම පිළිගත්තා අපේ ප්‍රේක්ෂක ජනතාව? ඒකනේ උතුරා ගිය ප්‍රේක්ෂකාගාරයක් අපිට දකින්න පුළුවන් වුණේ. ජාත්‍යන්තර සිනමා උලෙළක් නරඹන්නට හැකි, ඊට සූදානම් ප්‍රේක්ෂක පිරිසක් අපට ඉන්නවා කියන එක දැන් අපිට විශ්වාසයි. මුලින් අපට බයක් තිබ්බේ ශාලා පහක්, දවස පුරා කොහොමද ප්‍රමාණවත් ප්‍රේක්ෂක පිරිසකගෙන් පුරවන්නේ එක හෝල් එකකටත් සෙනඟ නැති රටේ කියන එක. නමුත් අපි ඒක ජය ගත්තනේ. මේ අවුරුද්දේ අපි කියන්නෙ වෙන කතාවක්. ඒ ‘ඔබ ඇවිත් පිරෙන්න’ කියායි. මේ සංවේදී ආරාධනයම මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ලොකු උත්තේජනයක්? ඔබට එහෙම දැනෙනවා නම්, හැඟෙනවා නම් එය අපේ ජයග්‍රහණයක්. ‘ඔබ ඇවිත් පිරෙන්න’ කියන වදන් පෙළ ඇතුළේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ මේ ශාලා පිරෙන්න එන්න කියන එක. අනෙක් එක තමයි පිරිපුන් කෙනෙක් බවට පත් වෙන්න. සිනමාව විඳින්න පුරුදු වෙන්න කියන අර්ථය. ඒ අර්ථ දෙකෙන්ම තමයි අපි මේ අවුරුද්දේ ඒ තේමා පාඨය යොදා ගත්තේ. මේ සිනමා උලෙළ ආරම්භ වන්නේ කාන්ස් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘දීපන්’ චිත්‍රපටයෙන්. චිත්‍රපට කීයක් මෙවර ප්‍රදර්ශනය වෙනවාද? චිත්‍රපට එකසිය විස්සක් පමණ මෙවර තිරගත වෙනවා, කෙටි චිත්‍රපටත් එක්ක විවිධ අංශවලින්. තරගකාරී අංශයට ලංකාවේ චිත්‍රපට හයක් පමණ තියෙනවා. ආසියාවේ සාරය කියලා අංශයක් තියෙනවා. 2014 / 2015 වර්ෂයන්හි ආසියානු කලාපයේ නිර්මාණය කෙරුණු සිනමාපට අතරෙන් තෝරා ගැනුණු විශිෂ්ටතම සිනමාපටයකුත් මෙහි තරගකාරී අංශය නියෝජනය කරනවා. ජයග්‍රාහී විශිෂ්තම සිනමාපටය සඳහා වූ සම්මානය සිනමා උලෙළ අවසානයේ සිනමා සම්මාන රාත්‍රියේදී පිරිනමනවා.
2014 / 2015 වර්ෂයන්හි නිර්මාණය වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අතරින් මූලික වටයේ තරගයෙන් සුදුසුකම් ලැබූ චිත්‍රපට හයක් තරගකාරී අවසන් වටය නියෝජනය කරනවා. ඒ අතරින් තෝරා ගන්නා විශිෂ්ටතම චිත්‍රපටය සඳහාත් සම්මානයක් ප්‍රදානය කෙරෙනවා. අන්තර් ජාතික, කීර්තිධර, ප්‍රවීණ සිනමාකරුවන්ගෙන් සැදුම් ලත් ජූරියක් මඟින් ආසියානු තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර ආසියානු සිනමා ප්‍රවර්ධන ජාලය NETPAC මඟින් පත් කළ විශේෂ ජූරියක් මඟින් ශ්‍රී ලාංකේය තරගාවලියේ ඇගයීම් කටයතු සිදු කෙරනවා. මේ සිනමා උළෙලට සමගාමීව තවත් ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක වෙනවා? ඔව්. සිනෙමේලා ප්‍රදර්ශනය එයින් එක් අංගයක්. ‘ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය එදා සහ අද’ යන මැයෙන් අපේ රටේ සිනමා ඉතිහාසය පිළිබඳ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 07 වැනිදා සිට 11 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. එහිදී චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා රචිත ‘ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක්’ ග්‍රන්ථය එළි දැක්වීමත් විශේෂයි. කෙටි චිත්‍රපට තරගාවලියකුත් පැවැත්වෙනවා? කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා නොවැම්බර් 09 වැනිදා කෙටි චිත්‍රපට දිනය විදිහට නම් කරලා එදින උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේදී (SLMTI) එම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. දිනය අවසානයේදී තෝරා ගත් කෙටි චිත්‍රපට හතරක් සඳහා ‘රීගල්’ සම්මානය පිරිනැමීමට අපි කටයුතු යොදා තිබෙනවා. සිලෝන් තියටර්ස් සමාගම මඟින් තමයි මේ සම්මානය පිරිනැමෙන්නේ. ප්‍රත්‍යාවලෝක සිනමා දැක්ම ද්විත්වයකුත් සංවිධානය කර තිබෙනවා? අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන්ගේ සහ එමීර් කුස්තුරිකාගේ ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම දෙකක් අපි සංවිධානය කළා. ඒ වගේම මේ උලෙළේ අවසන් දිනයේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් කියන ආසියාවේ ප්‍රවීණ සිනමාකරුවාටත්, අරුණා වාසුදේව කියන කතුවරිය හා විවේචිකාවටත්, සිනමාවේදිනියටත් අපි ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සිනමා සම්මාන යුගල ප්‍රදානය කරනවා. මේ සම්මාන සමඟ මුදල් ත්‍යාගයන් පිරිනැමෙනවාද? මුදල් තෑගි පිරිනමන්න තරම් නම් අපට ශක්තියක් නෑ තාම. අනාගතයේදී එහෙම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි කිසියම් මතක හිටින සිහිවටනයක් දෙනවා ජයග්‍රාහකයන් වෙනුවෙන්. විවිධ රටවල, විවිධ ගණයේ චිත්‍රපට මේ සිනමා උලෙළට ඇතුළත් වෙනවා. මේ චිත්‍රපට තෝරා ගැනීමේදී කුමන නිර්ණායකයන් ද සැළකිල්ලට ගත්තේ? ඇත්තටම චිත්‍රපට තෝරා ගැනීමේදී අපි බලපු ප්‍රධාන කාරණව තමයි විවිධත්වය. භූගෝලිය වශයෙන්, ජන වාර්ගික වශයෙන් තිබෙන විවිධත්වය. අනෙක් එක ඒවායේ තිබෙන සිනමාත්මක අභියෝගය. ප්‍රේක්ෂකයාව ප්‍රශ්න කරන අභියෝගාත්මක බව. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් චිත්‍රපට තෝරා ගැනීමේදී අපේ නිර්ණායකය වුණේ. නිකං චිත්‍රපට ශාලාවකට ඇවිත් නැරඹිය හැකි සුලබ ගණයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ තේරුමක් නෑ චිත්‍රපට උලෙළකදී. ඒ නිසා ඊට වඩා බැරෑරුම් චිත්‍රපට තමයි අපි මේ උලෙළට ඇතුළත් කරලා තියෙන්නේ. මේ චිත්‍රපට බොහොමයක් ඔබ මීට පෙර නරඹා ඇති? ඔව්, ගොඩක් චිත්‍රපට. ඒ අතරින් ඔබ වඩාත් කැමැති චිත්‍රපට හත නම් කරන්න පුළුවන්ද? මෙහෙමයි, මම කැමැති චිත්‍රපට හතක් නම් කළොත් ඒක මට හිතෙන්නේ අනෙක් චිත්‍රපටවලට කරන අසාධාරණයක්. නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මම කැමැති චිත්‍රපටකරුවන් කිහිප දෙනෙක්ගේ චිත්‍රපට මේ උලෙළට ඇතුළත් වෙනවා. එක් කෙනෙක් තමයි ශාක් ඔඩියා කියන ප්‍රංශ සිනමාකරුවා. ඒ එක්කම එමීර් කුස්තිරිකාගේ චිත්‍රපට අමුතු චිත්‍රපට. ජැෆා ෆනායි ඉන්නවා. පීටර් ග්‍රීනවේ කියන්නේ ටිකක් අධි යථාර්ථවාදී චිත්‍රපට කරන චිත්‍රපටකරුවෙක්. ඔහුගේ චිත්‍රපටයකුත් තියෙනවා. එහෙම ගත්තම ඉතින් විවිධ නියෝජනයන් තියෙනවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට එබඳු උසස්, සම්භාව්‍ය ගණයේ සිනමා කෘති ග්‍රහණය කර ගත හැකි වින්දන මට්ටමක් තියේ යැයි ඔබ විශ්වාස කරනවාද? මම හිතනවා තියෙනවා කියලා. මොකද අපි දන්නවා කාලෝස් රෙගදාස්ගේ වගේ චිත්‍රපට සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට දරාගන්න අපහසු ඒවා. නමුත් කාලෝස් සිනමාකරුවා මුල් වතාවේ මෙහි පැමිණියා. ඔහු කිව්වේ ඔහුගේ චිත්‍රපටවලට ඔහු බලාපොරොත්තු නොවූ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, මැදිහත්විමක් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ එක ගැන සතුටුයි කියලා. ඒවා ගොඩක් වෙලාවට පෙළ ගස්වලා තිබුණේ Late Night Shows විදිහට. ඒ රෑ තිබුණ චිත්‍රපට දර්ශනත් උතුරන්න සෙනඟ හිටියා. ඊට පසුව තිබූ සංවාදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලටත් ඔවුන් සහභාගි වුණා. ඒවා පාන්දර 2.00 පමණ වෙනකල් පැවැත්වුණා. චිත්‍රපට දර්ශන වාරයක් අවසානයේදී එහි අධ්‍යක්ෂවරයා, නළු, නිළියන් හා සංවාදගත වන්නට ගියවර අපේ ප්‍රේක්ෂකයන්ට ලැබුණ ඒ විරල අවස්ථාව මෙවරත් ඔවුනට හිමි වෙනවාද? මෙවර ගිය සැරේට වඩා පිරිසක් පැමිණෙනවා. ප්‍රේ්ක්ෂකයාට චිත්‍රපටය සහ අනෙකුත් දේවල් පිළිබඳ කතා කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මාධ්‍යයටත් ඔවුන් මුණ ගැසෙන්න අවශ්‍යතාවය තිබෙනවා නම් ඒ සඳහාත් අපි කටයුතු සලස්වලා තිබෙනවා. රැගුම් පාලක මණ්ඩලයේ වාරණයන්ට ලක් වුණේ නැතිද මේ චිත්‍රපට? නෑ, ඇත්තටම මෙවර අපිට ලොකු සහනයක් ලැබුණා. මේ චිත්‍රපට ගොන්නම ඒ චිත්‍රපටවලට අදාලව ඒ රටවල තියෙන වර්ගීකරණයත් එක්කම තමයි අපි රැඟුªම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කළේ. ඉතිං අපිට ඒ රේටින් එක යටතේම චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අවසරය ලැබුණා. ගියවර සාමාන්‍ය පේ‍්‍රක්ෂකයනට නරඹන්නට නොලැබුණු චිත්‍රපට බොහෝමයක් තිබුණා. ඒ කියන්නේ වෘත්තීය සිනමා ශිල්පීන්ට හා සිනමා විද්‍යාර්ථීන්ට පමණයි ඒ චිත්‍රපට වෙන්වුණේ. මෙවරත් අපේ පොදු ප්‍රේක්ෂකයා ඒ කොන්දේසියට යටත්ද? එහෙම නෑ, එහෙම නෑ. ඕනෑම චිත්‍රපටයක් මෙවර නරඹන්න පුළුවන් ප්‍රේක්ෂකයාට. ඇයි ගියවර එහෙම සීමා මායිමක් පැනෙව්වේ? රැඟුම් පාලක මණ්ඩලයෙන් තමයි ගියවර ඒ සීමාව දාලා තිබ්බේ. මේ සැරේ එහෙම එකක් නෑ. ඒ රේටින්ස් යටතේ ඕනෑ කෙනෙකුට නරඹන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගීකරණයක් යටතේ? වර්ගීකරණයක් තියෙනවා. ඕනෑම කෙනෙකුට නරඹන්න ප්‍රළුවන්, වැඩිහිටියන්ට වඩාත් සුදුසු, වැඩිහිටියන්ට පමණයි, ළමා චිත‍්‍රපට යන වර්ගීකරණයන් යටතේ චිත්‍රපට නරඹන්න පුළුවන්. විද්‍යාර්ථීන් ද නැද්ද කියන කාරණය මෙවර අපි සැළකිල්ලට ගත්තේ නෑ. පළමුවැනි සිනමා උලෙළේ මාධ්‍ය හමුවට පැමිණි ඇතැම් සිනමාකරුවන් මෙවර මාධ්‍යය හමුවට සහභාගි වුණේ නෑ. එතකොට යම් කෙනෙක් අතර මතයක් ගොඩ නැඟෙන්න පුළුවන්, අදහසක් ඇති වෙන්න පුළුවන් ඔවුන් අතර කිසියම් විරසකයක් තියෙනවා කියලා. උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, බූඩි කීර්තිසේන වගේ ගියපාර බැහැලා වැඩ කරපු අයගේ මුහුණු එදා අප දුටුවේ නෑ? ඒවා පෞද්ගලික හේතූන් නිසා වුණ දේවල්. ඒ දිනවල උදයකාන්ත චිත්‍රපටයක් රූගත කරමින් සිටි නිසයි ඔහු ආවේ නැත්තේ. බෙනට් සහ බූඩිත් පෞද්ගලික කාරණා මත ආවේ නෑ. නමුත් ඔවුන් මෙහි සංවිධාන කටයුතුවලට සක්‍රීයව දායක වෙනවා. ඒ දවස පිළිබඳ ගැටලුවක් විතරයි ඇත්තටම එතැන තිබුණේ. උලෙළේ විවිධ වගකීම් හැමෝටම පවරලා තියෙනවා. ඒගොල්ල ඒවත් එක්ක ඉන්නවා. එහෙම ගැටලුවක් නෑ. ගියවර අපි නළු, නිළියෝ සහභාගි කරවා ගත්තා. නමුත් අපි මෙවර ඔවුන්ට කරදර කරන්න ගියේ නෑ. මොකද දැන් ප්‍රේක්ෂකයෝ දන්නවා මේ සිනමා උලෙළ ගැන. මාධ්‍යය දන්නවා. ඒ නිසා අපිට විශේෂ අලංකාරයක් මෙවර අවශ්‍ය වුණේ නෑ. නමුත් රීගල් සිනමාහලේ අපේ ආරම්භක සිනමා උලෙළට සිනමා ක්ෂේත්‍රයෝ බොහෝ පිරිස් සහභාගී වෙනවා. එය අතිශයින් විචිත්‍රවත් උලෙළක් වේවි. මෙහි මාධ්‍යය සාකච්ඡාව දිනයේ විමුක්ති ජයසුන්දර සිනමාවේදියා ප්‍රකාශ කළා මාධ්‍යය හරහා ගියවර සිනමා උලෙළට පුළුල් ප්‍රචාරයක් ලැබුණේ නැහැ කියා. නමුත් එය පදනම් විරහිත චෝදනාවක් බවයි එදා පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ පොදු මතය වුණේ? නෑ මම හිතන්නේ ඔහු අදහස් කළ දේ නෙවෙයි එදා එතනදි ප්‍රකාශ වුණේ. ඔහුට කියන්න වුවමනාව තිබ්බේ ගියවරට වඩා අනුග්‍රහයක් මෙවර ලබා දෙන්න ප්‍රේක්ෂකයන් අතරට යන්න කියලා වගේ අදහසක්. නමුත් ඉතින් කියවුණේ ගියවර ලැබුණේ නෑ කියන එක. ඒක ඉතින් එච්චර ඇත්තක් නෙවෙයි. පළමුවැනි සම්මාන උලෙළ සාර්ථකවීම උදෙසා අපේ රටේ මාධ්‍යය ඉතා ඉහළ භූමිකාවක් නිරූපණය කළා. ඉතින් ඒ හින්දනේ මේ මිනිස්සු උලෙළට ආවේ. නැතිනම් අපි කොහොමද ඒක සංවිධානය කරන්නේ. ගියවර වගේම මෙවරත් Okinava Film Festival එකේ අනුග්‍රහකත්වය අපට ලැබෙනවා? ඔව්. ඔවුන්ගේ කණ්ඩායමක් මෙහි පැමිණෙනවා. ‘ජර්නි ටු ද වෙස්ට්’ කියන චිත්‍රපටයේ Cast එක එනවා. ඔවුන් ආරම්භක උලෙළටත් සහභාගි වෙනවා. සජීවීී රූපවාහිනී වැඩ සටහනකටත් සහභාගි වෙනවා. ඊට අමතරව ඔවුන් වැඩමුළුවක් පවත්වනවා. විශේෂයෙන්ම හාස්‍යජනක රඟපෑම පිළිබඳ. 07 වැනිදා සවස 1.00 සිට රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ශබ්දාගාරයට ඇවිත් එය නරඹන්න පුළුවන්. රංගනය හදාරන අයට මෙය වඩා වැදගත් වෙයි. විකට රංගනයට නොඑසේ නම් හාස්‍යයෝත්පාදක රංගනයට ලෝකයේ කිසිම සිනමා උලෙළක සම්මාන හිමි වන්නේ නෑ. ඇයි එබඳු රංගන ශෛලියක් මෙබඳු සිනමා උලෙළකට වැදගත් වෙන්නේ? මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන්නේ යෂිමොටෝ ආයතනය. ඔවුන්ගේ සංකල්පයක් තියෙනවා Make Asia Laugh කියලා. ඒ කියන්නේ ආසියාව සිනහ ගන්වන්න කියලා. ඒ තේමාව යටතේ තමයි ඔවුන් මේ වැඩ සටහන ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා ආර්ථික ප්‍රශ්න නෑනේ ජපානයට. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල තියෙන වෙහෙසකර විඩාව නිවා ගන්න ඔවුන් කොහොමද හාස්‍යය යොදා ගන්නේ කියන එක සහ අර අපේ කෝලම් සම්ප්‍රදායේ තිබ්බා වගේ කොහොමද සමාජයේ විවිධ දේවල්වලින් උත්ප්‍රාසය මතු කර ගන්නේ කියන කාරණාවයි මෙතනදි ඉස්මතු වන්නේ. ඒ සඳහා තමයි ඔවුන් වඩාත්ම ප්‍රචලිත. ඉතින් ඒ අත්දැකීම තමයි ඔවුන් මෙහි ඇවිත් අපිත් එක්ක මේ බෙදාගන්න උත්සාහ කරන්නේ. මෙබඳු සම්මාන උලෙළක් පැවැත්වීම ඉතාම කාලෝචිත හා ප්‍රශස්ත ක්‍රියාවලියක්. නමුත් මෙහෙම ප්‍රශ්නයක් මට ඔබෙන් මේ වෙලාවේ අහන්න සිතෙනවා? ඊට බාධාවක් නැහැ ඔබට . . . මේ සම්මාන උලෙළ හරහා ලෝක සිනමාව අපට අද බොහෝ සෙයින් විවෘත වෙලා තියෙනවා. නමුත් අපේ රටේ ඇතැම් සිනමාකරුවන් තමන්ගේ කුලුඳුල් චිත්‍රපටයවත් ප්‍රදර්ශනය කරගත නොහැකිව ලත වෙනවා. ඊට විවිධ හේතු කාරනා බලපානවා වෙන්න පුළුවන්? ඔව්. ප්‍රවීණ සිනමාකරුවෙක් හා මෙබඳු උලෙළක ප්‍රධාන සංවිධායකවරයා විදිහට ඔබට මොකද මේ ගැන හිතෙන්නේ? මේ අර්බුදයට මම මැදිහත් වෙලා තියෙනවා. මේ අර්බුදය පිළිබඳ මම ප්‍රතිචාර දක්වලත් තියෙනවා. මේ ගැටලු සහගත තත්ත්වය හඳුනා නොගැනීමෙන් ඇති වූ අවැඩදායක තත්ත්වය ගැනත් අපි කතා කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපෙන් පසු පරම්පරාවේ සිනමාකරුවන් තාම සිනමාකරුවන් වෙන්න පොර බදමින් ඉන්නවා. ඔවුන් අපරාදේ ඉතින්. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පටන් අරන් ධර්මසේන පතිරාජලා දක්වා ඒ ආපු ගමන් මඟේ අපිත් බිහිවුණානේ. එතනින් ඉදිරියට සිනමාව ගෙනියන්න පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන්ගේ සිනමාවට ප්‍රේක්ෂකයා එක්ක ගැටෙන්න අවස්ථාවක් නෑ මේ තියෙන සිස්ටම් එකේ ප්‍රශ්නය නිසා. ඕකට විසඳුමක් අවශ්‍යයි කියන එක පුද්ගලිකවත්, සංවිධානයක් හැටියටත් මම පිළිගන්නවා. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා? අනිවාර්යෙන්ම. මේ උලෙළ පවත්වන්නෙත් ඒ හින්දා තමයි. මොකද හේතුව චිත්‍රපට කියන්නේ මෙන්න මේ වගේ දේවල් විතරක් කියලා අපේ සිනමාවේ සීමාවන් පටු කරලා තියෙනවා. ඒ පටු වෙච්ච ‘නැරෝ පාත්’ එකක තමයි අපේ සිනමාව තියෙන්නේ. දැන් මේ චිත්‍රපට උලෙළ කරලා අපි පෙන්නන්නේ ඒක නෙවෙයි සිනමාව කියන එක. ඊට වඩා පැතිරුණු දෙයක් සිනමාව කියලා කියන්නේ. මේ විවිධත්වය අපේ සිනමාව ඇතුළට එන්න ඕනෑ. ප්‍රේක්ෂකයාට වඩා ඒක පෙන්වන්න ඕනෑ සිනමාව ගැන තින්දු, තීරණ ගන්න උදවියට? අපි දැක්කනේ ගියවර උලෙළ සෙනඟ පොර කකා බලපු හැටි. එතකොට මේ තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. සමහර ප්‍රේක්ෂක පිරිසක් අපිට මඟහැරිලා තියෙනවා. අප හැම වෙලේම ඉලක්ක කර ගන්නේ එක වෙළෙඳ පොලක්. නමුත් ඒ හින්දම මඟහැරිච්ච තව පාරිභෝගික පිරිසක් ඉන්නවා. මේ වෙළඳ න්‍යාය අපේ සිනමාවටත් අදාලයි. ඒ මඟහැරිච්ච අයට අපේ සිනමාව ඇතුලේ සැපයුමක් නෑ. ඉතින් ඒ සැපයුම දෙන්න ඉඩක් හදන්න එපායැ. එහෙම ඉඩක් හදන්න කියලා තමයි අපි කියන්නේ. මොකද ඒක මේ වාණිජ වශයෙන් අසාර්ථක වෙන දෙයක් නෙවෙයි. ඒක සාර්ථක වෙන යාන්ත්‍රණයක් අපි හදන්න ඕනෑ. ඊට අවශ්‍ය වෙන්නේ සාම්ප්‍රදායික පිවිසුමක් නෙවෙයි. ඒ සම්ප්‍රදාය බිඳින පිවිසුමක්. රැඩිකල් ප්‍රවේශයක් අවශ්‍යයි. ඒක මේ මොහොතේ නෙවෙයි, වෙන පෝරම් එකක ටිකක් ලොකුවට කතා කරන්න ඕනෑ ප්‍රශ්නයක්.
|



ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය 02 වැනි වරටත් සංවිධානය කරන කොළඹ
ජාත්‍යන්තර සිනමා උලෙළ 2015 (International Film
Festival 2015 - Colombo) හෙටින් (06) ඇරැඹේ. ඒ මෙරට සුවහසක් සිනමා ප්‍රේක්ෂකයන්ට වින්දනීය මං පෙතක් විවර කර
දෙමිනි. විවිධ සම්ප්‍රදායන්, සිනමා රීතින් හා අනුභූතින් රැගත් ලෝකයේ විශිෂ්ටතම
චිත්‍රපට රැසක් සතියක් පුරා නොමිලේ නැරැඹීමට හෙට සිට ඔවුනට අවකාශ ලැබෙනු ඇත.
තරගකාරී අංශය සඳහා ලාංකේය චිත්‍රපට තෝරා ගැනුණේ කුමන පදනමක් යටතේද?