වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමදාස තරුණයා ෂන්මුගම් වී අතුරුදන් වෙයි

ප්‍රේමදාස තරුණයා ෂන්මුගම් වී අතුරුදන් වෙයි

අවුරුද්ද මට හරියට මතක නැත. එවකට මගේ වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. මගේ මතකය හරි නම් එය කොළඹ මහ නගර සභා මැතිවරණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයකි. වෙනදා කඩිසරව වැඩ කරන තාත්තා ගෙදර ආලින්දයේ සැටි පුටුවකට වී උඩ බලාගෙන භාවනා කරමින් සිටී. තාත්තා මෙසේ කරන්නේ කිසියම් කරදරයක් කනස්සල්ලක් ඇති වූ විටය. එවිට මුළු නිවසම තද නිශ්ශබ්දතාවයකින් පසු වෙයි. අම්මා කාමරයට වී නංගී සමඟ නිදන්නට වූවාය.

හවස් වේගෙන එයි. වෙනදා සවස් වී ගෙන එන විට ගෙදර සාලයේ විදුලි බුබුල දැල්වෙයි. එදින තද මුස්පේන්තු ගතියක් නිවස වසාගෙන ඇත.

'පුතා කාලා නිදාගන්න . . .' අම්මා කීවාය.

එදා අපේ ගෙදර බත් ඉව්වේ නැත. තාත්තාත්, අම්මාත් නිරාහාරව සිටි අතර ඔවුන් කෙරෙන් ප්‍රීතිය, සතුට පලා ගොස්ය. මට පමණක් අසල කඩයකින් කෑම ගෙනැවිත් දුන්නා මතකය.

ප්‍රේමදාස මහත්තයා කොළඹ නගර සභා ඡන්දයකින් පරාජය වී ඇත. තාත්තාගේ ළාබාල මිතුරකු වූ 'ප්‍රේමදාස' නාමය නිතර ඇසෙන්නට විය. පසු කලෙක තොරතුරු සොයද්දී කොළඹ නගර සභාවේ කෙසෙල්වත්ත කොට්ඨාසයෙන් ප්‍රේමදාස මහතා කොමියුනිස්ට් පක්ෂයේ එල්. ඩබ්ලිව්. පණ්ඩිතට පරාජය වී ඇත. මේ 1959 වසරය.

කවුද මේ ප්‍රේමදාස?

ආර්. ප්‍රේමදාස නමින් ප්‍රකට ඔහුගේ නිවස පිහිටි අලුත්කඩේ ඩයස් පෙදෙසේම යාබද නිවස මගේ පියාගේ මහ ගෙර පිහිටියේලු. තාත්තාට වඩා වයසින් අවුරුදු 14 කින් බාල වූ ප්‍රේමදාස මහතා මගේ පියාගේ සහෝදරයා වූ ඒ. ඩී. ජේ. මාතුපාලගේ සම වයසේ පසු වූ අතර ඔවුන් කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත් අඹ යහළුවෝ වූහ.

තාත්තාත්, බාප්පාත් (මාතුපාල) නාට්‍ය කලාවට එක් වී සිටියේලු. බාප්පා වේදිකා නාට්‍ය රචකයෙකි. 'ගමේ වෙදා', 'කානිවල්', 'හීන්සැරේ' නමින් ඔහු රචනා කළ නාට්‍ය නිෂ්පාදනය කර ඇත්තේ තාත්තා විසිනි. මේ අතරම බාප්පා විසින් 'තාත්තා' සහ 'මත පෙරළිය' නමින් නවකතා දෙකක් ලියා පළ කොට ඇති අතර, ළමුන් වෙනුවෙන් 'ළමා හඬ' නමින් සඟරාවක් 1942 සංස්කරණය කර ඇත. මේ සඟරාවේ සහාය සංස්කාරක ආර්. ප්‍රේමදාස තරුණයාය.

'කානිවල්' නාට්‍යය මුල්වරට 1941 දෙසැම්බර් 01 මරදානේ නැෂනල් තියටර්ස් (පසුව ගාමිණී සිනමාහල) වේදිකා ගත වී ඇත. මේ නාට්‍යයේ වේදිකා සැරසිලි ශිල්පියා ප්‍රකට චිත්‍ර ශිල්පී ජී. එස්. ප්‍රනාන්දුය. අයිරින් වික්‍රමනායක, හැරියට් සුරවීර, වින්සන්ට් වීරසේකර (ලේක්හවුස් හි ඡායාරූප ශිල්පියෙකු වූ ඔහු ෆුට්බෝල් මැච්වල පින්තූර ගැනීමේ සූරයෙකි. පසුව 'ගැහැනු ගැට' චිත්‍රපටයේ රඟපා ඇත.) ආර්. ප්‍රේමදාස, ජේ. අලහකෝන්, එඩ්වින් සිරිවර්ධන, ස්වර්ණකාන්ති, වයි. එච්. සෝමපාල, ජී. එම් කේ. කරුණාදාස, එම්. පී. පෙරේරා මේ නාට්‍යයේ රඟපා ඇති අතර එහි ළමා චරිතත් රඟපා පිළිගැනීමේ ගීතය ගායනා කර ඇත්තේ එවකට ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි එමැනුවෙල් රුදිගූ (පසුව ප්‍රේම් ජයන්ත්) හා මගේ පුංචි බාප්පා වූ එවකට කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටි ඒ. ඩී. පියසේන (පොලිස් මූලස්ථානයේ ප්‍රධාන ලිපිකරුවකුව හා ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායමේ වයස අවුරදු 16 පහළ උප නායකයාව සිටි, දැනට ගොතටුවේ කජුගහවත්තේ නිවසක සිය 85 විය පසු කරමින් සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරයි.)

'කානිවල්' නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා තාත්තාගේ ඥාති සොහොයුරෙකු වූ එම්. වින්සන්ට් පෙරේරාය. (කොළඹ නගර සභාවේ පුරපති හා අමාත්‍යවරයකුව සිටි) සහාය සංගීත අධ්‍යක්ෂවරයා පී. එල්. ඒ. සෝමපාලය. (ප්‍රකට සංගීත අධ්‍යක්ෂ) වාදක මණ්ඩලයට ඒ. ඒ. සංඝදාස, ජස්ටින් ගමගේ හා එම්. එච්. ඊ. පෙරේරා එක් වී ඇත.

මේ නාට්‍යයේ ෂන්මුගම් නම් දමිළ මුදලාලි කෙනෙකු මෙන් කැඩිච්ච සිංහලෙන් කතා කරමින්, ප්‍රේමදාස මහතා රඟපෑ අපූරුව මගේ වැඩිහිටි ඥාතීන් අගය කරමින් කතා කරනු මම අසා ඇත්තෙමි.

'කානිවල්' නාට්‍යයේ රඟපෑමට ගොස් වූ අපූරු අත්දැකීමක් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ අයිරින් වික්‍රමනායක (අයිරින් සෙනෙහෙලතා) 'දිවයින' ඉරිදා සංග්‍රහයේ 'මීවිත' සංග්‍රහයට විස්තර කර තිබුණි. 'රුපියල් තුනයි පනහට රඟපෑ අයිරින්' නම් මේ ලිපිය 1994 ලියා තිබුණේ පියදාස රණසිංහ නම් ලේඛකයාය. මේ එහි කොටසකි.

එදා 'කානිවල්' නාට්‍ය රසිකයින් අතර ඉතාම ජනප්‍රිය රසාංගයක් විය. ලංකාව පුරා විවිධ පළාත්වල සංචාරය කරමින් කරළිය එළිය කළ ඒ. ඩී. ජේ. මාතුපාලගේ නවකලා මණ්ඩලය මඟින් නිෂ්පාදනය කළ මේ නාට්‍ය පුහුණුවීම් කරන ලද්දේ කොළඹ කොස්ගස් හන්දියේ පිහිටි නිවසකය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද නාට්‍යයේ රඟපෑම් සඳහා පුහුණුවීමට කෙසෙල්වත්තේ සිට කොස්ගස් හන්දියට යාමට පුරුදු වී සිටියේය. මේ වන විට ප්‍රේමදාස මහතාගේ වයස අවුරුදු 22 ක් පමණ විය. 'කානිවල්' නාට්‍ය රඟදැක්විම සඳහා පිරිස 1942 දෙසැම්බර් මාසයේ දිනෙක කළුතර බලා යාමට පිටත් වූහ. සුජාතා අත්තනායකගේ නැන්දණිය වන චන්ද්‍රා පෙරේරා රඟපෑ මෙහි අනිකුත් ප්‍රධාන චරිත රඟපෑ නළු නිළියන් අතර ටියුලින් වික්‍රමරත්න, ප්ලෝරා දේවි, අයිරින් සෙනෙහෙලතා, දොන් බෙනඩික්ට්, ටී. වී. ඇඩ්වින් පෙරේරා, සිල්වෙස්ටර් මාස්ටර්, විල්බට් පෙරේරා, සූරිය රාණි හා හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා ද වූහ. ප්‍රේමදාස මහතා රඟපෑවේ ෂන්මුගම් නමැති හෙට්ටියාගේ චරිතයකි.

මෙහි සංගීත ශිල්පීන් අතර සිටි තබ්ලා වාදකයා වූයේ හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමති එම්. වින්සන්ට් පෙරේරා මහතාය. ශිල්පීහු පෙ. ව. 10 ට පමණ බොරැල්ලේ බී. ජේ. ප්‍රනාන්දු කොම්පැනියට අයත් කළු බසයක (ඕපල් බොඩි) ගමනාරම්භය කළහ. බසය කළුතරට ළඟා විය.

පාලම පසු කරනවාත් සමඟම කළුතර බෝධියට පඬුරු දමා යෑමට ප්‍රේමදාස මහතා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙක්ම යෝජනා කළත්, වින්සන්ට් පෙරේරා මහතා - 'දැන් පඬුරු දාන්න ඕනෑ නෑ. ආපහු එන විට පඬුරු දාන්න පුළුවන්' යැයි පවසා ඇත. මේ අනුව බස් රිය නොනැවතී කළුතර නගර ශාලාව වෙත ධාවනය විය. එදින රාත්‍රී දර්ශනය හමාර වී මේ පිරිස ආපසු කොළඹ එන විට රාත්‍රී 1.00 පමණ විය.

බසය කළුතර බෝධිය ද පසු කළේය. එහෙත් පඬුරු දැමීමේ අදහස අමතකව තිබිණි. පාලම උඩ දී හිටි හැටියේම රථය නැවතිණ. එහෙත් එන්ජිම තවමත් පණ ගැන්වෙමින් තිබිණ. බසය ඉදිරියට ධාවනය කරවිමට රියදුරු තැන බලවත් උත්සාහයක් ගත්ත ද එය සාර්ථක නොවීය.

පසුව රියදුරා පාන්දර 5 පමණ වනතුරු කළුතර නගරයේ ඇවිද අමාරුවෙන් කාර්මිකයකු සොයා ගෙන ආවේය. එන්ජිම පණ ගැන් වුණත් බසය නූලක්වත් ඉදිරියට ගැනීමට නොහැකි විය. මේ නිසා බසයේ කිසිම කාර්මික දෝෂයක් නොමැති බව ඔහුගේ අදහස විය. මේ අතරතුර හිටි අඩියේම ප්‍රේමදාස මහතා එතැනින් අතුරුදහන් වී සිටියේය.

හෙමින් සීරුවේ ප්‍රේමදාස මහතා කළුතර බෝධිය වෙත ගොස් පින් කැටයට පඬුරු දමා වැඳ පුදා නැවතත් බසය අසලට පැමිණෙන තුරුම බසයේ සිටි කිසිවෙක් ඒ බව දැන නොසිටියහ. දැන් බසය පදවන ලෙස ප්‍රේමදාස මහතා රියදුරුගෙන් ඉල්ලා සිටියේය.

පුදුමයකි! ඒ වන විටත් පණ ගැන්වෙමින් තිබූ බසය ඉදිරියට ඇදෙන්නට විය. මේ පිරිස යළි ගමනාරම්භ කළේ ආපසු බෝධිය වෙත ගොස් පඬුරු දමා වැඳ පුදා 'සාදු'කාරයක් දීමෙන් පසුවය.

එදා මේ සිද්ධියට මුහුණ පෑ නාට්‍ය ශිල්පීන් අතර සිටි වේදිකා නිළි අයිරින් සෙනෙහෙලතා සිය අතීත මතක සටහන්වල මෙසේ පණ දුන්නේ අද ඊයේ සිදු වූවාක් මෙනි.

'නවකලා මණ්ඩලය' තාත්තාත්, බාප්පාත්, ගුණරත්න මාමාත්, ආර්. ප්‍රේමදාස, වින්සන්ට් පෙරේරා, ජී. එස්. ප්‍රනාන්දු ඇතුළු පිරිසක් 1940 මුලදී අප නිවසේදී ආරම්භ කර ඇත්තේ කලාවන්ගේ උන්නතිය පතා සාහිත්‍යය - සංගීතය - චිත්‍රය - නාට්‍ය ආදී කලාවන් ධෛර්ය දීම අරමුණු කරගෙනය. මෙහි උපදේශක මණ්ඩලය බඹරැන්දේ සිරි සිවලී හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, එඩ්මන් පීරිස් බිෂොප්තුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සර් ඩී බී. ජයතිලක, ජේ. ආර්. ජයවර්ධන ඇතුළු සම්භාවනීය පිරිසකි.

නවකලා මණ්ඩලය මඟින් දීප ව්‍යාප්තව පද්‍ය, රචනා, කථික තරග, විරිදු ගායනා, වාදන, තරග සංවිධාන කොට ත්‍යාග, පදක්කම් පිරිනමා ඇත. එකල පාසල් ශිෂ්‍යයන් වූ කරුණාරත්න අබේසේකර, ඇල්බට් පෙරේරා (අමරදේව), කේ. ඩී. පී. වික්‍රමසිංහ, සුගතමුනි ඤාණසිරි, සිරිමතී වෙත්තසිංහ, ආරියදාස සෝමතිලක, ඇග්නස් තිසේරා (සිරිසේන) රොබට් ජයවර්ධන හාපුරා තම හැකියාවන් විදහා පා ත්‍යාග ලැබුවේ මේ තරගාවලියෙනි.

නව කලා මණ්ඩලයත්, 'කානිවල්' නාට්‍යයත් ගැන මහාචාර්ය තිස්ස කාරියවසම් ලියා ඇති 'විසි පස් වසරක සිංහල නාට්‍ය හා රංග කලාව' (1932 - 1956) කෘතියේ 49 පිටුවේ මෙසේ සඳහන් වෙයි.

1942 දෙසැම්බර් පළමුවැනිදා මොරටුව නගර ශාලාවේ 'කඩවුණු පොරොන්දුව' (නාට්‍යය) පෙන්වන ලද්දේය. නව කලා මණ්ඩලයේ නළු නිළියන් පළමුවැනි වතාවට පෙනී සිටි ඒ. ඩී. ජේ. මාතුපාලගේ 'කානිවල්' නාටකය නැෂනල් තියටර් හි පෙන්වන ලද්දේ මෙකල ජනප්‍රිය නාටකවලට පිළිතුරක් ලෙසය. උසස් සමාජයේ විගඩම් පාතාල ලෝකයේ හාස්කම් බවට පත් වෙන 'පෙරළන ඉරණමේ තීන්දුව දැක්වෙන' නාටකයක් ලෙසයි 'කානිවල්' හැඳින්වූයේ. රඟදැක් වූයේ දෙසැම්බර් දෙවැනිදාය. මෙහි ප්‍රීතිජනක මැරිගෝ රවුන්ඩ්, සැණකෙළි, මඟුල්, වනිතා සංවාද, කුඩා ළමා ක්‍රීඩා ආදිය ද ඇතුළත් විය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ 'ගාන්ධර්ව අපදාන - අංක 5' කෘතියේ පී. එල්. ඒ. සෝමපාල අපදානයේ කානිවල් ප්‍රචාරක පත්‍රයේ පින්තූරයේ විවරණ පාඨය ලෙස මෙසේ සඳහන් වේ.

'1941 අප්‍රේල් 19 වැනිදා වේදිකා ගත වූ 'කානිවල්' නාට්‍යයේ ප්‍රචාරක පති‍්‍රකාවක්. මෙය සෝමපාල වාදනයෙන් සහාය වූ මුල්ම නාටකවලින් එකකි. හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මෙහි චරිතයක් නිරූපණය කළ අතර හිටපු ඇමතිවරයකු වූ එම්. වින්සන්ට් පෙරේරා වාදක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය.'

වින්සන්ට් පෙරේරා දක්ෂ තබ්ලා වාදකයෙක් ලෙස එකල කැපී පෙනුණේ ලු. මගේ පියා ද දක්ෂ තබ්ලා වාදකයකු බව ද, මගේ මව (ජී. කුසුමාවතී පෙරේරා) හාමෝනියම් වාදනයේ කුසලතා දැක් වූ බව ලොකු අම්මලා කියන අතීත රසකතා අතරින් හෙළිවේ. මට බහ තේරෙන කාලයේ අපේ නිවසේ ෆුට් බෙලෝ සර්පිනා දෙකක් හා තබ්ලා කුට්ටමක් තිබුණි. හැන්දෑ වරුවක අප නිවසේ තාත්තා, අම්මා, වින්සන්ට් මාමා පැරණි ගීතයක් වාදනය කරනු මට සිතින් මවා ගත හැකිය. ඒ අසල මාතුපාල බාප්පාත්, ගුණරත්න මාමා ද වෙති.

අද මේ සියල්ලන්ම ජීවිතයෙන් සමුගෙනය. හැමටම කළින් මාතුපාල බාප්පා ළය රෝගයකින් (1947) මිය යන විට ඔහුගේ වයස අවුරුදු 23 කි. බාප්පා අකාලයේ මිය ගියත් ඔහු කලාවට කළ සේවය ශත වර්ෂයකටත් වැඩිය.